Skip to content

පටුනට යන්න

එය ඇත්තටම වංචාවක්ද?

එය ඇත්තටම වංචාවක්ද?

එය ඇත්තටම වංචාවක්ද?

“අනතුර ගැන ඇත්ත විස්තරේ කියන්න එපා.”

“ආදායම් බදු දෙපාර්තමේන්තුවට හැම දෙයක්ම කියන්න ඕනේ නැහැ.”

“මොනවා කළත් අහුවෙන්නේ නැති විදිහට කරන්න.”

“නිකං ගන්න පුළුවන් දේට සල්ලි ගෙවන්නේ මොකටද?”

සමහරවිට මිනිසුන් ඉහත සඳහන් ආකාරයේ අදහස් ඉදිරිපත් කරනවා ඔබත් අසා ඇති. සමහරු ඉතා සූක්ෂ්ම ක්‍රම තුළින් තමන්ගේ වාසියට යම් දේවල් කරගන්න හරිම දක්ෂයි. එවැනි අයව අවංක මිනිසුන් ලෙස හැඳින්විය හැකිද?

බොරුවෙන් වංචාවෙන් සහ සොරකමෙන් ජීවත් වන අය අද සමාජයේ ඕනෑ තරම් සිටිනවා. දඬුවමකින් බේරෙන්න, මුදල් උපයන්න හෝ සමාජයේ ඉහළ තැනකට යන්න එවැනි අය ඕනෑම වංචනික දෙයක් කරන්න සූදානම්. සමාජයේ පිළිගත් අය පවා එසේ කරනවා. උදාහරණයකට එක් යුරෝපීය රටක සිදු වූ දෙයක් සලකා බලන්න. වර්ෂ 2005ත් 2006ත් අතර කාලය තුළ එම රටේ මුදල් වංචාව හා සම්බන්ධ අපරාධ සියයට 85කින් ඉහළ ගියා. නමුත් සමාජය සුළුයයි සලකන වංචාවන් ඊට ඇතුළත් වුණේ නැහැ. ඊට හේතුව එවැනි වංචාවන් සමාජයට සාමාන්‍ය දෙයක් වීමයි. එම රටේ සිටි ව්‍යාපාරිකයන් සහ දේශපාලන නායකයන්ද සමාජයේ ඉහළ තැනකට යෑමේ අරමුණින් ව්‍යාජ ඩිප්ලෝමා සහතිකපත් සාදාගෙන තිබුණා.

වංකකම දසත පැතිරුණු සමාජයක අපි අද ජීවත් වුණත් සමහරු අවංකව කටයුතු කිරීමට උත්සාහ කරනවා. සමහරවිට ඔබත් එවැනි කෙනෙක් විය හැකියි. ඔබ එලෙස කටයුතු කරන්නේ ඔබ දෙවිට ප්‍රේම කරන නිසාද? (1 යොහන් 5:3) එසේනම් බයිබලයේ සඳහන් මේ වදන් සත්‍යයක් බව ඔබ පිළිගනියි. “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි.” (හෙබ්‍රෙව් 13:18) කොහොමවුණත් සෑම අවස්ථාවකදීම අවංකව කටයුතු කිරීම පහසු නැහැ. එමනිසා කෙනෙකුගේ අවංකකම අභියෝගයකට ලක් විය හැකි අවස්ථාවන් කිහිපයක් සහ ඊට හොඳින් මුහුණ දීමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති ගැන අපි දැන් සලකා බලමු.

රක්ෂණ කටයුතුවලදී

තරුණ වියේ සිටින ලීසා * තම ඥාති සොහොයුරෙක් වූ ටෝනි සමඟ ඇගේ මෝටර් රථයෙන් ගමනක් යමින් සිටියා. නමුත් හදිසියේම ඇය අතින් සිදු වූ වරදක් නිසා ඇගේ මෝටර් රථය වෙනත් වාහනයක ගැටුණා. ඒ අනතුරෙන් කිසිම ජීවිත හානියක් සිදු නොවුණත් වාහන දෙකටම අලාභහානි වුණා. ඇය ජීවත් වූ රටේ සාමාන්‍යයෙන් තරුණ අයට වාහන රක්ෂණයක් සඳහා ඉහළ වාරිකයක් ගෙවීමට සිදු වෙන අතර මෝටර් රථය අනතුරකට ලක් වෙන හැම වතාවකදීම එම වාරිකය තවත් ඉහළ ගියා. එමනිසා වාහනය පැදවූයේ ඇගේ වැඩිමල් ඥාති සොහොයුරා කියා පවසන ලෙසට ඇගේ මිතුරෙක් යෝජනා කළා. එසේ කිරීමෙන් ඉහළ වාරිකයක් ගෙවීම වළක්වාගන්න හැකි වෙයි කියා ඔහු පැවසුවා. එය කදිම උපායක් බව පෙනෙන්න තිබෙනවා. නමුත් ලීසා කුමක් කරයිද?

