ඇපලෝජිස්තවරුන් ක්‍රිස්තියානීන්ද නැත්නම් දර්ශනවාදීන්ද?
ඇපලෝජිස්තවරුන් ක්‍රිස්තියානීන්ද නැත්නම් දර්ශනවාදීන්ද?
දෙවන සියවසේ ජීවත් වූ ක්‍රිස්තියානීන්ට එක පිට එක බොරු චෝදනා රැසක් පැමිණියා. ඔවුන් එකම පවුලේ අය සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන, ළදරුවන්ව ඝාතනය කරන, මිනිස් මාංස ආහාරයට ගන්නා පිරිසක් කියා ඔවුන්ට චෝදනා එල්ල වුණා. ඒ නිසා එවකට සිටි ක්‍රිස්තියානීන්ට පීඩා රැසකට මුහුණ දෙන්න සිදු වුණා. නමුත් යම් පිරිසක් ඒ චෝදනා සියල්ල බොරු කියා ඔප්පු කිරීමට පියවර ගත්තා. ඔවුන්ව හඳුන්වනු ලැබුවේ ඇපලෝජිස්තවරු ලෙසයි. එහි අර්ථය “චෝදනාවලට පිළිතුරු දෙන්නෝ” යන්නයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ක්‍රිස්තියානි ධර්මයේ කිසිම වරදක් නැහැ කියා පෙන්වමින් අධිරාජ්‍යයේ සහ පොදු ජනයාගේ ප්‍රසාදය දිනාගැනීමටයි.
නමුත් ඒ කාර්යය පිටුපස යම් භයානක පැත්තක්ද තිබෙනවා. එසේ පවසන්නේ අධිරාජ්‍යයෙත් පොදු ජනයාගෙත් ප්‍රසාදය දිනාගැනීමේ අරමුණින් යම් දේවල් කිරීමේදී ක්‍රිස්තියානි ප්‍රතිපත්ති බාල වීමට ඉඩ තිබෙන නිසයි. එසේ කිරීමෙන් තව තවත් පීඩා ඇති වීමටද ඉඩ තිබෙනවා. එසේනම් ඇපලෝජිස්තවරු ක්‍රිස්තියානි විශ්වාසයන්ට පක්ෂව කතා කළේ කොහොමද? ඔවුන් ඉගැන්වූ දේවල් මොනවාද? ඔවුන්ගේ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය කුමක්ද?
ඇපලෝජිස්තවරු සහ රෝම අධිරාජ්‍යය
දෙවන සියවසත් තුන්වන සියවස ආරම්භයත් අතර කාලයේ සිටි ඇපලෝජිස්තවරු උගත් පිරිසක් ලෙස ප්‍රසිද්ධව සිටියා. ජස්ටින් මාටර්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් සහ ටර්ටූලියන් වැනි අය ඒ අතර කැපීපෙනුණා. * ඔවුන් ක්‍රිස්තියානි විශ්වාසයන් පැහැදිලි කර දීමේ අරමුණින් රෝම බලධාරීන්ටත් ක්‍රිස්තියානි නොවූ වෙනත් අයටත් ලිපි ලියූ අතර ඒ ලිපිවල බයිබලයෙන් කළ උපුටා දැක්වීම්ද ඇතුළත් වුණා. එමෙන්ම ක්‍රිස්තියානීන්ට පීඩා කළ අයට විරුද්ධව නැඟී සිටිමින් ඔවුන්ට එල්ල වූ චෝදනා බොරු බව ප්‍රකාශ කිරීමට ඇපලෝජිස්තවරු පියවර ගත්තා.
