Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔබ

යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔබ

යේසුස්ගේ ඉගැන්වීම් සහ ඔබ

“මා ඇවිත් සිටින්නේ ඔවුන්ට ජීවනය එනම්, සදහටම ජීවත් වීමේ අවස්ථාව ලබා දෙන්නයි.”—යොහන් 10:10.

යේසුස් පොළොවට පැමිණි එක් හේතුවක් වූයේ මිනිස් වර්ගයාට වටිනා දේවල් ඉගැන්වීමටයි. ඔහු ඉගැන්වූ දේවල් තුළින් දෙවි ගැනත් දෙවිගේ අරමුණු ගැනත් මිනිසුන්ට දැනගන්න ලැබුණා. එය මිනිස් වර්ගයාට ලැබුණ වටිනා ත්‍යාගයක් කියා පැවසිය හැකියි. කෙනෙක් යේසුස් ඉගැන්වූ දේවල් පිළිගෙන ඒ අනුව ජීවත් වෙනවා නම් එම තැනැත්තාට සතුටින් පිරි ජීවිතයක් ගත කළ හැකි බව ස්ථිරයි. ඒ බව අද සිටින මිලියන ගණන් සැබෑ ක්‍රිස්තියානීන් අද්දැක තිබෙනවා. * නමුත් ඔහු දුන් වටිනාම ත්‍යාගය වන්නේ අප වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කිරීමයි. ඒ කෙරෙහි විශ්වාසය තබන අයට අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව සිටිය හැකියි.

දෙවි සහ යේසුස් දුන් ත්‍යාගය: තමා සතුරන් අතින් කුරිරු මරණයක් අද්දකින බව යේසුස් දැන සිටියා. (මතෙව් 20:17-19) ඒ වුණත් ඔහු මෙසේ පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) එමෙන්ම යේසුස් පොළොවට “පැමිණියේ සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.” (මතෙව් 20:28) යේසුස් තමන්ගේ ජීවිතය පූජා කළේ ඇයි?

යෙහෝවා දෙවි මිනිස් වර්ගයාට මහත් සේ ප්‍රේම කරනවා. මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවාගැනීමට දෙවි තම එකම පුත්‍රයාගේ ජීවිතය අප වෙනුවෙන් දුන්නේ ඒ නිසයි. එය යෙහෝවා දෙවි මිනිස් වර්ගයා වෙනුවෙන් දී තිබෙන උතුම්ම ත්‍යාගයයි. * එමෙන්ම යේසුස්ද තම ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීමට කැමැත්තෙන්ම පොළොවට පැමිණියා. අපට සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි.

ඔබ කළ යුත්තේ කුමක්ද? යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඔබටත් ප්‍රයෝජන ගත හැකිද? එය තීරණය වන්නේ ඔබ ක්‍රියා කරන ආකාරය මතයි. ඒ බව තේරුම්ගැනීමට මේ උදාහරණය ගැන සලකා බලමු. යම් කෙනෙක් ඔබට අලංකාර ත්‍යාගයක් දුන්නා කියා සිතන්න. නමුත් ඒ ත්‍යාගයෙන් ප්‍රයෝජන ගන්න නම් ඔබ එම ත්‍යාගය පිළිගත යුතුයි. ඒ හා සමානව යෙහෝවා දෙවි යේසුස්ගේ ජීවිත පූජාව නමැති වටිනා ත්‍යාගය ඔබ වෙනුවෙන් දී තිබෙනවා. නමුත් ඉන් ප්‍රයෝජන ලැබීමට නම් ඔබ යේසුස්ගේ ජීවිත පූජාව නමැති වටිනා ත්‍යාගය පිළිගත යුතුයි. එය කළ හැක්කේ කෙසේද?

සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව උදා කරගැනීමට නම් යේසුස්ව “විශ්වාස” කිරීම ඉතා වැදගත් බව බයිබලයේ සඳහන් වෙනවා. යේසුස්ව විශ්වාස කිරීම යන්නෙන් අදහස් වෙන්නේ ඔහුගේ ඉගැන්වීම් පිළිගෙන ඒ අනුව ජීවත් වීමයි. (යාකොබ් 2:26) එමෙන්ම “සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි” කියා යේසුස්ම පැවසුවා. ඉන් පැහැදිලි වන්නේ සදාකාල ජීවනය ලබාගැනීම සඳහා යේසුස් ගැනත් යෙහෝවා දෙවි ගැනත් දැනුම ලබාගැනීම ඉතා වැදගත් බවයි.—යොහන් 17:3.

යේසුස් ජීවත් වූයේ මීට වසර 2,000කට පමණ ඉහතදීයි. ඒ වුණත් ඔහු ඉගැන්වූ දේවල් නිසා මිනිසුන් මිලියන ගණනක් ප්‍රයෝජන ලබා තිබෙනවා. එමෙන්ම ඔහුගේ ඉගැන්වීම් අදාළ කරගැනීමෙන් අදටත් සදාකාලයටත් ප්‍රයෝජන ලබාගත හැකියි. ඒ කෙසේද කියා දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් ඔබට ඒ පිළිබඳව කියා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතාමත් ආශාවෙන් සිටිනවා.

යේසුස් ගැන තව බොහෝ තොරතුරු මෙම සඟරාවේ ඉදිරි ලිපිවලින් කියවා බලන්න.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ක්‍රිස්තියානීන් ලෙස හඳුන්වන සෑම කෙනෙක්ම යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් නොවෙයි. සැබෑ ක්‍රිස්තියානීන් කියා හඳුන්වන්නේ යේසුස් පැවසූ ආකාරයට දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගෙන ඒ අනුව ජීවත් වන අයටයි.—මතෙව් 7:21-23.

^ 5 ඡේ. යේසුස්ගේ ජීවිත පූජාව ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “දෙවි මිනිසුන්ට දුන් වටිනාම තෑග්ග” යන මාතෘකාවෙන් යුත් 5වන පරිච්ඡේදය බලන්න.