Skip to content

පටුනට යන්න

සැබෑ ආගමේ ලක්ෂණ

සැබෑ ආගමේ ලක්ෂණ

යේසුස්ගෙන් ඉගෙනගනිමු

සැබෑ ආගමේ ලක්ෂණ

දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද?

▪ බොරු ආගම් නිසා නොමඟ ගිය මිනිසුන් ගැන යේසුස්ට දැනුණේ මහත් දුකක්. ඒ නිසා ඔහු මෙසේ පැවසුවා. ‘බොරු අනාගතවක්තෘවරුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.’ (මතෙව් 7:15) යේසුස් පැවසූ ලෙස අද දිනත් බොහෝ අය ආගමේ නාමයෙන් වැරදි දේවල් කරන ආකාරය ඔබ දැක ඇති.

යේසුස් දෙවිට යාච්ඤා කළ අවස්ථාවකදී “ඔබ පවසන දේ සත්‍යයයි” කියා පැවසුවා. (යොහන් 17:17) එමනිසා බයිබලයට පටහැනි ආගම් දෙවි හෙළාදකිනවා. මුල් සියවසේ එවැනි ආගම්වලට සම්බන්ධ වී සිටි අයට දෙවි පවසා තිබූ මෙම වදන් යේසුස් නැවත මතක් කළා. “ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.”—මතෙව් 15:9.

දෙවි පිළිගන්නා ආගමක් තිබෙනවාද?

▪ සමරිතානු ස්ත්‍රියක් සමඟ යේසුස් කතා කළ අවස්ථාවේදී ඔහු ඇයට මෙසේ පැවසුවා. ‘ඔබ නමස්කාර කරන්නේ හරියට කාරණා තේරුම්ගෙන නොවෙයි. නමුත් සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙනවා. ඇත්තෙන්ම පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි.’ (යොහන් 4:22, 23) ඉන් පැහැදිලි වන්නේ දෙවි පිළිගන්නා ආගමක් තිබෙන බවයි.

දෙවි පිළිගන්නා ආකාරයට නමස්කාර කරන්නේ කෙසේද කියා යේසුස් කියා දුන්නා. එමෙන්ම ඔහුද එසේ කළා. “මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත් පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත් ඔබට වැටහෙයි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (යොහන් 8:28) එමෙන්ම ඔහු මෙසේද පැවසුවා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) ඒ අනුව දෙවි වෙතට ළඟා වීමට තිබෙන්නේ එක් මාර්ගයක් පමණයි. එමනිසා තිබිය යුත්තේද එක සැබෑ ආගමක් පමණයි.

සැබෑ ආගම හඳුනාගන්නේ කෙසේද?

▪ සැබෑ ක්‍රිස්තියානීන් කියා හඳුන්වන්නේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන අයවයි. ඔවුන්ව හඳුනාගත හැකි ලක්ෂණ හතරක් සලකා බලමු.

1. යේසුස්, දෙවිගේ නාමය අන් අයට කියා දුන්නා. “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා” කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (යොහන් 17:26) ඒ හා සමානව යේසුස්ව අනුකරණය කරන සැබෑ ක්‍රිස්තියානීන්ද දෙවිගේ නාමය අන් අයට දැනුම් දෙනවා.

2. යේසුස් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට ප්‍රකාශ කළ අතර එසේ කරන්න කියා තම ගෝලයන්ටත් මෙසේ උපදෙස් දුන්නා. “ඔබ යම් නුවරකට හෝ ගමකට හෝ ඇතුල් වූ විට එහි සුදුස්සන්ව සොයන්න.” එමෙන්ම “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.” (මතෙව් 10:7, 11; 28:19) යේසුස් මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ද රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙනවා.

3. යේසුස් කිසි දිනක දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. ඔහු තම අනුගාමිකයන් ගැන පැවසුවේ ‘මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා’ කියායි. (යොහන් 17:14) එමනිසා යේසුස් මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ද දේශපාලන කටයුතුවලට හවුල් වෙන්නේ නැහැ.

4. යේසුස් මිනිසුන්ට මහත් සේ ප්‍රේම කළා. ඒ නිසා ඔහු තම අනුගාමිකයන්ට පැවසුවේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියායි. (යොහන් 13:35) යේසුස් මෙන් සැබෑ ක්‍රිස්තියානීන්ද අන් අයට ප්‍රේම කරනවා. ඒ නිසා ඔවුන් යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ.

සැබෑ ආගමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

▪ සැබෑ නමස්කාරයේ හවුල් වීමට නම් ඔබ මුලින්ම යෙහෝවා දෙවිව හොඳින් දැන හඳුනා ගත යුතුයි. එවිට ඔබේ ජීවිතය සාර්ථක කරගැනීමට ඔබට හැකි වන අතර යෙහෝවා දෙවි කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇතුව සිටින්නත් හැකි වෙනවා. එලෙස තමන්ට ප්‍රේම කරන අයට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙන්නේ සදාකාල ජීවනය ලබා දීමටයි. යේසුස් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. ‘සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් එකම සැබෑ දෙවිව දැන හඳුනා ගත යුතුයි.’—යොහන් 17:3.

වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම පොතේ 15වන පරිච්ඡේදය බලන්න. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

[16වන පිටුවේ පින්තූරය]

“බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. ඔවුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.”—මතෙව් 7:15