Skip to content

පටුනට යන්න

සුවිශේෂ පොත් විශ්වාස කිරීමට තිබෙන හේතු

සුවිශේෂ පොත් විශ්වාස කිරීමට තිබෙන හේතු

“ඒ ලියවිලි අතිශයින් ජනප්‍රියයි. ඩොලර් මිලියන ගණන් වියදම් කරමින් ඒවා මුල් කරගෙන චිත්‍රපටි නිෂ්පාදනය කර තිබෙනවා. ඒ ලියවිලි ආශ්‍රයෙන් රචනා කර තිබෙන පොත් විශාල වශයෙන් විකිණී තිබෙනවා. ඇතැම් ක්‍රිස්තියානි ආගම් තම විශ්වාසයන් පදනම් කරගෙන තිබෙන්නේ ඒ ලියවිලි මතයි. එමෙන්ම නොයෙක් මත වාද සහ ආගම් බිහි වීමටත් ඒ ලියවිලි හේතු වී තිබෙනවා.”—බ්‍රසීලයේ ප්‍රවෘත්ති සඟරාවක් වන SUPER INTERESSANTE.

ඉහත උපුටා දැක්වීමේ සඳහන් වන ජනප්‍රිය ලියවිලි මොනවාද? ඒවා බයිබලයේ පිළිගත් පොත්වලට ඇතුළත් නැති පැරණි ලියවිලිවල එකතුවක්. මෙම ලියවිලිවල තිබෙන තොරතුරු සුවිශේෂ පොත් හතරටත් යේසුස්ගේ නියෝජිතයන් ලියූ වෙනත් බයිබල් පොත්වලටත් ඇතුළත් විය යුතුයි කියා බොහෝ අය විශ්වාස කරනවා. මේවා විසිවන සියවස මැදභාගයේදී ඊජිප්තුවෙන් සොයාගනු ලැබුවා.

කුමන්ත්‍රණයක් සිදු වුණාද?

ඊජිප්තුවෙන් සොයාගත් මෙම පැරණි ලියවිලි යේසුස්ගේ ඉගැන්වීම් ගැන මිනිසුන් දරන ආකල්පවලට විශාල වශයෙන් බලපා තිබෙනවා. එමෙන්ම ක්‍රිස්තියානි ආගමටත් එම ලියවිලි විශාල බලපෑමක් කර තිබෙනවා. එක් සඟරාවක ඒ ගැන මෙවැනි දෙයක් සඳහන් වුණා. “දෙවි ගැන දැනගැනීමට කැමති නමුත් ආගම් ගැන කලකිරී සිටින අය තෝමස්ගේ සුවිශේෂයට සහ යේසුස්ගේ නියෝජිතයන්ගේ නමින් ලියැවී තිබෙන ව්‍යාජ ලියවිලිවලට විශාල කැමැත්තක් දක්වනවා. බ්‍රසීලයේ පමණක් එවැනි ලියවිලි විශ්වාස කරන ආගමික කණ්ඩායම් 30ක් පමණ තිබෙනවා.”

මෙතරම් කාලයක් එම ලියවිලි අභිරහසක්ව තිබුණේ සතරවන සියවසේදී කතෝලික සභාව ඒවා සැඟවීමට කළ කුමන්ත්‍රණයක් නිසා බව සමහර අය පවසනවා. එමෙන්ම යේසුස් ගැන සත්‍යය තොරතුරු වසන් කිරීම සඳහා කතෝලික සභාව සුවිශේෂ පොත්වල ඇතැම් තොරතුරු ඉවත් කර තිබෙනවා කියාත් මත පළ වී තිබෙනවා. ආගම් පිළිබඳව හදාරන මහචාර්යවරියක් වන ඉලේන් පෙගල්ස් ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙයයි. “ක්‍රිස්තියානි ආගමට පදනම සපයන ලියවිලි රැසක් තිබෙනවා. නමුත් ක්‍රිස්තියානි ආගමට සහ එහි චාරිත්‍රවලට පදනම ලෙස යොදාගෙන තිබෙන්නේ ඒ ලියවිලි අතරින් කිහිපයක් පමණයි.”

