Skip to content

පටුනට යන්න

තනි වූ ඔවුන්ට පිළිසරණක් වෙමු

තනි වූ ඔවුන්ට පිළිසරණක් වෙමු

තනි වූ ඔවුන්ට පිළිසරණක් වෙමු

කුඩා නිවසක ජීවත් වන ජීන් ආහාර ගැනීම සඳහා මේසය පිළියෙල කරමින් සිටියා. කෙසේ හෝ පුරුද්දට මෙන් ඇය මේසය පිළියෙල කර තිබුණේ දෙදෙනෙකුටයි. ඒ බව වැටහුණු විට ඇය අඬන්න පටන්ගත්තා. එයට හේතුව ඊට අවුරුදු දෙකකට කලින් ඇගේ ස්වාමිපුරුෂයා මිය ගොස් තිබීමයි.

විවාහ සහකරුව අහිමි වීමේ වේදනාව අද්දැක නැති කෙනෙකුට එම වේදනාව කොතරම්ද කියා තේරුම්ගැනීම පහසු නැහැ. ඇත්තෙන්ම විවාහ සහකරුව අහිමි වූ පුද්ගලයාට පවා එම අහිමි වීම පිළිගැනීම පහසු කාර්යයක් නොවෙයි. හැත්තෑදෙවන වියේ පසු වන බෙරල් වැන්දඹුවක්. ඇගේ ස්වාමිපුරුෂයාගේ හදිසි මරණයෙන් පසුව ඇයට ඒ ගැන හැඟුණ ආකාරය ඇය මෙසේ පැවසුවා. “ඒක මට දැනුණේ හීනයක් වගෙයි. මගේ මහත්තයා ආයේ කවදාවත් මේ ගෙදරට එන්නේ නැහැ කියලා මගේ හිත තාම පිළිගන්නේ නැහැ.”

යම් පුද්ගලයෙකුගේ අතක් හෝ පාදයක් කපා ඉවත් කළොත් එම අවයවය තවමත් තම ශරීරයේ තිබෙනවා කියා ඒ පුද්ගලයාට දැනෙන්න පුළුවන්. ඒ හා සමානව විවාහ සහකරුව අහිමි වූ කෙනෙකුටත් දැනෙන්නේ තම සහකරු තවමත් ජීවත් වෙනවා කියායි. ඒ නිසා සමහර අවස්ථාවලදී සෙනඟක් අතර සිටින විට තම සහකරුද ඒ අතර සිටිනවා කියා ඔවුන්ට දැනෙන්න ඉඩ තිබෙනවා. ඒ වගේම ඔහුගේ හෝ ඇයගේ කටහඬ තමන්ට ඇසෙනවා කියාත් ඔවුන්ට හැඟෙන්න පුළුවන්.

බොහෝ අවස්ථාවලදී විවාහ සහකරුව අහිමි වීමේ වේදනාවට මුහුණ දෙන කෙනෙකුට උපකාර කළ යුත්තේ කෙසේද කියා මිතුරන්ට සහ ඥාතීන්ට අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. ඒ නිසා මෙම ප්‍රශ්න ගැන සිතා බලන්න. විවාහ සහකරුව අහිමි වීමේ වේදනාවට මුහුණ දෙමින් සිටින කෙනෙකුව මම හඳුනනවාද? ඔවුන්ට උපකාර කිරීමට පෙර මම දැනගත යුත්තේ කුමක්ද? එමෙන්ම ඔවුන්ගේ ජීවිතයේ සතුට යළි උදා කර දීම සඳහා මට ඔවුන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?

ඔබ නොකළ යුතු දේ

සහකරුව අහිමි වූ කෙනා දිගු කාලයක් වේදනාවෙන් සිටිනවා දැකීමට පවුලේ අය සහ හිතමිතුරන් කැමති නැහැ. නමුත් සහකරුව අහිමි වීමේ වේදනාව නිසා කෙනෙක් හඬන විට ඔහුව හෝ ඇයව ඉන් වැළැක්වීමට උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ඔවුන්ගේ වේදනාව පිට කිරීමට ඉඩ දෙන්න. සමහරවිට ඔවුන් යම් කාලයක් පුරා එලෙස ශෝකයෙන් සිටීමට ඉඩ තිබෙනවා. වැන්දඹුවන් 700දෙනෙක් සමඟ කළ සමීක්ෂණයකින්ද හෙළි වුණේ “කෙනෙක් කොතරම් කාලයක් ශෝකයෙන් සිටියිද කියා නිශ්චිතවම පැවසිය නොහැකි” බවයි.—උත්පත්ති 37:34, 35; යෝබ් 10:1.