ඇපලෝජිස්තවරුන්ට අවශ්‍ය වූ එක් මූලික දෙයක් නම් ක්‍රිස්තියානීන්ගෙන් රෝම අධිරාජ්‍යයට හෝ එහි අධිරාජ්‍යයාට කිසිම තර්ජනයක් නැහැ කියා බලධාරීන්ට පැහැදිලි කර දීමයි. එක් අවස්ථාවකදී ටර්ටූලියන් පැවසුවේ “අධිරාජ්‍යයාව පත් කර තිබෙන්නේ දෙවියන්” කියායි. ඊට අමතරව පාලන අයිතිය අධිරාජ්‍යයාගේ පවුල තුළ පැවතිය යුතු බව ඇතෙනාගොරස්ද පැවසුවා. එසේ පැවසීමෙන් පැහැදිලි වන්නේ ඔවුන් යම් ආකාරයකින් එදා පැවති දේශපාලනමය කටයුතුවලට හවුල් වූ බවයි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියා යොහන් 18:36.
යේසුස් පැවසූ දේ ඔවුන් සිතට ගෙන තිබූ බවක් පෙනෙන්නේ නැහැ.—ඇපලෝජිස්තවරුන් ක්‍රිස්තියානි ධර්මය සහ රෝමය අතර සම්බන්ධයක් ඇති කරන්නත් උත්සාහ කළා. එය අධිරාජ්‍යයේ වැඩි දියුණුවට දායක වුණා කියා ඇපලෝජිස්තවරයෙකු වූ මෙලිටෝ සඳහන් කළා. එමෙන්ම දි එපිස්ල් ටු ඩියොග්නෙටුස් නම් නිර්ණාමික කෘතියේ ක්‍රිස්තියානීන්ව විස්තර කර තිබෙන්නේ ‘මේ ලෝකයම එකට සම්බන්ධ කරගෙන සිටින’ ඉතා වැදගත් පිරිසක් ලෙසයි. ඊට අමතරව ඇපලෝජිස්තවරයෙක් වූ ටර්ටූලියන්ද ක්‍රිස්තියානීන්ට පැවසුවේ අධිරාජ්‍යයේ ශුභසිද්ධිය වෙනුවෙන් සහ දෙවිගේ විනිශ්චය ප්‍රමාද කරන මෙන් ඉල්ලා දෙවිට යාච්ඤා කරන්න කියායි. එයින් පැහැදිලි වෙන්නේ දෙවිගේ රාජ්‍යය ගැන තිබුණු උනන්දුව ඇපලෝජිස්තවරුන් තුළ අඩු වී තිබූ බවයි.—මතෙව් 6:9, 10.
ක්‍රිස්තියානි ධර්මය හා දර්ශනවාදය
දර්ශනවාදියෙක් වූ සෙල්සස් අපහාසාත්මක ලෙස පැවසුවේ “කම්කරුවන්, සපත්තු මසන්නන්, ගොවියන් ලෙස වැඩ කරන ක්‍රිස්තියානීන් කිසිම දෙයක් ගැන නොදන්නා මෝඩ පිරිසක්” කියායි. එය ක්‍රිස්තියානීන්ට අපකීර්තියක් වුණා. ඒ අපකීර්තිය මකා දැමීම සඳහා ඇපලෝජිස්තවරුන් දර්ශනවාදී අදහස් ක්‍රිස්තියානි ධර්මයට එක් කළා. ඔවුන් එසේ කළේ ක්‍රිස්තියානි ධර්මයට යම් උසස් බවක් ලබා දීමෙන් පොදු ජනයාගේ ප්‍රසාදය අත් කරගැනීමටයි. එය කොහෙත්ම සුදුසු නැති වුණත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්ලෙමන්ට් දර්ශනවාදය විස්තර කළේ ‘දෙවි ගැන ඉගෙනගන්න තිබෙන හොඳ ක්‍රමයක්’ ලෙසයි. එමෙන්ම ජස්ටින්ද මුලදී දර්ශනවාදය හෙළාදුටුවත් පසුව ඔහු දර්ශනවාදී සංකල්ප ඔස්සේ ක්‍රිස්තියානි ඉගැන්වීම් විස්තර කරන්න පටන්ගත්තා. එම දර්ශනවාදී අදහස් “හානිකර නොවන වාසිදායක” ඒවා කියාත් ඔහු පැවසුවා.