පෙගල්ස් පවසන ආකාරයට ක්‍රිස්තියානි ආගමට පදනම සපයන්නේ බයිබලය පමණක් නොවෙයි. ඊජිප්තුවෙන් සොයාගත් ව්‍යාජ ලියවිලිද ඒ සඳහා පදනම සපයන බව ඇය පවසනවා. උදාහරණයකට බී.බී.සී. වාර්තා වැඩසටහනක ඉදිරිපත් කළ මෙම අදහස සලකා බලන්න. පැරණි ලියවිලිවල පෙන්නුම් කරන ආකාරයට “මරියා මග්දලේනා කියන්නේ යේසුස්ගේ ගෝලයන්ට මඟ පෙන්වීම් සැපයූ උපදේශිකාවක්. ඇය යේසුස්ගේ අනුගාමිකයෙක් පමණක් නොවෙයි. ඇය යේසුස්ගේ නියෝජිතයන් අතර මූලිකත්වය ගෙන ක්‍රියා කළ කෙනෙක්.” මරිය මග්දලේනා සම්බන්ධයෙන් බ්‍රසීලයේ පුවත්පතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “යේසුස්ගේ කාලයේදී ආගමික කටයුතු සඳහා සෙනඟ රැස් වුණේ කාන්තාවන්ගේ නිවෙස්වලයි. පූජකයන් සහ බිෂොප්වරුන්ගේ කාර්යය එදා ඉටු කළේ කාන්තාවන් විසිනුයි. ඒ නිසා ක්‍රිස්තියානි ආගම කාන්තාවන්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන දෙයක් කියා පැවසීම නිවැරදියි.”—එම පුවත්පත Estado de São Paulo.

අද සිටින බොහෝදෙනා බයිබලයට වඩා තැන දී තිබෙන්නේ ඊජිප්තුවෙන් සොයාගනු ලැබූ ඒ පැරණි ලියවිලිවලටයි. ඒ නිසා මෙවැනි ප්‍රශ්න මතු වෙනවා. ඇත්තටම ක්‍රිස්තියානි ධර්මය ගැන හෙළි කරන්නේ එම ලියවිලිද? නැත්නම් බයිබලයද? එම ලියවිලි සහ බයිබලය අතර පරස්පර විරෝධී තැනක් දුටුවොත් ඔබ විශ්වාස කරන්නේ බයිබලයද නැත්නම් එම ලියවිලිද? යේසුස් සහ මරිය මග්දලේනා ඇතුළු අනිකුත් අය ගැන සත්‍යය තොරතුරු වසන් කිරීමේ අරමුණින් සුවිශේෂ පොත් වෙනස් කර තිබෙනවාද? බයිබලයට ඇතුළත් වී නැති එම ලියවිලි සැඟවීමට සතරවන සියවසේදී කුමන්ත්‍රණයක් දියත් වුණාද? මේවාට පිළිතුරු දැනගැනීම සඳහා සුවිශේෂ පොතක් වන යොහන් පොත සම්බන්ධයෙන් අපි සලකා බලමු.

යොහන් සුවිශේෂයෙන් ලැබෙන සාක්ෂි

විසිවන සියවස ආරම්භයේදී යොහන්ගේ සුවිශේෂයට අදාළ පැරණි පිටපතක් ඊජිප්තුවෙන් සොයාගනු ලැබුවා. දැනට එම පිටපත එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ ජෝන් රයිලන්ඩ්ස් පුස්තකාලයේ තබා තිබෙනවා. එම පිටපත හඳුන්වන්නේ පැපිරස් රයිලන්ඩ්ස් 457 (P52) ලෙසයි. බයිබලයේ යොහන් පොතේ 18වන පරිච්ඡේදයේ 31-33, 37 සහ 38 ඡේද එම අත්පිටපතේ සඳහන් වෙනවා. එම අත්පිටපතේ සඳහන් තොරතුරු පසු කාලයේදී සකස් කරන ලද යොහන් පොතේ අත්පිටපත්වලට සම්පූර්ණයෙන්ම එකඟයි. දැනට සොයාගෙන තිබෙන අලුත් ගිවිසුමට අදාළ පැරණිතම අත්පිටපත ලෙස සැලකෙන්නේද එයයි. ඒ නිසා බොහෝ විශාරදයන් විශ්වාස කරන්නේ එම අත්පිටපත ක්‍රිස්තු වර්ෂ 125දී කරන ලද එකක් බවයි. එනම් බයිබල් ලේඛක යොහන්ගේ මරණින් වසර 25කට පමණ පසුව එම අත්පිටපත ලියා තිබෙන බවයි. යොහන්ගේ මරණින් වසර 25කට පසු එම අත්පිටපත ලියා තිබෙනවා නම් යොහන් සුවිශේෂය ලියැවී තිබෙන්නේ පළමු සියවසේදී බවත් බයිබලයේ සඳහන් වන ලෙස එය යොහන් විසින්ම ලියා ඇති බවත් සිතීම සාධාරණ නැද්ද!