අවමංගල්‍ය කටයුතුවලදී ඔවුන්ට අවශ්‍ය උපකාර ලබා දීම ඇත්තෙන්ම වටිනවා. නමුත් සියලු කටයුතු ඔබට අවශ්‍ය ආකාරයට කළ යුතුයි කියා සිතන්න එපා. හතලිස්නවවන වියේ පසු වන පෝල් තම බිරිඳගේ අවමංගල්‍ය කටයුතු සිදු වූ ආකාරය ගැන මෙසේ පැවසුවා. “පුළුවන් හැම විදිහකින්ම අනික් අය මට උදව් කළ එක මම හුඟක් අගය කරනවා. ඒ වගේම මගේ බිරිඳගේ අවමංගල්‍ය කටයුතු මගේ කැමැත්තට අනුව කරන්න ලැබුණ එක ගැනත් මට සතුටුයි. ඇත්තටම මට ඕනෙ වුණේ හැම දෙයක්ම ඉතා හොඳින් කරන්නයි. ඒකට හේතුව මගේ බිරිඳ වෙනුවෙන් යම් දෙයක් කරන්න ලැබෙන අන්තිම අවස්ථාව ඒක නිසයි.”

අවමංගල්‍ය කටයුතුවලදී යම් ආකාරවලින් තමන්ට උපකාර කිරීම බොහෝ වැන්දඹුවන් අගය කරනවා. හැටඅටවන වියේ සිටින අයිලීන් ඒ ගැන මෙසේ පැවසුවා. “මගේ මහත්තයාගේ අවමංගල්‍ය කටයුතු සැලසුම් කිරීම සහ ලියකියවිලිවල වැඩ කරන එක මට ලෙහෙසි වුණේ නැහැ. හැබැයි මගේ පුතයි ලේලියි ඒ වැඩවලට උදව් කළ නිසා මට ලොකු සහනයක් දැනුණා.”

මිය ගිය පුද්ගලයා ගැන තනි වූ සහකරු හෝ සහකාරිය සමඟ කිසිවක් කතා නොකර සිටින්න එපා. කලින් සඳහන් කළ බෙරල් මෙසේ පැවසුවා. “මගේ යාළුවෝ මට හුඟක් උදව් කළා. ඒත් සමහර අවස්ථාවලදී ඒ අය මගේ මහත්තයා ගැන කිසිම දෙයක් කතා කළේ නැහැ. ඒ වගේ වෙලාවට මට හිතෙන්නේ ඒ අයට මගේ මහත්තයාව අමතක වෙලා කියලයි. ඒ වෙලාවට මට හුඟක් දුක හිතෙනවා.” බොහෝ වැන්දඹුවන් අහිමි වූ තම සහකරු හෝ සහකාරිය ගැන සතුටින් යම් දේවල් ගැන කතා කරන්න කැමති විය හැකියි. ඒ නිසා මිය ගිය තැනැත්තාට ආවේණික වූ යම් පුරුද්දක් හෝ යම් ඉරියව්වක් ගැන ඔබට ඔවුන් සමඟ සතුටින් කතා කරන්න පුළුවන්. එසේත් නැත්නම් ඔබට ඔහු ගැන ඇති සොඳුරු මතකයන් ගැන කතා කරන්න. එවැනි දේවල් ගැන කතා කිරීමට භය වෙන්න එපා. ඔහුගේ හෝ ඇයගේ අඩුව ඔබටත් දැනෙන බව ඔවුන්ට හැඟෙන්න සලස්වන්න. (රෝම 12:15) එය ඔවුන්ට මහත් සහනයක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

වැන්දඹුවන්ට උපකාර කරන විට කිසිම අවස්ථාවක ඔවුන්ට අනවශ්‍ය ලෙස උපදෙස් දෙන්න එපා. එමෙන්ම යම් තීරණ ගැනීමට ඔවුන්ට බල කරන්නත් එපා. * ඒ වෙනුවට එවැනි තත්වයක සිටින කෙනෙකුට උපකාර කිරීමට කලින් ඔබෙන්ම මෙම ප්‍රශ්නය අසාගන්න. “සහකරුගේ මරණය නිසා ජීවිතයේ විශාල වෙනසකට මුහුණ දී සිටින කෙනෙකුට උපකාර කිරීම සඳහා මට කළ හැක්කේ කුමක්ද?”