ඇපලෝජිස්තවරුන් උත්සාහ කළේ වෙනත් ජාතීන් අතරවත් නැති ඉතා සංකීර්ණ දර්ශනවාදී සංකල්ප ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට එක් කරන්නයි. ඇපලෝජිස්තවරයෙකු වූ ජස්ටින් පැවසූ මේ දෙයින් එය පැහැදිලි වෙනවා. “ඇතැම් අවස්ථාවලදී අපි ඔබට උගන්වන්නේ ඔබ විශ්වාස කරන කවියන් සහ දර්ශනවාදීන් පැවසූ දේවල්මයි. අනික් වෙලාවට අපි උගන්වන්නේ දෙවිගෙන් ලැබී තිබෙන වඩා ගැඹුරු කාරණායි.” එසේ ක්‍රිස්තියානි ධර්මයට දර්ශනවාදී සංකල්ප එක් කිරීමෙන් ඊට අලුත් මුහුණුවරක් ලබා දෙන්න ඇපලෝජිස්තවරුන්ට හැකි වුණා. ඔවුන් ඊළඟට උත්සාහ කළේ ඔවුන්ගේ ඉගැන්වීම් කාලයක් පුරා පවතින ඒවා බවත් ඒවා පිළිගත හැකි තත්වයක තිබෙනවා කියාත් ඇඟවීමටයි. ඒ නිසා ක්‍රිස්තියානීන් විශ්වාස කරන පොත් ග්‍රීකවරුන් පිළිගන්නා පොත්වලටත් වඩා පැරණියි කියා ඔවුන් පැවසුවා. එමෙන්ම බයිබලයේ සඳහන් අනාගතවක්තෘවරුන් ජීවත් වුණේ ග්‍රීක දර්ශනවාදීන්ටත් කලින් කියා ඔවුන් පැවසුවා. තවත් ඇපලෝජිස්තවරු පැවසුවේ බයිබලයේ සඳහන් අනාගතවක්තෘවරුන් පැවසූ දේවල්ම ග්‍රීක දර්ශනවාදීන් ඉගැන්වූවා කියායි. ඒ නිසා දර්ශනවාදියෙකු වූ ප්ලේටෝව මෝසෙස්ගේ ගෝලයෙක් ලෙසත් ඔවුන් හැඳින්වූවා.
ක්‍රිස්තියානි විශ්වාසයන් විකෘති වී
ක්‍රිස්තියානි ධර්මයට දර්ශනවාදය එක් කිරීමෙන් වෙනත් ජාතීන්ගේ විශ්වාසයන්ද ක්‍රිස්තියානි ධර්මයට එකතු වුණා. ප්‍රතිඵලයක් ලෙස බයිබලයේ සඳහන් චරිත ග්‍රීක දෙවිවරුන්ට සමාන කෙරුණා. උදාහරණයකට ඔවුන් යේසුස්ව පර්සියස් නමැති දෙවියාටත් පර්සියස්ගේ මව වන ඩැනැයි නම් කන්‍යා දෙවඟනව මරියාටත් සමාන කළා.