රක්ෂණ සමාගම් රක්ෂණ හිමිකරුවන්ගෙන් වාරික ලබාගන්නේ වෙනත් රක්ෂණ හිමිකරුවන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පියවීම සඳහායි. ඒ අනුව බලන විට ලීසා ඇගේ මිතුරා පැවසූ යෝජනාවට එකඟ වී කටයුතු කළොත් රක්ෂණ සමාගමට ඇගෙන් ලැබිය යුතු මුදල් ලැබෙන්නේ නැහැ. එවිට අනික් රක්ෂණ හිමිකරුවන්ගෙන් එය පියවීමට රක්ෂණ සමාගමට සිදු වෙනවා. අනික් අතට ඇගේ ඥාති සහෝදරයා වාහනය පැදවූ බව පැවසුවොත් පාඩුව පියවීමට සිදු වන්නේ ලීසාගේ රක්ෂණ සමාගමට නොව ඇගේ ඥාති සහෝදරයාගේ රක්ෂණ සමාගමටයි. එවිට ඒ රක්ෂණ සමාගමට අයිති රක්ෂණ හිමිකරුවන්ගේ වාරිකවලින් ඒ වියදම පියවන නිසා ඔවුන්ට ගෙවිය යුතු නැති මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඒ අනුව බලන විට ලීසා ඇත්තෙන්ම කරන්නේ හොරකමක්.

එවැනි වංචනික ක්‍රියාවලට එරෙහිව නීතිමය පියවර ගනු ලබනවා. නමුත් අපි එවැනි වංචනික ක්‍රියාවලින් වැළකී සිටිය යුත්තේ දඬුවම් ලැබීමට තිබෙන බිය නිසා නොව එවැනි ක්‍රියාවන් බයිබලයේ හෙළාදැක තිබෙන නිසයි. උදාහරණයකට “සොරකම් නොකරන්න” කියාත් “සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි” කියාත් එහි සඳහන් වෙනවා. (නික්මයාම 20:15; එෆීස 4:28) එවන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් රක්ෂණය හා සම්බන්ධ කාරණාවලදී අවංකව කටයුතු කිරීමට ඔබට හැකියි. එසේ කටයුතු කිරීමෙන් ඔබ පෙන්වන්නේ යෙහෝවා දෙවිට මෙන්ම අන් අයටද ඔබ ප්‍රේම කරන බවයි.—ගීතාවලිය 119:97.

බදු ගෙවීමේදී

ව්‍යපාරිකයෙක් වූ පීටර් මුහුණ දුන් තත්වය සලකා බලමු. දිනක් ඔහු යටතේ සේවය කළ ගණකාධිකාරවරයා ඉහළ මිලකට පරිගණකයක් මිල දී ගත් බවට ව්‍යාජ වාර්තාවක් පිළියෙල කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළා. ඔහු එවැනි යෝජනාවක් කළේ ඉහළ මිලකට ව්‍යාපාරය සඳහා යම් දෙයක් මිල දී ගත් විට එම රටේ නීතියට අනුව ගෙවීමට සිදු වන ව්‍යාපාර බදු මුදල් ප්‍රමාණය අඩු වෙන නිසයි. සමහරවිට පීටර් එවැනි පරිගණකයක් ඇත්තටම මිල දී ගත්තාද නැද්ද කියා රජය සොයා බලන එකක් නැහැ. කොහොමවුණත් ගණකාධිකාරවරයාගේ යෝජනාවට පීටර් එකඟ වුණොත් ඔහුට යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකි වෙනවා. මේ තත්වයේදී පීටර් කෙසේ කටයුතු කරයිද?

බදු ගෙවීම සම්බන්ධයෙන් බයිබලයේ මෙවැනි උපදෙසක් දී තිබෙනවා. ‘සියලුදෙනාම උසස් බලධාරීන්ට යටත් විය යුතුයි. සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද වරිපණම් දිය යුතු තැනැත්තාට වරිපණම්ද දෙන්න.’ (රෝම 13:1, 7) එමනිසා යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට කැමති සියලුදෙනාම බදු ගෙවීම අතපසු කරන්නේ නැහැ.