ඔබට කළ හැකි දේ

සහකරුගේ මරණයත් සමඟ ගත වෙන මුල් දවස් කිහිපය තුළ වේදනාවෙන් සිටින කෙනෙකුට අන් අයගේ සහයෝගය බෙහෙවින් අවශ්‍යයි. ඒ නිසා එවැනි කෙනෙකුව බැලීමට එන අයට කෑම වේලක් පිළියෙල කර දීමට හෝ නවාතැන් පහසුකම් සැපයීමට ඔබ කැමතිද? එමෙන්ම වේදනාවෙන් පසු වෙන තැනැත්තාට තනි වෙන්න නොදී ඔහු හෝ ඇය සමඟ කාලය ගත කිරීමට ඔබට හැකිද?

සහකරුගේ මරණය නිසා ඇති වන තනිකම සහ වේදනාව හමුවේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් කටයුතු කරන ආකාරය එකිනෙකට වෙනස් විය හැකියි. උදාහරණයකට ඇතැම් රටවල සිටින ස්වාමිපුරුෂයන්ගෙන් අඩකටත් වඩා වැඩි පිරිසක් තම භාර්යාව මිය ගොස් අවුරුදු එකහමාරක් වැනි කාලයක් තුළ නැවත විවාහ වෙනවා. නමුත් භාර්යාවන් තම ස්වාමිපුරුෂයා මිය ගිය පසු නැවත විවාහ වෙන්නේ කලාතුරකින්. ඇත්තටම ඒ වෙනසට හේතුව කුමක්ද?

ස්වාමිපුරුෂයෙක් නැවත විවාහ වෙන්නේ තම අවශ්‍යතා සහ ලිංගික ආශාවන් ඉටු කරගැනීමේ අදහසින් කියා සමහර අය සිතනවා. නමුත් සෑමවිටම එය සැබෑවක් නොවෙයි. ඇත්තෙන්ම බොහෝ ස්වාමිපුරුෂයන් තම බිරිඳ මිය ගිය පසු නැවත විවාහ වෙන්නේ ඔවුන්ට තනිකම තදින්ම දැනෙන නිසයි. ඊට මුහුණ දීම සඳහා කළ යුතු හොඳම දෙය ලෙස ඔවුන් දකින්නේ නැවත විවාහ වීමයි. නමුත් පුරුෂයන්ට වඩා වෙනස්ව භාර්යාවන්ට තනිකමට හොඳින් මුහුණ දීමේ හැකියාව තිබෙනවා.

සහකරුව අහිමි වීම නිසා තනිකමට මුහුණ දෙන කෙනෙකු වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්ද කියා සිතා බලන්න. හතළිස්නවවන වියේ පසු වන වැන්දඹුවක් වන හෙලන් අන් අයගේ උපකාරය තමාට කොයි ආකාරයෙන් ලැබෙනවාට කැමතිද කියා මෙසේ පැවසුවා. “හුඟක් අය උදව් කරන්න කැමති වුණත් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඒ අය හුඟක් වෙලාවට කියන්නේ ‘ඔයාට මොනවා හරි උදව්වක් ඕනෙ නම් මට කියන්න’ කියලයි. ඒත් මම කැමතියි කවුරු හරි කියනවා නම් ‘මම සාප්පු යනවා ඔයාටත් මොනවා හරි ගන්න ඕනෙ නම් මාත් එක්ක එන්න’ කියලා.” පිළිකාවක් නිසා තම බිරිඳව අහිමි වූ කලින් සඳහන් කළ පෝල් අන් අය මුල් පියවර ගෙන තමන්ට කළ උපකාර අගය කළා. ඔහු ඒ ගැන මෙසේ පැවසුවා. “සමහර වෙලාවට මට කිසිම කෙනෙක් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒ වුණත් අනික් අය එක්ක ටිකක් කාලය ගත කරන්න කවුරු හරි කෙනෙක් මාව එක්කන් ගියාම ඒකෙන් මම ලොකු සතුටක් අද්දකිනවා. ඒ වෙලාවට මට තනිකම දැනෙන්නේ නැති තරම්. ඒ වගේම අනික් අය මං ගැන සැලකිලිමත් කියලා දැනුණාම මට ලොකු සහනයක් දැනෙනවා.” *

