Skip to content

පටුනට යන්න

ටෝරස් සමුද්‍රසන්ධියේ දූපත්වලටත් “ශුභාරංචිය”

ටෝරස් සමුද්‍රසන්ධියේ දූපත්වලටත් “ශුභාරංචිය”

ටෝරස් සමුද්‍රසන්ධියේ දූපත්වලටත් “ශුභාරංචිය”

රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි” කියා යේසුස් පැවසුවා. (මතෙව් 24:14) යේසුස් දුන් එම ආඥාව සිතට ගන්නා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දුර ඈත ප්‍රදේශවල සිටින මිනිසුන්ට පවා ශුභාරංචිය දැනුම් දීමට හැකි සෑම දෙයක්ම කරනවා. (මතෙව් 28:19, 20) ඒ සඳහා යන වියදම් ඔවුන් විසින්ම පියවාගනු ලබන අතර ඇතැම් අවස්ථාවලදී යම් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වුණත් ඔවුන් එම සේවයේ දිගටම නියැලෙනවා.

නේතන් සහ කාලී නම් යුවළ ඊට කදිම උදාහරණයක්. වර්ෂ 2003දී තර්ස්ඩේ නම් දූපතට ගොස් එහි සිටින සාක්ෂිකරුවන් සමඟ දේශනා සේවයේ හවුල් වීමට ඔවුන්ට පැවරුමක් ලැබුණා. තර්ස්ඩේ දූපත පිහිටා තිබෙන්නේ ටෝරස් සමුද්‍රසන්ධියේ ඕස්ට්‍රේලියාවට යාබදවයි. ඒ නිසා තර්ස්ඩේ දූපතේ සිට ටෝරස් සමුද්‍රසන්ධියේ දුර ඈතින් පිහිටි වෙනත් දූපත්වලටත් ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරන්න අවස්ථාව තිබෙනවා.

නේතන් සහ කාලී ඈත එපිට පිහිටි දූපත්වලට ගොස් ශුභාරංචිය දේශනා කිරීම සඳහා වර්ෂ 2007දී තරමක් විශාල පැරණි බෝට්ටුවක් මිල දී ගෙන එය අලුත්වැඩියා කළා. ඒ නිසා දුර ඈතින්ම පිහිටි දූපත් දහයකට යාත්‍රා කරන්න ඔවුන්ට හැකි වුණා. මේ සංචාරයේදී ඔවුන් අද්දුටු ඇතැම් දේවල් නේතන් මෙසේ වාර්තා කර තිබෙනවා.

2008 ජනවාරි: මම පොඩි බෝට්ටුවකින් කිලෝමීටර් 80ක් දුර ගෙවාගෙන ඕස්ට්‍රේලියාවේ කේප් යෝර්ක් අර්ධද්වීපයට ගියා. ඊටපස්සේ එහේ හිටිය තවත් සාක්ෂිකරුවන් හයදෙනෙක් එක්ක අපි අපේ ලොකු බෝට්ටුවෙන් වැරබර් සහ පරූමා කියන දූපත්වලට ගියා. මේ ගමනට හුඟක් තෙල් ඕනෙ නිසා අපි බෝට්ටුවට ඩොලර් 11,000ක (රු.12,54,000ක පමණ) තෙල් ගැහුවා. හැබැයි මේ බෝට්ටුව ගමන් කළේ හරිම හෙමින්. ඒ නිසා කිලෝමීටර් දහයක් යන්න පැයක් විතර ගත වුණා. හැබැයි එදා තිබුණේ බෝට්ටු ගමන්වලට කියාපු දේශගුණයක්. මුළු මුහුදම හරිම නිශ්චලයි.

අපි වැරබර් දූපතට කිට්ටු වුණාම අපේ ලොකු බෝට්ටුව දියඹෙන් නතර කළා. ඊටපස්සේ ඒ දූපතේ නෑදෑයන් හිටිය අය විතරක් පොඩි බෝට්ටුවෙන් දූපතට ගියා. අපි දූපතේ බලධාරියාට කතා කරලා මෙහේ ඉන්න අයට දේශනා කරන්න අවසර ඉල්ලුවා. ඒ බලධාරියා දේවගැතිවරයෙක් වුණත් ඔහු අපිට අවසර දුන්නා. මේ දූපතේ ඉන්නේ හරිම මිත්‍රශීලී ගුණයහපත් මනුෂ්‍යයන්. ඒ අය අපේ පණිවිඩයට හොඳින් සවන් දීලා අපෙන් ප්‍රකාශනත් ගත්තා. සමහර අය බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නත් කැමති වුණා.

