Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

බයිබලයේ සඳහන් “නුවර දොරටු” අසල සිදු වුණේ මොනවාද?

අතීතයේදී බොහෝ නගර විශාල පවුරුවලින් වට වී තිබුණා. එම පවුරුවල නගරයට ඇතුල් වීම සඳහා දොරටු කිහිපයක්ම සාදා තිබුණා. බොහෝවිට එකිනෙකා සමඟ කතාබහ කිරීමටත් වෙළෙඳ කටයුතු සහ නිවේදන දැනුම් දීම සඳහාත් මිනිසුන් රැස් වුණේ එම නුවර දොරටු අසලයි. එමෙන්ම අනාගතවක්තෘවරුන්ද අනාවැකි කීම සඳහා එවැනි දොරටු අසලට පැමිණියා. (යෙරෙමියා 17:19, 20) අතීතයේ සිටි මිනිසුන් “සෑම පොදු කටයුත්තක් සඳහාම නුවර දොරටු අසලට පැමිණියා” කියා එක් පොතකද සඳහන් වුණා.—The Land and the Book.

පුරාණයේ සිටි ආබ්‍රහම් සොහොන් බිමක් සඳහා ඉඩමක් මිල දී ගැනීමට නුවර දොරටු අසලට ගිය සිද්ධියක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී ඔහු “නුවර දොරටුව ළඟ සිටි සියලුදෙනාටත් පෙනෙන සේ” එය එෆ්‍රොන්ගෙන් මිල දී ගත්තා. (උත්පත්ති 23:7-18) තවත් අවස්ථාවකදී ඉඩමක් සම්බන්ධ කාරණයක් ගැන කතා කරගැනීමට බෝවස් නම් තැනැත්තා නුවර දොරටුව අසල වැඩිමහල්ලන් දසදෙනෙකු සමඟ රැස් වුණා කියා බයිබලයේ සඳහන් වෙනවා. (රූත් 4:1, 2) එමෙන්ම විනිශ්චය කටයුතු සඳහාත් වැඩිමහල්ලන් නුවර දොරටු අසල රැස්ව සිටියා.—ද්විතීය කතාව 21:19.

බයිබලයේ සඳහන් ආකාරයට රන්වලට ප්‍රසිද්ධ ඕෆීර් නගරය පිහිටා තිබුණේ කොහේද?

බයිබලයේ මුල්ම වරට “ඕෆීර්හි රන්” ගැන සඳහන් වන්නේ යෝබ් පොතෙයි. (යෝබ් 28:15, 16) යෝබ් ජීවත් වූ කාලයට අවුරුදු 600කට පමණ පසුව සිටි දාවිත් රජ දෙවිගේ ගෘහය ගොඩනැඟීම සඳහා ඕෆීර් නම් ප්‍රදේශයෙන් රන් ගෙනැවිත් තිබෙනවා. එමෙන්ම ඔහුගේ පුත්‍රයා වූ සලමොන් රජද ඕෆීර් දේශයෙන් රන් ගෙන්වාගත් බව බයිබලයේ සඳහන් වෙනවා.—1 ලේකම් 29:3, 4; 1 රාජාවලිය 9:28.

එෂියොන්-ගෙබෙර්හි නවතා තිබූ සලමොන් රජුට අයිති නැව් සමූහය රන් ගෙන ඒම සඳහා නිතරම ඕෆීර් දේශයට ගොස් තිබෙනවා. (1 රාජාවලිය 9:26) එෂියොන්-ගෙබෙර් නම් ප්‍රදේශය පිහිටා තිබෙන්න ඇත්තේ අකාබා බොක්කේ ඉහළ කෙළවරේ කියා ඇතැම් විශාරදයන් පවසනවා. එම ස්ථානයේ සිට නැවකට රතු මුහුදේ ඕනෑම තැනකට ගමන් කළ හැකි අතර රතු මුහුදෙන් අප්‍රිකාව හෝ ඉන්දියාව දක්වා යෑමටත් හැකියාව තිබුණා. සමහරවිට ඕෆීර් ප්‍රදේශය අප්‍රිකාවේ හෝ ඉන්දියාවේ පිහිටා තිබුණා විය හැකියි. ඕෆීර් ප්‍රදේශය පිහිටා තිබුණේ අතීතයේදී රන් ආකර තිබූ, අදටත් රන්වලට ප්‍රසිද්ධත්වයක් උසුලන අරාබියේ විය හැකියි කියා තවත් අය විශ්වාස කරනවා.

සලමොන් රජ සතුව රන් ආකර තිබුණාද කියා ඇතමුන් සැක කළත් ඕෆීර් දේශය රන්වලට ප්‍රසිද්ධත්වයක් ඉසිලූ බව සැක කිරීමට නම් කිසිම හේතුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයෙක් වන කෙනත් කීචන් මෙසේ පැවසුවා. “ක්‍රිස්තු පූර්ව අටවන සියවසට පමණ අයත් මැටි භාජනයක ‘ඕෆීර් දේශයෙන් බෙත්-හෝරොන්වලට ගෙන්වූ රන්,’ කියා සඳහන් වුණා. ඉන් පැහැදිලි වන්නේ අතීතයේදී ඕෆීර් කියා ප්‍රදේශයක් තිබූ බවයි. පැරණි ඊජිප්තු ලේඛනවල ඕෆීර් දේශයේ රන් හා සමානව ‘අමාවු දේශයේ රන්,’ ‘පන්ට් දේශයේ රන්’ සහ ‘කූෂ් දේශයේ රන්’ ගැනත් සඳහන් වෙනවා.”

[15වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් නුවර දොරටුව අසල ඉඩම මිල දී ගනිමින්

[15වන පිටුවේ පින්තූරය]

හෙබ්‍රෙව් බසින් ඕෆීර් යන නම සඳහන් මැටි භාජනයක්

[හිමිකම් විස්තර]

Collection of Israel Antiquities Authority, Photo © The Israel Museum, Jerusalem