ඔවුන්ගේ තත්වය තේරුම්ගන්න

ඕනෑම වැන්දඹුවකට කාලයක් යන තුරු අන් අයගේ උපකාරය අවශ්‍ය වෙනවා. කලින් සඳහන් කළ හෙලන් ඒ ගැන පැවසූ දෙය සලකා බලන්න. “ස්වාමිපුරුෂයා නැති වුණ මුල් දවස්වල මිතුරන් සහ ඥාතීන් හැම දේකටම වගේ ළඟ හිටියා. ඒත් ඒ අය ආපහු ජීවිතයේ වැඩකටයුතු සාමාන්‍ය විදිහට කරන්න පටන්ගත්තත් මට ඒ තත්වයට එන්න ඊට වඩා වැඩි කාලයක් අවශ්‍ය වුණා.” ඇත්තෙන්ම වැන්දඹුවන්ගේ එම තත්වය හොඳින් තේරුම්ගන්නා සැබෑ මිතුරන් සෑමදාම ඔවුන් සමඟ සිටිමින් අවශ්‍ය සෑම අවස්ථාවකම ඔවුන්ට උපකාර කරනවා.

වැන්දඹුවන්ට අන් අයගේ උපකාරය වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ විවාහ සංවත්සර දිනය හෝ සහකරු මිය ගිය දිනය වැනි අමතක නොවන දිනයන්වලදීයි. කලින් සඳහන් කළ අයිලීන්ට විවාහ සංවත්සර දවසේදී තම ස්වාමිපුරුෂයාගේ අඩුව තදින්ම දැනුණා. ඒ නිසා ඒ තනිකමට මුහුණ දීමට ඇගේ වැඩිමහල් පුතා වූ කෙවින් ඇයට උපකාර කළා. ඒ ගැන ඇය මෙසේ පැවසුවා. “හැම අවුරුද්දකම විවාහ සංවත්සරය දවසේදී පුතා මාව කොහේ හරි තැනකට එක්කගෙන යනවා. ඒ මුළු දවසම පුතා ඉන්නේ මාත් එක්කයි.” එලෙස වැන්දඹුවක්ව සිටින ඔබේ මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ සිතට තදින්ම දැනෙන දවස් මොනවාද කියා සටහන් කර තබාගෙන ඒ දිනයන්වලදී ඔවුන්ට උපකාර කරන්න ඔබටත් හැකිද? උදාහරණයකට ඒ දිනයන්වලදී ඔවුන් සමඟ කාලය ගත කිරීම සඳහා යම් සැලසුමක් යොදන්න ඔබට හැකිද?—හිතෝපදේශ 17:17.

තමන් හා සමාන තත්වයක සිටින වෙනත් වැන්දඹුවන්ව ආශ්‍රය කිරීමද වැන්දඹුවකට සහනයක් විය හැකියි. වසර අටක් පුරා වැන්දඹුවක්ව සිටින ඇනී වෙනත් වැන්දඹුවක්ව ඇසුරු කිරීමෙන් ප්‍රයෝජන ලැබුවා. ඒ ගැන ඇය පැවසුවේ මෙසේයි. “ඇයට හොඳ අධිෂ්ඨාන ශක්තියක් තිබුණ නිසා මාත් ශක්තිමත් වුණා. ඒ වගේම මගේ ජීවිතය ඉදිරියටම ගෙනියන්න ඒක මට ලොකු දිරිගැන්වීමක් වුණා.”

ඇත්තෙන්ම වැන්දඹුවක්ව සිටින කෙනෙක් වෙනත් වැන්දඹුවකට විශාල ශක්තියක් සහ දිරිගැන්වීමක් විය හැකියි. එලෙස එකිනෙකාගෙන් ශක්තිය ලැබූ වැන්දඹුවන් දෙදෙනෙකු වන රූත් සහ නයොමි ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනාම එකිනෙකාව ශක්තිමත් කරගනිමින් එකිනෙකාව සනසාගත්තා. ඒ නිසා ඔවුන් දෙදෙනාට අභියෝග ජය ගැනීමටත් සහකරුව අහිමි වීමේ වේදනාවට හොඳින් මුහුණ දීමටත් හැකි වුණා.—රූත් 1:15-17; 3:1; 4:14, 15.