බදු මුදල් ගෙවීම පැහැරහැරිය හැකි තවත් සිද්ධියක් සලකා බලමු. ඩේවිඩ් වඩුකාර්මිකයෙක්. ඔහු ලබන ආදායම සටහන් කිරීම සඳහා රිසිට් පොත් දෙකක් තබාගන්න කියා ඔහුගේ මිතුරන් ඔහුට පැවසුවා. එක් රිසිට් පොතක ඔහු ලබන සැබෑ ආදායම සටහන් කරමින් අනික් පොතේ ඔහු ලබන ආදායමට වඩා අඩු මුදලක් සටහන් කරන්න කියා මිතුරන් ඔහුව දිරිගැන්වූවා. ඔහු එසේ කටයුතු කළොත් රජයට ගෙවිය යුතු බදු මුදල් ප්‍රමාණය අඩු කරගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. නමුත් දෙවි හෙළාදකින දේවල් කිරීමට ඩේවිඩ් අකමැති නිසා ඔහු කෙසේ කටයුතු කරයිද?

රජයට ලැබිය යුතු බදු මුදල් නොගෙවීම වරදක්. ඊට හේතුව “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න” කියා යේසුස් පවසා තිබීමයි. (මතෙව් 22:17-21) යේසුස් එවැනි දෙයක් පැවසුවේ බදු ගෙවීම සම්බන්ධයෙන් ඒ කාලයේ සිටි මිනිසුන් තුළ තිබූ වැරදි අදහස නිවැරදි කිරීමටයි. රජයේ නීතිවලට අනුව බදු ගෙවීම අනිවාර්ය දෙයක්. එමනිසා බදු මුදල් නොගෙවීම බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් නොසලකාහැරීමක් කියා සැබෑ ක්‍රිස්තියානීන් තේරුම්ගෙන සිටිනවා.

විභාගවලදී

මාර්තා උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක්. හොඳ රැකියාවක් සොයාගැනීමට නම් හොඳින් විභාගයෙන් සමත් විය යුතු බව තේරුම්ගත් ඇය විභාගයට හොඳින් සූදානම් වුණා. නමුත් ඇගේ පාසැල් මිතුරන් විභාගයට සූදානම් වුණේ ඊට වඩා වෙනස් ආකාරයකටයි. ඔවුන් ජංගම දුරකථන, කැල්කියුලේටර් වැනි දේවල් විභාග ශාලාවට ගෙන ඒමට සැලසුම් කළා. ඔවුන් එලෙස කටයුතු කරන නිසා මාර්තාත් එසේ කළ යුතුද?

විභාගවලදී වංචා කිරීම බහුලව සිදු වන නිසා සමහර අයට එහි වරදක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා “මොනවා කළත් අහුවෙන්නේ නැති විදිහට කරන්න” කියා ඔවුන් කියනවා. නමුත් සැබෑ ක්‍රිස්තියානීන් එසේ සිතන්නේ නැහැ. විභාගයකදී ගුරුවරයෙකුට නොපෙනෙන්න වංචනිකව වැඩ කළත් එය යෙහෝවා දෙවිට පෙනෙනවා. බයිබලයේ මෙසේ සඳහන් වෙන්නේ ඒ නිසයි. “දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක. අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.” (හෙබ්‍රෙව් 4:13) යෙහෝවා දෙවි නිරතුරුවම අපි දෙස බලා සිටින්නේ අපි හරි දේ කරනවා දකින්න ඔහු කැමති නිසා බව අපි මතක තබාගනිමු. එවිට විභාගවලට පෙනී සිටින විට අවංකව කටයුතු කිරීමට අපි පෙලඹෙනවා.

ඔබ කරන්නේ කුමක්ද?

ලීසා, ටෝනි, පීටර්, ඩේවිඩ් සහ මාර්තා යන සියලුදෙනාගේම අවංකකම අභියෝගයට ලක් වුණා. නමුත් ඔවුන් ඒ අවස්ථාවලදී අවංකව කටයුතු කරමින් ඒ අභියෝගවලින් ජය ගත්තා. එමනිසා යෙහෝවා දෙවි ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටීමට ඔවුන්ට හැකි වුණා. ඔබටත් එවැනි තත්වයන්ට මුහුණ දීමට සිදු වුණොත් ඔබ කරන්නේ කුමක්ද?