2008 අප්‍රියෙල්: පැපුවා නිව් ගිනියාවේ දේශ සීමාවට නුදුරින් තිබුණ දූපත් තුනට යන්නේ කොහොමද කියලා අපි සැලසුම් කළා. ඒත් දේශගුණය අපේ ගමනට හරස් වුණා. ඒ නිසා අපි ඒ දූපත්වලට යන්නේ නැතුව මබීඕග් දූපතට යන්න තීරණය කළා. අපි ඉන්න තැන ඉඳලා ඒ දූපතට තියෙන්නේ කිලෝමීටර් 70ක් විතරයි. ඒත් මුහුදේ තියෙන ගල්පරවලින් බේරිලා ඒ දූපතට යනකොට කිලෝමීටර් 140ක විතර දුරක් තියෙනවා.

එදා මුහුද හරිම සැරයි. එකපාරටම ලොකු රැල්ලකින් අපේ පොඩි බෝට්ටුව ගහගෙන ගියා. ඒ නිසා අපි ඉක්මනටම අපේ ලොකු බෝට්ටුව හරවගෙන ගිහින් ඒක නවත්තගත්තා. එදා අපේ බෝට්ටුව හුඟක් පැද්දුණ නිසා සමහර අය අසනීපත් වුණා.

මබීඕග් දූපතට ගියාට පස්සේ එහේ හිටිය අයට ශුභාරංචිය ගැන කියන්න අපිට අවසර ලැබුණා. ඒ දූපතේ අය අපිව සාදරයෙන් පිළිගත්තා. ඒ නිසා අපේ තෙහෙට්ටුව අපිට එහෙම්පිටින්ම අමතක වුණා. එක කාන්තාවක් අපේ පණිවිඩයට හරිම සන්තෝෂයෙන් ඇහුම්කන් දුන්නා. එයා සේවය කළේ පුස්තකාලයක නිසා බයිබලය ඇසුරෙන් ප්‍රකාශයට පත් කරන අපේ සඟරා පොත් පත් වැඩිපුරත් එක්ක ඉල්ලගත්තා.

2008 මැයි සිට ඔක්තෝබර්: මුහුදු ගමන්වලට සුදුසු දේශගුණයක් තිබුණේ නැති නිසා අපිට පැපුවා නිව් ගිනියා දේශ සීමාවට කිට්ටුවෙන් තිබුණු දූපත්වලට යන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා අපි තර්ස්ඩේ දූපතට ගිහින් ශුභාරංචිය දේශනා කළා. ඒ කාලයේදී රැකියාවක් කරන්නත් බෝට්ටුවේ අලුත්වැඩියා කටයුතු කරන්නත් අපිට පුළුවන් වුණා.

ඒ වෙනකොට අපේ බෝට්ටුව හුඟක් අබලන් වෙලයි තිබුණේ. ඒ නිසා අපි කේප් යෝර්ක් අර්ධද්වීපයේ වෙයිපා නගරයේ වරායට අපේ බෝට්ටුව අරන් ගියා. කොහොමවුණත් ඒක වතුරෙන් ගොඩට ගන්න එක ලෙහෙසි වුණේ නැහැ. ඒ ප්‍රදේශයේ හිටිය සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම ඇවිත් බෝට්ටුව අලුත්වැඩියා කරන්න උදව් වුණා. සමහර අය අපිට කෑම ගෙනාවා. තවත් අය අපේ ඊළඟ ගමනට ඕනෙ කරන බඩු ගෙනත් දුන්නා. ඒ අයගෙන් ලැබුණු සහයෝගය නම් කියා නිම කරන්න බැහැ.

2008 දෙසැම්බර්: අපි පැපුවා නිව් ගිනියාවට යාබදව තිබුණු ඩ්වර්න්, සයිබයි සහ බෝයිගු කියන දූපත් බලා පිටත් වුණා. අපි ළඟ රේඩාර් පද්ධතියක් තිබුණු නිසා කුණාටු මඟ හරවාගන්න පුළුවන් වුණා. ඒ වගේම අපි ළඟ තිබුණු මුහුදු සිතියම පාවිච්චි කරලා ගල්පර අතරින් කිසිම කරදරයක් නැතුව යාත්‍රා කළා. අපි මුලින්ම ගියේ ඩ්වර්න් කියන දූපතටයි. ඒ ගමනට පැය 12ක් විතර ගත වුණා. ඒ වුණත් ඩ්වර්න් දූපත තමයි අපි මේ තාක් ගිහින් තියෙන ලස්සනම දූපත. වලාකුළුවලින් වැහුණු උස් කඳු වැටි හරිම ලස්සනයි. ඒ වගේම මෙහේ ඉන්න මිනිස්සුත් හරි කරුණාවන්තයි. ඒ අය සතුටින් අපේ පණිවිඩයට ඇහුම්කන් දුන්නා. ඒ නිසා දුරකථනය හරහා ඒ අයට බයිබලය ගැන කියලා දෙන්න අපි සැලසුම් කළා.