සුව කිරීමට කාලයක්

වැන්දඹුවක්ව සිටින කෙනෙක් තම ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීම සඳහා පියවර ගැනීම ඉතා වැදගත්. ඇතැම් අවස්ථාවලදී මිය ගිය සහකරු ගැන ඇති මතකයන් නිසා ඔවුන් ශෝක විය හැකියි. නමුත් ඔවුන් නිතරම එසේ ශෝකයෙන් සිටියොත් එය ඔවුන්ගේ ඉදිරි ගමනට බාධාවක් වීමට ඉඩ තිබෙනවා. එමනිසා ඒ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන්ට උපකාර කිරීම ඉතා වැදගත්. ඊට හේතුව “අඬන්න කාලයක්” මෙන්ම ‘සුව කරන්න කාලයක්ද’ තිබෙන බව බයිබලයේ සඳහන් වීමයි.—දේශනාකාරයා 3:3, 4.

කලින් සඳහන් කළ පෝල් මිය ගිය තම බිරිඳ ගැන සිතමින් බොහෝ සෙයින් දුක් වුණා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මමයි මගේ බිරිඳයි නිතරම හිටියේ එකට. අපි දෙන්නා හරියට එකට වෙලිලා වැඩුණු ගස් දෙකක් වගෙයි. ඒත් හදිසියේම එක ගහක් මැරුණා. ඒ නිසා ඒ ගහට වෙලිලා හිටිය අනික් ගහ තනි වෙලා අසරණ වුණා.” සමහරවිට සහකරුගේ මරණයෙන් පසුව තනි වන තැනැත්තා අතීතය ගැන සිතමින් දිගටම ශෝකයෙන් සිටිය හැකියි. තවත් අය සිතන්නේ විනෝද වීම මිය ගිය සහකරුට ද්‍රෝහි වීමක් කියායි. ඒ නිසා ඔවුන් වෙනත් අයව ඇසුරු කිරීමට සතුටු වන්නේ නැහැ. එවැනි අයට ඔවුන්ගේ වේදනාව සුව කරගෙන ජීවිතය ඉදිරියට ගෙන යෑම සඳහා ඔබට උපකාර කළ හැක්කේ කෙසේද?

කළ හැකි එක් දෙයක් නම් ඔවුන්ගේ හැඟීම් නිදහසේ ප්‍රකාශ කිරීමට ඉඩ සලසා දීමයි. වසර හයකට පෙර තම බිරිඳ අහිමි වූ හර්බර්ට් ඒ ගැන මෙවැනි දෙයක් පැවසුවා. “මගේ හිතේ තියෙන දෙයක් මම කියනකොට අනික් අය ඒකට හොඳින් සවන් දෙනවා නම් ඒක මට ලොකු සහනයක්. සමහර වෙලාවට මං වගේ කෙනෙක් එක්ක කාලය ගත කරන එක එච්චර සතුටුදායක නැතුව ඇති. ඒත් අනිත් අය මාව තේරුම්ගත්ත එක මම හුඟක් අගය කරනවා.” තමන්ව තේරුම්ගෙන කටයුතු කළ මිතුරෙක් නිසා පෝල්ද විශාල සහනයක් ලැබුවා. ඒ මිතුරා සෑමවිටම පෝල්ගේ තත්වය ගැන විමසන්න අමතක කළේ නැහැ. ඒ ගැන පෝල් මෙසේ පැවසුවා. “මගේ යාළුවා හරිම කරුණාවෙන් මගේ තත්වය ගැන අහනකොට ඒ ගැන කියන්න මම පෙලඹුණා.”—හිතෝපදේශ 18:24.

සහකරුගේ අහිමි වීමත් සමඟම කෙනෙකු තුළ විවිධාකාර හැඟීම් ඇති වීමට ඉඩ තිබෙනවා. ඊට සිත වධ දීම, කෝපය හෝ පසුතැවීම ඇතුළත් විය හැකියි. එවැනි හැඟීම් යම් කෙනෙකුට ප්‍රකාශ කිරීමෙන් යථාර්ථය පිළිගෙන ඊට මුහුණ දෙන්න පහසු වෙනවා. අතීතයේ සිටි දාවිත් රජ එවැනි දෙයක් කළා. ඔහුගේ පුතා මිය ගිය පසු යථාර්ථය පිළිගෙන නැවත ඔහුගේ වැඩකටයුතු කරගැනීමට පහසු වුණේ ඔහුගේ සිතේ තිබූ සියලුම හැඟීම් ඔහු යෙහෝවා දෙවිට ප්‍රකාශ කළ නිසයි.—2 සාමුවෙල් 12:19-23.