දර්ශනවාදී අදහස් නිසා බයිබලයේ සඳහන් ඇතැම් ඉගැන්වීම්ද විකෘති වුණා. ඒ සම්බන්ධයෙන් උදාහරණයක් සලකා බලමු. බයිබලයේ යේසුස්ව “ලෝගොස්” ලෙස හඳුන්වා තිබෙනවා. එහි අර්ථය “වචනය” හෙවත් දෙවි වෙනුවෙන් කතා කරන්නා යන්නයි. (යොහන් 1:1-3, 14-18; එළිදරව් 19:11-13) නමුත් ජස්ටින් ඒ අදහස විකෘති කරමින් ලෝගොස් යන ග්‍රීක වචනයට අර්ථ දෙකක් තිබෙනවා කියා පැවසුවා. එම අර්ථ දෙක නම් “වචනය” සහ “බුද්ධිය” යන්නයි. ‘වචනය’ යන අර්ථයෙන් ගත් විට ක්‍රිස්තුස් තුළින් දෙවිගේ වචනය ක්‍රිස්තියානීන්ට ලැබුණා කියා ඔහු පැවසුවා. නමුත් ‘බුද්ධිය’ යන අර්ථයෙන් බැලූ විට බුද්ධිය පාවිච්චි කරන ක්‍රිස්තියානීන් නොවන අයවත් ක්‍රිස්තියානීන් ලෙස හැඳින්විය හැකියි කියා ඔහු පැවසුවා. ඒ අනුව දෙවි කෙනෙකුව පිළි නොගත් සොක්‍රටීස් සහ ඒ සමාන තවත් අය ක්‍රිස්තියානීන් කියා ඔහු ප්‍රකාශ කළා.
ග්‍රීක දර්ශනවාදයේ ලෝගොස් ලෙස හඳුන්වා තිබෙන්නේ දෙවිවයි. එම සංකල්පය ක්‍රිස්තියානි ධර්මයට හඳුන්වා දීමෙන් යේසුස් සහ දෙවියන් යන දෙදෙනාම එක් කෙනෙක් යන ඉගැන්වීම ටර්ටූලියන් ඇතුළු වෙනත් ඇපලෝජිස්තවරුන් ඇති කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිත්වය නමැති බොරු ඉගැන්වීම ඇති වීමට මඟ විවර වුණා. *
මිය ගිය අයට සිදු වන දෙය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් ඉගැන්වීමද ඇපලෝජිස්තවරුන් විකෘති කළා. ඔවුන් ප්ලේටෝගේ දර්ශනවාදී අදහස් අදාළ කරගනිමින් මිනිසුන් තුළ නොනැසී පවතින ආත්මයක් තිබෙනවා කියා පැවසුවා. (දේශනාකාරයා 9:5, 10) එමෙන්ම මිනුසියස් ෆීලික්ස්, පයිතගරස්ගේ අදහස් පිළිගනිමින් කියා සිටියේ පුද්ගලයෙකු මිය ගිය විට ඔහුගේ ශරීරයෙන් පිට වන ආත්මය වෙනත් ශරීරයකට ඇතුල් වීම නැවත නැඟිටීම බවයි. නමුත් මිනිසුන්ට අමරණීය ආත්මයක් තිබෙනවා කියා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ග්‍රීක දර්ශනවාදී අදහස් නිසා බයිබලයේ සඳහන් ඉගැන්වීම් කොතරම් දුරට විකෘති වුණාද කියා ඉන් පැහැදිලි වෙනවා.
වැරදුණු තැන
ක්‍රිස්තියානි විශ්වාසයන්වලට දර්ශනවාදී සංකල්ප එකතු කිරීමෙන් විශාල පරිහානියක් සිදු වෙනවා කියා ඇතැම් ඇපලෝජිස්තවරුන් දැනගෙන සිටියා. එවැනි අය දර්ශනවාදීන්ව හෙළාදැක්කත් දර්ශනවාදය තුළ තිබෙන උසස් බව අගය කළා. උදාහරණයකට දර්ශනවාදීන්ගෙන් කිසිම පලක් නැහැ කියා ටේෂන් පැවසුවත් ඔහු ක්‍රිස්තියානි ධර්මය විස්තර කළේ “අපේ දර්ශනවාදය” ලෙසයි. එමෙන්ම දර්ශනවාදී සංකල්ප ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට කරන බලපෑම ටර්ටූලියන් හෙළාදුටුවත් ඔහු කියා සිටියේ තමාට ජස්ටින් සහ මිල්ටියේඩස් වැනි දර්ශනවාදීන්ව අනුකරණය කරන්න අවශ්‍යයි කියායි. ඇතෙනාගොරස්වද හඳුන්වා තිබෙන්නේ “ඇතන්ස්හි සිටින ක්‍රිස්තියානි දර්ශනවාදියෙක්” ලෙසයි. එමෙන්ම “ප්‍රඥාව ලබාගැනීමටත් තම විශ්වාසයන් වෙනුවෙන් නැඟී සිටීමටත් දර්ශනවාදය යොදාගත හැකි නිසා එය ක්‍රිස්තියානීන්ට සුදුසුයි” කියා ක්ලෙමන්ට්ද පැවසුවා.