රැකියා ස්ථානයේ හෝ පාසැලේ සිටින ඔබේ මිතුරන්ට සහ ඔබේ අසල්වාසීන්ට බොරුව, සොරකම සහ වංචාව සාමාන්‍ය දෙයක් විය හැකියි. සමහරවිට ඔබ අවංකව කටයුතු කිරීමට උත්සාහ කරන විට ඔවුන් ඔබට සමච්චල් කිරීමට ඉඩ තිබෙනවා. ඔවුන් එසේ කරන්නේ ඔබවත් ඔවුන්ගේම තත්වයට ඇද දැමීමටයි. කොහොමවුණත් වංචනික ක්‍රියාවක් කිරීමට බලපෑමක් එල්ල වන අවස්ථාවලදී හරි දේ කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

සියලු කාරණාවලදී ඔබ අවංකව කටයුතු කළොත් යෙහෝවා දෙවි ඉදිරියේ පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටිමින් ඔහුගේ අනුමැතිය ලබාගැනීමට හැකි බව අමතක කරන්න එපා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ඔබේ ශුද්ධ කන්දේ වාසය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කාටද? ධර්මිෂ්ඨකම් කරමින් නිර්දෝෂ ජීවිතයක් ගත කරන, සිතින් සත්‍යය පවසන තැනැත්තාටය. මෙසේ ක්‍රියා කරන තැනැත්තා කිසිදා නොසෙල් වෙයි.’ (ගීතාවලිය 15:1-5) ඒ අනුව වංචනික ක්‍රියා කරමින් යම් වාසි ලබාගන්නවාට වඩා පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇතුව සිටීම කොතරම් වටිනවාද!

[පාදසටහන]

^ 10 ඡේ. නම් වෙනස් කර ඇත.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි.”

දෙවිගේ නීතිවලට කීකරු වීමෙන් සහ අසල්වැසියාට ප්‍රේම කිරීමෙන් රක්ෂණය හා සම්බන්ධ කාරණාවලදී අවංකව කටයුතු කළ හැකියි

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදු දෙන්න.’

රජයට බදු මුදල් ගෙවීම දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක. අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.”

විභාගයකදී ගුරුවරයෙකුට නොපෙනෙන්න වංචනිකව ක්‍රියා කිරීමට හැකි වුණත් යෙහෝවා දෙවි ඉදිරියේ අපි අවංක විය යුතුයි

[14වන පිටුවේ කොටුව⁄පින්තූර]

“නොපෙනෙන” සොරකමක්

ඔබේ මිතුරෙක් නවතම පරිගණක මෘදුකාංග වැඩසටහනක් (computer program) මිල දී ගත්තා යැයි සිතන්න. ඔබටත් එය අවශ්‍ය නිසා එහි පිටපතක් ලබා දෙන්න ඔහු පොරොන්දු වෙනවා. ඒ නිසා අලුත් මෘදුකාංගයක් මිල දී ගැනීම සඳහා ඔබට මුදල් වියදම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එය අවංක ක්‍රියාවක් කියා පැවසිය හැකිද?

සාමාන්‍යයෙන් කෙනෙකු පරිගණක මෘදුකාංග වැඩසටහනක් මිල දී ගත් විට එහි සඳහන් කොන්දේසිවලට අනුව එය භාවිත කිරීමට එකඟ වෙනවා. එම කොන්දේසිවලට අනුව ඒ වැඩසටහන පිටපත් කිරීමට හෝ වෙන කෙනෙකුට ලබා දීමට අවසර නැහැ. එසේ කිරීම කොන්දේසි කඩ කිරීමක් වන අතර එය නීතියටද පටහැනි දෙයක්. (රෝම 13:4) එමෙන්ම එය සොරකමක්. එසේ පවසන්නේ එම පරිගණක වැඩසටහනේ හිමිකාරිත්වය ඇති කෙනාට ලැබිය යුතු ආදායම ඉන් නොලැබී යන නිසයි.—එෆීස 4:28.

එවැනි සොරකමක් ‘අන් අයට පෙනෙන්නේ නැති නිසා’ එය කළාට කමක් නැහැ කියා ඇතැමුන් සිතන්න පුළුවන්. නමුත් අපි යේසුස් පැවසූ මේ දෙය මතක තබාගත යුතුයි. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) අපිට ලැබිය යුතු දෙයක් අන් අය අපෙන් වළක්වනවාට හෝ අපිට අයිති දෙයක් වෙනත් අය අයුතු ලෙස පාවිච්චි කරනවාට අපි කැමති නැහැ. එසේනම් අපි අකමැති ඒ දේ අපි අන් අයට කරන එක සුදුසුද? නැහැ. ඒ නිසා අපිට අයිති නැති බුද්ධිමය දේපළ * ලබාගැනීමෙන් “නොපෙනෙන” සොරකමකට සම්බන්ධ නොවී සිටීමට අපි වගබලා ගමු.—නික්මයාම 22:7-9.

[පාදසටහන]

^ 40 ඡේ. බුද්ධිමය දේපළ අතරට ප්‍රකාශන හිමිකාරිත්වය සහිත ගීත, පොත්, පරිගණක මෘදුකාංග මෙන්ම වෙළඳ ලකුණු, වෙළඳ රහස්, ප්‍රකාශන අයිතිය වැනි දේවල්ද ඇතුළත් වෙනවා.