සහකරුගේ අහිමි වීමෙන් පසුව ක්‍රමානුකූලව නැවතත් තම වැඩකටයුතු සාමාන්‍ය ලෙස කිරීමට වැන්දඹුවක් උත්සාහ කිරීම ඉතා වැදගත්. නමුත් මුලදී එය එතරම් ලෙහෙසි නැහැ. ඒ නිසා ඔබේ එදිනෙදා වැඩකටයුතුවලට ඔවුන්ව හවුල් කරගන්න ඔබට පුළුවන්ද? උදාහරණයකට ඔබ සාප්පු යන අවස්ථාවලදී හෝ වෙනත් ගමනක් යන විට ඔවුන්වත් හවුල් කරගත හැකියි. ඊට අමතරව යම් වැඩකටයුත්තක් සඳහා ඔවුන්ගේ සහය ඉල්ලන්න ඔබට හැකිද? උදාහරණයකට ඔබේ දරුවන්ව සුළු වේලාවකට බලාගැනීමට හෝ ඔබ සමඟ එකතු වී යම් ආහාර වේලක් පිළියෙල කිරීමට ඔවුන්ගෙන් සහය ඉල්ලිය හැකිද? එසේත් නැත්නම් ඔබ සමඟ නිවසේ යම් වැඩකටයුත්තක් කිරීමට ඔවුන්වත් හවුල් කරගැනීමට ඔබ කැමතිද? එසේ කිරීම ඔවුන්ගේ තනිකම මකා දැමීමට උපකාරවත් විය හැකියි. එමෙන්ම ඔවුන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කිරීමටත් හැකි වෙයි.

තමන්ට හැඟෙන දේවල් ප්‍රකාශ කිරීම සහකරු අහිමි වූ කෙනෙකුට ජීවිතය සතුටින් ගත කිරීමටත් ජීවිතයේ අලුත් ඉලක්ක තබාගැනීමටත් උපකාරවත් වෙනවා. හතළිස්හතරවන වියේ පසු වන වැන්දඹුවක් වන යෝනේට් මෙසේ පැවසුවා. “සාමාන්‍ය ජීවිතයේ වැඩකටයුතු නැවත ආරම්භ කරන එක ලේසි නැහැ. පවුලේ වියහියදම් බලා කියා ගන්න එකත් දරුවන් තුන්දෙනාව හදා වඩා ගන්න එකත් මට හුඟක් අමාරු වුණා.” කොහොමවුණත් කාලයත් සමඟ යෝනේට් සෑම දෙයක්ම හොඳින් සැලසුම් කරගත් අතර තම දරුවන් සමඟ හොඳින් අදහස් හුවමාරු කිරීමටත් පුරුදු වුණා. එමෙන්ම කිට්ටු මිතුරන්ගෙන් ලැබුණු සහයෝගයද ඇය පිළිගත්තා.

ජීවිතයේ වටිනාකම අඩු වෙන්නේ නැහැ

විවාහ සහකරුගේ මරණයෙන් මාස කිහිපයක් හෝ වසර කිහිපයක් යන තුරුම තනි වූ තැනැත්තා විටෙක සාමාන්‍ය තත්වයෙන්ද තවත් විටෙක මානසිකව බිඳ වැටුණු තත්වයකින්ද පසු විය හැකියි. එමනිසා එවැනි අයට උපකාර කරන මිතුරන් සහ පවුලේ අය ඒ බව හොඳින් තේරුම්ගත යුතුයි. ඊට හේතුව එවැනි තත්වයක සිටින කෙනෙකුගේ “සිතේ ඇති වේදනාව” සමහර අවස්ථාවලදී ඉතා ප්‍රබල විය හැකි නිසයි.—1 රාජාවලිය 8:38, 39.