ක්‍රිස්තියානි විශ්වාසයන්වලට පක්ෂව නැඟී සිටින අටියෙන් කටයුතු කළ ඇපලෝජිස්තවරුන් අතින් බරපතළ වරදක් සිදු වුණා. ඊට හේතුව ඔවුන් දෙවිගේ වචනය වන බයිබලය මත රඳා නොසිටීමයි. මුල් සියවසේ සිටි බයිබල් ලේඛකයෙක් වූ පාවුල් පැවසුවේ “දෙවිගේ වදන් ජීවමානය, බලවත්ය” කියායි. ඊට අමතරව හෙබ්‍රෙව් 4:12; 2 කොරින්ති 10:4, 5; එෆීස 6:17) ඒ අනුව ඇපලෝජිස්තවරු දෙවිගේ වචනය මත රඳා නොසිටීම මොන තරම් වරදක්ද!
‘දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව මිනිසුන් ගෙනෙන තර්ක විතර්ක හා ඔවුන් දරන සියලු උඩඟු ආකල්ප බිඳ දැමීමට’ දෙවිගේ වචනයට හැකියාව තිබෙනවා කියාත් ඔහු පැවසුවා. (යේසුස් මිය යෑමට පෙර රාත්‍රියේදී ඔහුගේ ගෝලයන්ට පැවසුවේ “කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා” කියායි. (යොහන් 16:33) යේසුස් පොළොව මත සිටියදී මොන තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නත් දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය ඔහු නැති කරගත්තේ නැහැ. එමෙන්ම යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන්ද මෙසේ පැවසුවා. “මේ ලෝකයෙන් අප ජය ගන්නේ අප තුළ තිබෙන විශ්වාසය මාර්ගයෙනි.” (1 යොහන් 5:4) ඇපලෝජිස්තවරුන්ට ක්‍රිස්තියානි විශ්වාසයන්වලට පක්ෂව කතා කරන්න අවශ්‍යතාවය තිබුණත් ඔවුන් ඒ දේ කළේ දෙවිගේ කැමැත්තට පටහැනි දර්ශනවාදී සංකල්ප ක්‍රිස්තියානි ධර්මයට එකතු කිරීමෙනුයි. ඔවුන්ට වැරදුණු තැන එතැනයි. එසේ කිරීමෙන් ඔවුන් දෙවිගෙන් ඈත් වූ ලෝකයේ බලපෑමට හසු වුණා. ඔවුන් නොදැනුවත්වම “ආලෝකය ලබා දෙන දූතයෙකු ලෙස පෙනී” සිටින සාතන්ගේ ග්‍රහණයට ලක් වුණා.—2 කොරින්ති 11:14.