ව්‍යාජ ලියවිලි සියල්ලක්ම ලියැවී තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ නිසා එහි වාර්තා වී ඇති තොරතුරු ඇසින් දුටු සාක්ෂිකරුවන් ලියූ ඒවා නොවෙයි. මෙම ලියවිලි වෙනත් පැරණි ලියවිලි පදනම් කරගෙන නිර්මාණය වූ ඒවා බව ඔප්පු කිරීමට විශාරදයන් උත්සාහ කළත් ඊට සාක්ෂි නැහැ. ඒ නිසා අපි මේ ප්‍රශ්න අසාගැනීම සුදුසුයි. මම වැඩියෙන්ම විශ්වාස කරන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළ බයිබලයද? නැත්නම් ඇසින් දුටු සාක්ෂිකරුවන් නොවන අය ලියූ ලියවිලිද? *

පැපිරස් රයිලන්ඩ්ස් 457 (P52), ලෙස හඳුන්වන යොහන් පොතේ මෙම අත්පිටපත පිළියෙල කර තිබෙන්නේ මුල් පිටපත ලියැවී දශක දෙකකට පමණ පසුවයි

යේසුස්ගේ ජීවිතයට අදාළ ඇතැම් සිදුවීම් සැඟවීමේ අරමුණින් සුවිශේෂ පොත් හතරේ ඇති සමහර අදහස් කතෝලික සභාව වෙනස් කර ඇති බවට තිබෙන මතය ගැන පැවසිය හැක්කේ කුමක්ද? යේසුස් ගැන සත්‍යය වසන් කිරීමට යොහන් සුවිශේෂය සතරවන සියවසේදී වෙනස් කළ බවට සාක්ෂි තිබෙනවාද? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා දැන් අපි ඉතා වැදගත් අත්පිටපතක් පිළිබඳව සලකා බලමු. එය හඳුන්වන්නේ වතිකානු 1209 ලෙසයි. සතරවන සියවසේදී සකස් කරන ලද එය බයිබලයේ විශ්වාසවන්තභාවයට සාක්ෂි සපයන වටිනා අත්පිටපතක්. සතරවන සියවසේදී කතෝලික සභාව යොහන් සුවිශේෂයේ තොරතුරු වෙනස් කළා නම් අනිවාර්යයෙන්ම එම සියවසේදීම සකස් කරන ලද වතිකානු 1209 අත්පිටපතේද ඒ වෙනස්කම් සඳහන් විය යුතුයි. නමුත් එවැනි දෙයක් සිදු වී නැති බවට ලූක් සහ යොහන් සුවිශේෂවලට පදනම සපයන බොඩ්මර් 14, 15 (P75) ලෙස හඳුන්වන තවත් අත්පිටපතක් සාක්ෂි සපයනවා. ක්‍රිස්තු වර්ෂ 175 සහ 225 අතර කාලයේ සකස් කරන ලද එම අත්පිටපත සෑම අතකින්ම වතිකානු 1209ට සමාන බව විශාරදයන් පවසනවා. ඉන් පෙනී යන්නේ සුවිශේෂ පොත් වෙනස් වීමකට ලක් වී නැති බවයි.

යොහන් සුවිශේෂය ඇතුළු අනික් සුවිශේෂ පොත් සතරවන සියවසේදී වෙනස් කර ඇති බව ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් නැහැ. ඊජිප්තුවෙන් සොයාගත් ව්‍යාජ ලියවිලි කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් මෙසේ පැවසුවා. “මතෙව්, මාක්, ලූක්, යොහන් පොත් සහ අලුත් ගිවිසුමට අයිති වෙනත් පොත් වෙනස් කර තිබෙනවා කියා ව්‍යාජ ලියවිලිවලින් කොහෙත්ම ඔප්පු වෙන්නේ නැහැ.”

අවසන් නිගමනය

දෙවන සියවසේ මැදභාගය වන විටත් මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන සුවිශේෂ පොත් ලොව වටා සිටි ක්‍රිස්තියානීන්ගේ පිළිගැනීමට ලක් වී තිබුණා. උදාහරණයකට ටේෂන් නම් ලේඛකයා ක්‍රි.ව. 160ත් 175ත් අතර කාලයේ රචනා කළ තියාටෙසාරෝන් කෘතිය පිළිබඳව සලකා බලන්න. ඔහු ඒ කෘතිය රචනා කිරීම සඳහා යොදාගත්තේ සුවිශේෂ පොත් හතර පමණයි. ව්‍යාජ ලියවිලිවලින් ඔහු කිසිම තොරතුරක් භාවිත කර නැහැ. ( “සුවිශේෂ පොත්වල විශ්වාසවන්තභාවය පිළිබඳ පැරණි සාක්ෂියක්” නමැති කොටුව බලන්න.) ඊට අමතරව ක්‍රි.ව. දෙවන සියවස අවසානයේ ජීවත් වූ අයිරීනියස් නමැත්තාද පැවසුවේ සුළං හමන්නේ පොළොවේ සතර දිශාවෙන් හා සමානව තිබිය හැක්කේ සුවිශේෂ පොත් සතරක් පමණක් බවයි. ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ දෙවන සියවසේදී පිළිගත් පොත් ලෙස සැලකුවේ මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන පොත් හතර පමණක් බවයි.

මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් එක් දෙයක් පැහැදිලි වෙනවා. එනම් දෙවන සියවසේ සිට සුවිශේෂ පොත් ඇතුළු අලුත් ගිවිසුමට අයත් අනිකුත් පොත්වල කිසිම වෙනසක් සිදු වී නොමැති බවයි. දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු ශුද්ධ ලියවිල්ල වෙනස් කිරීමට හෝ එහි අදහස් වසන් කිරීමට සතරවන සියවසේදී කුමන්ත්‍රණයක් සිදු වූ බවට කිසිම සාක්ෂියක් නැහැ. බයිබල් විශාරදයෙක් වූ බෲස් මෙට්ස්ගර් පැවසූ මේ දෙයින් එය සනාථ වෙනවා. “දෙවන සියවස අවසානයේදී මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශවල සිටි ක්‍රිස්තියානීන් පමණක් නොව බ්‍රිතාන්‍යය සහ මෙසපොතේමියාව වැනි දුර බැහැර ප්‍රදේශවල සිටි ක්‍රිස්තියානීන්ද අලුත් ගිවිසුමට අයත් පොත් පිළිගත්තා.”

යේසුස්ගේ අනුගාමිකයන් දෙදෙනෙක් වූ පාවුල් සහ පේතෘස් බයිබලයේ ඇති විශ්වාසවන්තභාවය ගැන සඳහන් කළා. ඔවුන් දෙදෙනාම සෙසු ක්‍රිස්තියානීන්ට උනන්දු කළේ ඔවුන්ට උගන්වා තිබූ දේවල් හැර අනිකුත් තොරතුරු පසුපස හඹා නොයන්න කියායි. උදාහරණයකට පාවුල්, තිමෝතිට දුන් මෙම උපදෙස සලකා බලන්න.“ආදරණීය තිමෝති, ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න. නමුත් ශුද්ධ දේවලට එකඟ නොවන කිසි ප්‍රයෝජනයක් නැති බොරු කතාවලින්ද පරස්පර විරෝධී මතවලින් පිරී තිබෙන බොරු ‘දැනුමෙන්ද’ අහක් වී සිටින්න. සමහරුන් එවැනි දැනුමක් ප්‍රදර්ශනය කිරීමට ගොස් සත්‍ය මාර්ගයෙන් පවා අහක්ව ගොස් ඇත.” එමෙන්ම පේතෘස්ද ඔහුගේ කාලයේ සිටි ක්‍රිස්තියානීන්ට මෙවැනි උපදෙසක් දුන්නා. “අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ බලය ගැනත් ඔහු පැමිණ සිටින කාලය ගැනත් අප ඔබව දැනුවත් කළේ දක්ෂ ලෙස ගොතනු ලැබූ ප්‍රබන්ධ කථාවලින් නොවේ. අප ඒ සඳහා යොදාගත්තේ ඔහුගේ මහත් තේජස ගැන අපගේම ඇස්වලින් දුටු දේවල්ය.”—1 තිමෝති 6:20, 21; 2 පේතෘස් 1:16.

බොහෝ කාලයකට ඉහතදී දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ යෙසායා දෙවිගේ මඟ පෙන්වීමෙන් මෙවැනි දෙයක් වාර්තා කළා. “තණකොළ වියළී යයි. මල පරවී යයි. නමුත් අපේ දෙවිගේ වචනය සදහටම පවතියි.” (යෙසායා 40:8) යෙසායාගේ එම වදන් විශ්වාස කරන්න අපටත් ඕනෑ තරම් හේතු තිබෙනවා. ශුද්ධ බයිබලය ලියැවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් නිසා මේ කාලය දක්වා එය ආරක්ෂා කිරීමට යෙහෝවා දෙවිම පියවර ගෙන තිබෙනවා කියා පැවසිය හැකියි. ඔහු එය ආරක්ෂා කළේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” අවශ්‍ය වූ නිසයි.—1 තිමෝති 2:4.

^ 11 ඡේ. ව්‍යාජ ලියවිලිවලට අදාළ අත්පිටපත් තිබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. උදාහරණයකට මරිය මග්දලේනාගේ සුවිශේෂය ගැන සලකා බලන්න. මේ වන විට ඉන් ඉතුරු වී තිබෙන්නේ එයට අදාළ කුඩා කොටස් දෙකක් සහ මුල් පිටපතේ තොරතුරු අඩක් වාර්තා වී තිබෙන තරමක් දීර්ඝ කොටසක් පමණයි. ඒවායෙත් සැලකිය යුතු වෙනස්කම් රැසක් තිබෙනවා.