එලෙස මානසිකව බිඳ වැටුණු තත්වයක සිටින විට ඉන් ගොඩ ඒමටත් අන් අයගෙන් වෙන් නොවී සිටීමටත් ඔවුන්ට උපකාර අවශ්‍යයි. එවැනි උපකාර ලැබීම නිසා තමන්ගේ ජීවිතය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යෑමට බොහෝ වැන්දඹුවන්ට හැකි වී තිබෙනවා. වයස අවුරුදු 60ක් වන තම බිරිඳ අහිමි වූ ක්ලෝඩ් එවැනි කෙනෙක්. ඔහු යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරනවා. ඔහු තම ජීවිතය දෙස බලන ආකාරය ගැන මෙසේ පැවසුවා. “විවාහ සහකරු අහිමි වීම ඉතා ඛේදනීය දෙයක් වුණත් ඉතිරි වී සිටින කෙනාගේ ජීවිතයත් හුඟක් වටිනවා.”

විවාහ සහකරුගේ මරණයෙන් පසුව ඉතිරි වී සිටින තැනැත්තාගේ ජීවිතය කලින් තත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. ඒ වුණත් ඔවුන්ට අන් අය වෙනුවෙන් තවත් බොහෝ දේවල් කළ හැකි බව අප මතක තබාගනිමු.—දේශනාකාරයා 11:7, 8.

[පාදසටහන්වල]

^ 11 ඡේ.  මිය ගිය සහකරුට අයිති දේවලට කළ යුත්තේ කුමක්ද? නමැති මාතෘකාවෙන් යුත් 12වන පිටුවේ ඇති කොටුව බලන්න.

^ 16 ඡේ. වියෝ දුකෙන් පෙළෙන කෙනෙකුට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් තවත් විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට . . . නමැති ප්‍රකාශනයේ 20 සිට 25 දක්වා පිටු බලන්න.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සැබෑ මිතුරන් සෑමදාම ඔවුන් සමඟ සිටිමින් අවශ්‍ය සෑම අවස්ථාවකම ඔවුන්ට උපකාර කිරීමට සූදානමින් සිටිනවා

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

 මිය ගිය සහකරුට අයිති දේවලට කළ යුත්තේ කුමක්ද?

වසර කිහිපයකට පෙර ස්වාමිපුරුෂයා අහිමි වූ හෙලන් මෙසේ පැවසුවා. “මගේ මහත්තයාට අයිති හුඟක් දේවල් මම ළඟ තියාගත්තා. ඒ නිසා කාලයත් සමඟ මගේ මහත්තයා ගැන තියෙන හොඳ මතකයන් නැවත අලුත් වුණා. මහත්තයාට අයිති කිසිම දෙයක් එක පාරටම අයින් කරන්න මම කැමති වුණේ නැහැ. මොකද කාලයත් එක්කම ඒ දේවල් මට තියාගන්න තිබුණානේ කියලා මට හිතෙන්න පුළුවන්.”

නමුත් වසර පහකට පෙර තම බිරිඳ අහිමි වූ ක්ලෝඩ් කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මගේ බිරිඳට අයිති දේවල් මම අයින් කළා. ඒකට හේතුව ඒ දේවල් තිබුණොත් මට එයාව නිතරම මතක් වෙනවා. ඒ දේවල් ඉවත් කළාම මගේ බිරිඳ ඇත්තටම මාත් එක්ක නැහැ කියලා පිළිගන්න මට පහසුයි. මගේ දුක දරාගන්නත් ඒක උදව් වුණා.”

හෙලන් සහ ක්ලෝඩ් පැවසූ දේවලින් පැහැදිලි වෙන්නේ මිය ගිය සහකරුට අයිති දේවල් සම්බන්ධයෙන් ගන්නා තීරණ එකිනෙකාට වෙනස් විය හැකි බවයි. එමනිසා ඥාතීන් සහ මිතුරන් ඒ කාරණයේදී තමන්ගේ මතය පවසමින් ඒ දේ කිරීමට ඔවුන්ට බල කිරීම සුදුසු නැහැ.—ගලාති 6:2, 5.

[9වන පිටුවේ පින්තූර]

ඔබගේ උපකාරය ඔවුන්ට වැඩියෙන්ම අවශ්‍ය විය හැකි දිනයන් මොනවාද?

[9වන පිටුවේ පින්තූරය]

යම් ක්‍රියාකාරකම් සඳහා ඔවුන්වත් හවුල් කරගන්න

[10වන පිටුවේ පින්තූර]

ඔබේ එදිනෙදා වැඩවලදී හෝ විනෝද වන අවස්ථාවලදී ඔවුන්වත් ඊට සම්බන්ධ කරගන්න