අද සිටින ක්‍රිස්තියානියයි කියාගන්නා පූජකයන් ඇතුළු ආගමික නායකයන්ද කරමින් සිටින්නේ පුරාණයේ සිටි ඇපලෝජිස්තවරුන් කළ වරදමයි. ඔවුන් මිනිසුන්ගේ ප්‍රසාදය දිනාගැනීමේ අටියෙන් බයිබලයේ සඳහන් තොරතුරු බාල කරමින් දර්ශනවාදී අදහස් උගන්වනවා. බයිබලයට පටහැනි දේවල් කිරීමෙන් වැළකී සිටින ලෙසට මිනිසුන්ට උපදෙස් දෙනවා වෙනුවට ඔවුන් මිනිසුන්ගේ “කන්වලට මිහිරි දේවල්” පමණක් උගන්වනවා. (2 තිමෝති 4:3) එදා සිටි ඇපලෝජිස්තවරුන් හා සමානව අද සිටින පූජකයන්ද බයිබලයේ සඳහන් මෙම අනතුරු ඇඟවීමට අවනත වී නැහැ. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.” දර්ශනවාදී අදහස් යොදාගෙන දෙවිගේ වචනය බාල කරන අයට බයිබලයේ අනතුරු අඟවා තිබෙන්නේ “අවසානයේදී ඔවුන්ගේ ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිඵල” ලැබෙයි කියායි.—කොලොස්සි 2:8; 2 කොරින්ති 11:15.
[පාදසටහන්වල]
^ 5 ඡේ. ක්වාඩ්රාටස්, ඇරිස්ටයිඩස්, ටේෂන්, අපාලනැරස්, ඇතෙනාගොරස්, තියෝෆිලස්, මෙලිටෝ, මිනුසියස් ෆීලික්ස් වැනි අය සහ එතරම් සඳහන් නොවන වෙනත් ලේඛකයන්ද ඇපලෝජිස්තවරු ලෙස කටයුතු කළා. තවත් විස්තර දැනගැනීම සඳහා 2003 මැයි 15 මුරටැඹ කලාපයේ 27-29 දක්වා පිටු සහ 1996 මාර්තු 15 මුරටැඹ කලාපයේ 28-30 දක්වා පිටුද බලන්න.
^ 14 ඡේ. ඇපලෝජිස්තවරයෙකු වූ ටර්ටූලියන්ගේ සංකල්ප ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2002 මැයි 15 මුරටැඹ කලාපයේ 29-31 දක්වා පිටු බලන්න.
[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“ඒවා මගින් දෙවි පිළිබඳ දැනුමට විරුද්ධව මිනිසුන් ගෙනෙන තර්ක විතර්ක හා ඔවුන් දරන සියලු උඩඟු ආකල්ප අපි බිඳ දමමින් සිටින්නෙමු”—2 කොරින්ති 10:5
[28වන පිටුවේ පින්තූරය]
ජස්ටින් පැවසුවේ දර්ශනවාදය “හානිකර නොවන වාසිදායක” දෙයක් කියායි
[29වන පිටුවේ පින්තූරය]
ක්ලෙමන්ට් දර්ශනවාදය විස්තර කළේ ‘දෙවි ගැන ඉගෙනගන්න තිබෙන හොඳ ක්‍රමයක්’ ලෙසයි
[29වන පිටුවේ පින්තූරය]
ටර්ටූලියන්ගේ දර්ශනවාදී අදහස් නිසා ත්‍රිත්වය නමැති බොරු ඉගැන්වීම ඇති වීමට මඟ විවර වුණා
[29වන පිටුවේ පින්තූරය]
ටේෂන් ක්‍රිස්තියානි ධර්මය විස්තර කළේ “අපේ දර්ශනවාදය” ලෙසයි
[30වන පිටුවේ පින්තූරය]
අද සිටින ක්‍රිස්තියානීයයි කියාගන්නා පූජකයන් ඇතුළු ආගමික නායකයන්ද පුරාණයේ සිටි ඇපලෝජිස්තවරුන් කළ වරදම කරමින් සිටිනවා
[31වන පිටුවේ පින්තූරය]
දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර ගැන පාවුල් අනතුරු ඇඟෙව්වා
[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Clement: Historical Pictures Service; Tertullian: © Bibliothèque nationale de France