Skip to content

පටුනට යන්න

තමා ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

තමා ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

තමා ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

“තමන් කවුද, තමන් පැමිණියේ කොහේ සිටද, තමන් පොළොවට පැමිණියේ ඇයි සහ තමාගේ අනාගතය මොන වගේද කියා යේසුස් හොඳින්ම දැන සිටියා.”—හර්බර්ට් ලොකියර්.

යේසුස්ගේ ඉගැන්වීම් ගැන සොයා බැලීමට පෙර ඔහු මොන වගේ කෙනෙක්ද කියා අපි දැනගත යුතුයි. ඇත්තටම යේසුස් කවුද? ඔහු පැමිණියේ කොහේ සිටද? ඔහු පොළොවට පැමිණියේ ඇයි? මේ ප්‍රශ්නවලට යේසුස්ම දුන් පිළිතුරු මොනවාද කියා අපි සලකා බලමු.

යේසුස්ගේ ජීවිතය ඇරඹුණේ පොළොවේදී නොවෙයි: එක් අවස්ථාවකදී යේසුස් මෙසේ පැවසුවා. ‘ආබ්‍රහම් ජීවත් වෙන්නත් කලින් මම ජීවත්ව සිටියා.’ (යොහන් 8:58) ඇත්තටම ආබ්‍රහම් ජීවත් වූයේ යේසුස් ඉපදීමට වසර 2,000කට පමණ පෙරයි. නමුත් ආබ්‍රහම් ඉපදීමටත් පෙර සිටම යේසුස් ජීවත් වී තිබෙනවා. එසේනම් ඔහු ජීවත් වුණේ කොහේද? ඔහු ජීවත් වුණේ ස්වර්ගයේයි. ‘මම ස්වර්ගයෙන් ආවා’ කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—යොහන් 6:38.

දෙවිගේ පුත්‍රයා: යෙහෝවා දෙවිට ස්වර්ගයේ පුත්‍රයන් බොහෝදෙනෙක් සිටිනවා. ඔවුන්ව හඳුන්වන්නේ දේවදූතයන් ලෙසයි. නමුත් ඒ සියලුදෙනාටම වඩා යේසුස් සුවිශේෂයි. ඊට හේතුව ඔහු “දෙවිගේ එකම පුත්‍රයා” වීමයි. ඒ බව යේසුස්ම පැවසුවා. (යොහන් 3:18) යේසුස් “දෙවිගේ එකම පුත්‍රයා” වෙන්නේ යෙහෝවා දෙවි තනිවම ඔහුව නිර්මාණය කළ නිසයි. නමුත් අනික් සියලුම දේවල් නිර්මාණය කිරීමට යෙහෝවා දෙවි යේසුස්ව හවුල් කරගත්තා.—කොලොස්සි 1:16.

“මනුෂ්‍ය පුත්‍රයා”: බයිබලයේ සඳහන් වන ආකාරයට යේසුස් තමාව වැඩියෙන්ම හැඳින්වූයේ මනුෂ්‍ය පුත්‍රයා ලෙසයි. (මතෙව් 8:20) ඔහු ඉන් අදහස් කළේ තමා පොළොවට පැමිණියේ දේවදූතයෙක් ලෙස නොව සැබෑ මනුෂ්‍යයෙක් ලෙස බවයි. යෙහෝවා දෙවි තම බලය මාර්ගයෙන් යේසුස්ව පොළොවේ සිටි මරියා නම් කන්‍යාවගේ කුස තුළ වැඩෙන්න සැලැස්වූවා. ඒ නිසා යේසුස් වැරදි කිරීමට නැඹුරුවාවක් නැති පරිපූර්ණ පුද්ගලයෙක් වුණා.—මතෙව් 1:18; ලූක් 1:35; යොහන් 8:46.

පොරොන්දු වූ මෙසියස්: “මෙසියස් අනිවාර්යයෙන්ම පැමිණෙන බව මම දන්නවා” කියා එක් අවස්ථාවකදී සමරිතානු ස්ත්‍රියක් යේසුස්ට පැවසුවා. එවිට යේසුස් ඇයට කියා සිටියේ මෙයයි. “දැන් ඔබත් සමඟ කතා කරමින් සිටින මමයි ඒ තැනැත්තා.” (යොහන් 4:25, 26) “මෙසියස්” සහ “ක්‍රිස්තුස්” යන වචනවල අර්ථය වන්නේ “අභිෂේක ලත් තැනැත්තා” යන්නයි. ඉන් අදහස් වෙන්නේ දෙවිගේ සියලුම පොරොන්දු ඉටු කිරීම සඳහා දෙවි විසින්ම ඔහුව පත් කර ඇති බවයි.

පොළොවට පැමිණීමට හේතුව: යේසුස් එක් අවස්ථාවකදී මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) යේසුස්, අසරණ මිනිසුන්ට විවිධ ආකාරවලින් උදව් කළත් ඔහුගේ මූලික කාර්යය වූයේ දෙවිගේ රාජ්‍යය ගැන ඉගැන්වීමයි. නමුත් දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද කියා අපි පසුව සලකා බලමු.

යේසුස් සුවිශේෂී පුද්ගලයෙක්. * එමෙන්ම ඔහු පොළොවට පැමිණීමට පෙර බොහෝ කාලයක් ස්වර්ගයේ ජීවත් වූ නිසා ඔහු පොළොවේදී ඉගැන්වූ දේවලට සුවිශේෂී අර්ථයක් තිබෙනවා. යේසුස්ගේ ඉගැන්වීම් ලොව වටා සිටින මිනිසුන්ගේ මතකයේ රැඳී තිබෙන්නේ ඒ නිසයි.

[පාදසටහන]

^ 9 ඡේ. යේසුස් පිළිබඳව තවත් විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 4වන පරිච්ඡේදය බලන්න.