ඒ දූපතේ හිටිය ලෙටී කියන කාන්තාවට අපේ සඟරා කිහිපයක් ලැබිලා තිබුණා. ඒ සඟරා කියවන්න ලෙටී හුඟක් කැමති නිසා එයා තවත් පොත් පත් අවශ්‍යයි කියලා ඕස්ට්‍රේලියාවේ තියෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට දන්වා තිබුණා. ඒ නිසා ශාඛා කාර්යාලයෙන් ලෙටීට අවශ්‍ය පොත් පත් ලබා දී තිබුණා. ඒ වගේම ලෙටී බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමති නිසා එයාව හමු වෙන්න කියලා ශාඛා කාර්යාලය අපිටත් දැනුම් දුන්නා. ඒ නිසා අපි ලෙටීව මුණගැහෙන්න ගියා. ලෙටීව මුණගැහිලා යෙහෝවා දෙවි ගැන ඇයට කියලා දෙන්න ලැබුණ එක ගැන අපි හුඟක් සතුටු වෙනවා.

ඊළඟට අපි ගියේ සයිබයි දූපතට. හැබැයි එහේ ශුභාරංචිය දේශනා කරන්න නම් අපිට අවසර ලැබුණේ නැහැ. ඒත් මේ දූපතේ නෑදෑයන් ඉන්නවා නම් ඒගොල්ලන්ව හමු වෙන්න අපිට අවසර දුන්නා. මේ වෙනකොට සයිබයි දූපතේ ගෙවල්වලට තීන්ත ගාන්න මම ආණ්ඩුවත් එක්ක කොන්ත්‍රාත්තුවක් ඇති කරගෙන තිබුණ නිසා අපේ වියදම් පියවගන්න ඒක උපකාරවත් වුණා.

පැපුවා නිව් ගිනියාවේ හැදී වැඩුණු ටැසී කියන සහෝදරියත් අපි එක්ක මේ ගමනට හවුල් වුණා. සයිබයි කියන දූපතේ ඉඳලා පැපුවා නිව් ගිනියාවට තියෙන්නේ කිලෝමීටර් හතරක විතර දුරක්. ඕස්ට්‍රේලියානු රජයෙන් පනවලා තියෙන නීති රීතිවලට අනුව පැපුවා නිව් ගිනියාවේ අයට වෙළඳ කටයුතු සඳහා සයිබයි දූපතට එන්න අවසර තිබුණා. ඒ නිසා මේ දූපතේ ඉන්න පැපුවා නිවගිනියාවේ වැසියන්ට දේශනා කරලා ඒ අයට පොත් පත් ලබා දෙන්න ටැසීට පුළුවන් වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණාට පස්සේ ටැසීට එයාගේ ගමේ අයව මුල් වතාවට හමු වුණේ මෙහෙදීයි. ටැසී ළඟ තිබුණු පොත් පත් ඉවර වුණ නිසා අපි බෝට්ටුවට ගිහින් තවත් පොත් පෙට්ටියක් ගෙනත් දුන්නා. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ඒ පෙට්ටියත් ඉවර වුණා. පැපුවා නිව් ගිනියාවෙන් ඇවිත් හිටිය මිනිසුන් 30කට වඩා වැඩි ප්‍රමාණයකට ශුභාරංචිය කියලා දෙන්න ටැසීට පුළුවන් වුණා. සමහරවිට මීට කලින් ඒ අයගේ ගමට සාක්ෂිකරුවන් ඇවිත් නැතුව ඇති. මොකද ඒ අයගේ ගමට යන්න පුළුවන් බෝට්ටුවකින් විතරයි.

