Skip to content

පටුනට යන්න

‘දෙවිව අත් නොහරින කෙනෙකුව දෙවිත් අත් නොහරියි’

‘දෙවිව අත් නොහරින කෙනෙකුව දෙවිත් අත් නොහරියි’

දෙවිට ළං වෙන්න

‘දෙවිව අත් නොහරින කෙනෙකුව දෙවිත් අත් නොහරියි’

2 සාමුවෙල් 22:26

ඔබ බෙහෙවින් විශ්වාසය තැබූ කෙනෙක් ඔබට ද්‍රෝහි වුණොත් එය ඔබට මොන තරම් වේදනාවක් ගෙන දෙයිද? අපි අද ජීවත් වන්නේ නපුරු සමාජයක නිසා එවැනි දෙයකට මුහුණ දීමට සිදු වුණොත් එය පුදුමයක් නොවෙයි. (2 තිමෝති 3:1-5) එසේනම් අපට විශ්වාසය තැබිය හැකි කෙනෙක් නැද්ද? ඇත්තෙන්ම සිටිනවා. ඒ කවුද කියා දැනගැනීමට අතීතයේ සිටි දාවිත් රජු පැවසූ දෙයක් අපි සලකා බලමු.

දාවිත් රජුගේ ජීවිත කාලය තුළ බොහෝ අය ඔහුට ද්‍රෝහිකම් කළා. ඊශ්‍රායෙලය පාලනය කළ සාවුල් රජ ඉන් එක් කෙනෙක්. ඔහු දාවිත් රජුට ඊර්ෂ්‍යා කළ නිසා ඔහුට බොහෝ සෙයින් පීඩා කළා. දාවිත් රජුගේ පවුලේ අයත් ඔහුට ද්‍රෝහි වුණා. උදාහරණයකට එක අවස්ථාවකදී ඔහුගේ භාර්යාව වූ මීකල් “ඔහුව සිතින් හෙළාදකින්න පටන්ගත්තා.” (2 සාමුවෙල් 6:16) එමෙන්ම ඔහුගේ පුත්‍රයා වූ අබ්සලොම් රජකම ලබාගැනීමට තිබූ ආශාව නිසා ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කළා. ඒ කුමන්ත්‍රණයට දාවිත් රජුගේ විශ්වාසවන්ත උපදේශකයාව සිටි අහිතොෆෙල්ද හවුල් වුණා. එසේ තමන්ට ඉතා කිට්ටුවෙන් සිටි අය තමාට ද්‍රෝහි වූ නිසා විශ්වාසය තැබිය හැකි කිසි කෙනෙක් නැහැ කියා දාවිත් රජ සිතුවාද? නැහැ.

සියලුදෙනාම තමන්ට ද්‍රෝහි වුණත් යෙහෝවා දෙවි කිසිදාක තමන්ට ද්‍රෝහි වන්නේ නැහැ කියා දාවිත් රජ දැන සිටියා. ඔහු දෙවිට මෙසේ පැවසුවේ ඒ නිසයි. “ඔබව අත් නොහරින කෙනෙකුව ඔබත් කිසි කලෙක අත් නොහරින්නෙහිය.”—2 සාමුවෙල් 22:26.

දාවිත් රජ පැවසූ එම වදන් හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් වූ විට ඊට “ළැදි ප්‍රේමය” යන අදහස ඇතුළත් වෙන්න ඇති. ඇත්තෙන්ම යම් කෙනෙක් තව කෙනෙකුව ‘අත් නොහරින්නේ’ ඔහු ඒ කෙනාට ප්‍රේම කරනවා නම් පමණයි. ඒ අනුව යෙහෝවා දෙවි තම විශ්වාසවන්ත සේවකයන්ව අත් නොහරින්නේ ඔහු ඔවුන්ට ප්‍රේම කරන නිසයි. *

තම මිතුරන්ව අත් නොහරින කෙනෙක් ඔවුන්ගේ යහපත වෙනුවෙන් යම් දේවල් කිරීමටත් පෙලඹෙනවා. යෙහෝවා දෙවිත් එසේ කළා. උදාහරණයකට දාවිත් රජු ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දුන් විට දෙවි ඔහුව ආරක්ෂා කරමින් ඔහුට නිසි මඟ පෙන්වීම් ලබා දුන්නා. සතුරන් අතින් තමන්ව ගලවාගැනීම ගැන දාවිත් රජ යෙහෝවා දෙවිට ස්තුති කළේ ඒ නිසයි.—2 සාමුවෙල් 22:1.

යෙහෝවා දෙවි කිසිදාක වෙනස් නොවන දෙවි කෙනෙක් නිසා ඔහු නිරතුරුවම තම විශ්වාසවන්ත සේවකයන් සමඟ සිටින අතර ඔවුන් වෙනුවෙන් දී තිබෙන පොරොන්දුද ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. (යාකොබ් 1:17) දාවිත් රජ තවත් අවස්ථාවකදීත් දෙවි ගැන මෙසේ පැවසුවේ ඒ නිසයි. “තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.”—ගීතාවලිය 37:28.

අපි යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටිමින් ඔහුට කීකරු වෙනවා නම් දෙවි එය බොහෝ සෙයින් අගය කරනවා. එමෙන්ම ඔහු අප සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔහුව ආදර්ශයට ගනිමින් අන් අය සමඟ විශ්වාසවන්තව කටයුතු කරන්න කියායි. (එෆීස 4:24; 5:1) අපි එසේ කටයුතු කළොත් ඔහු අපව කිසිදාක අත්හරින්නේ නැහැ. මිනිසුන් අපට ද්‍රෝහි වුණත් යෙහෝවා දෙවි අප සමඟ සිටිමින් ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දෙන්න අපට උපකාර කරනවා. ඒ නිසා “විශ්වාසවන්තකමින් පිරිපුන්” යෙහෝවා දෙවිට ළං වීම කොතරම් වටිනවාද!—එළිදරව් 16:5.

[පාදසටහන]

^ 7 ඡේ. දෙවන සාමුවෙල් 22:26හි සඳහන් අදහසට සමාන අදහසක් ගීතාවලිය 18:25හිත් දැකිය හැකියි. එක් බයිබල් පරිවර්තනයක එය සඳහන් වන්නේ මෙසේයි. “ඔබව අත් නොහරින අයට ඔබ බොහෝ සෙයින් ප්‍රේම කරනවා.”—The Psalms for Today.