අපි අන්තිමට ගියේ බෝයිගු කියන දූපතටයි. අපි දූපතට කිලෝමීටර් හතරක් විතර දුරකින් අපේ ලොකු බෝට්ටුව නතර කළා. මෙතන එච්චර ගැඹුරු නැහැ. වතුර තියෙන්නේ අඩි අටක් තරම් උසට විතරයි. ඒ නිසා අපේ බෝට්ටුවයි මුහුදු පතුලයි අතර තියෙන්නේ අඩි දෙකක විතර පරතරයක්. මමයි තව කෙනෙකුයි පොඩි බෝට්ටුවට ගොඩ වෙලා දූපතට යන්න පුළුවන් කොහොමද කියලා හොයලා බැලුවා. ඒ වෙලාවේ මහ හයියෙන් වැස්ස නිසා අපිව හොඳටම තෙමුණා. දූපතට යන්න පුළුවන් විදිහක් හොයාගන්න එදා අපිට පැය දෙකක් විතර ගත වුණා.

අපි දූපතට ගියාම එහේ හිටිය අය අපිව දැකලා පුදුම වුණා. නාවික හමුදාවෙන්වත් මෙහාට එන්නේ නැහැ කියලා ඒ අය කිව්වා. ඒ වගේම අපි ළඟ තිබුණු මුහුදු සිතියමත් වැරදියි කියලා කිව්වා. මේ දූපතේ හිටිය බලධාරියත් ශුභාරංචිය දේශනා කරන්න අපිට අවසර දුන්නේ නැහැ. හැබැයි ඒ දූපතේ නෑදෑයන් ඉන්නවා නම් ඒ අයට ශුභාරංචිය කියන්න අපිට අවසර ලැබුණා. බලධාරියාගේ කීමට කීකරුවෙලා අපි නෑදෑයන්ට විතරක් කතා කළා. එක පුද්ගලයෙක් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * කියන පොත අපෙන් ඉල්ලගත්තේ හරිම ආශාවෙන්. එයා ඒ වෙලාවෙම ඒ පොත කියවන්න පටන්ගත්තා. ඒක කියවනකොට එයාට මතු වුණ ප්‍රශ්න එයාගේ බයිබලයේ පිටිපස්සෙන් ලියාගත්තා. ටික කාලෙකට පස්සේ ඒ පුද්ගලයාව අපිට තර්ස්ඩේ දූපතේදී නැවතත් මුණගැහුණා.

2009 ජනවාරි: අපි මබීඕග් සහ මෝඅ කියන දූපත්වලට ආයෙත් සැරයක් ගියා. අපි එහේ ගියේ බයිබලය ගැන ඉගෙනගන්න කැමැත්තක් දැක්වූ අයව මුණගැහෙන්නයි. ඒ දූපත් දෙකේම හිටිය අය අපිව ප්‍රීතියෙන් පිළිගත්තා. ශුභාරංචිය ගැන දැනගන්න තිබුණු ආශාව නිසා මේ දූපතේ හිටිය හුඟක් අය ආයෙත් ඇවිත් ඒ අයව හමු වෙන්න කියලා අපිට කිව්වා. ඒ වගේම මිනිසුන්ට ශුභාරංචිය ගැන කියලා දෙන්න ඕනෙම වෙලාවක මේ දූපතට එන්න දූපතේ බලධාරියත් අපිට අවසර දුන්නා.

ටෝරස් සමුද්‍රසන්ධියේ තියෙන දූපත් සමූහයෙන් 17කම මිනිසුන් ජීවත් වෙනවා. මේ හැම කෙනෙකුටම ශුභාරංචිය ගැන කියලා දෙන්න අපිට පුළුවන් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරමින් ඒ දේ කරන්න අපි අපේ උපරිමය කරනවා.

[පාදසටහන]

^ 17 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[23වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඕස්ට්‍රේලියාව

වෙයිපා

බැමග

ටෝරස් සමුද්‍ර සන්ධියේ දූපත්

පැපුවා නිව් ගිනියාව

[හිමිකම් විස්තර]

Based on NASA/​Visible Earth imagery

[24, 25වන පිටුවල සිතියම]

බැමග

තර්ස්ඩේ දූපතේදී

මෝඅ දූපත

වැරබර් දූපත

පරූමා දූපත

මබීඕග් දූපත

සයිබයි දූපත

ඩ්වර්න් දූපත

බෝයිගු දූපත

පැපුවා නිව් ගිනියාව

[හිමිකම් විස්තර]

Based on NASA/​Visible Earth imagery

[24වන පිටුවේ පින්තූරය]

තර්ස්ඩේ දූපතේදී

[24වන පිටුවේ පින්තූරය]

සයිබයි දූපතේ මිනිසුන්ව හමු වෙන්න යමින්

[25වන පිටුවේ පින්තූරය]

ශුභාරංචිය දැනුම් දෙමින්