Skip to content

පටුනට යන්න

පාපය ගැන මිනිසුන් තුළ ඇති ආකල්ප වෙනස් වී ඇත්තේ ඇයි?

පාපය ගැන මිනිසුන් තුළ ඇති ආකල්ප වෙනස් වී ඇත්තේ ඇයි?

පාපය ගැන මිනිසුන් තුළ ඇති ආකල්ප වෙනස් වී ඇත්තේ ඇයි?

“මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව නිසා මුළු මිනිස් වර්ගයාටම පාපය උරුම වූ බව පිළිගැනීමටවත් පාපය කියන විෂය ගැන කතා කිරීමටවත් අද සිටින මිනිසුන් කැමති නැහැ. ඇඩොල්ෆ් හිට්ලර් සහ යෝසෙප් ස්ටාලින් වගේ අය බරපතළ වැරදි කළත් අපි ඒ වගේ වැරදි කරලා නැහැ.”—The Wall Street Journal.

පාපය ගැන මිනිසුන් දරන ආකල්පය කොතරම් වෙනස් වී තිබෙනවාද කියා ඉහත උපුටා දැක්වීමෙන් පැහැදිලි වෙනවා. එවැනි දෙයක් සිදු වී තිබෙන්නේ ඇයි?

මිනිසුන් උපතින්ම පාපය උරුම කරගෙන සිටිනවා. ඊට අමතරව මිනිසුන් පව්කාර ක්‍රියාවන්ද කරනවා. කොහොමවුණත් එම කාරණා දෙක සම්බන්ධයෙන් අද මිනිසුන් දරන ආකල්ප සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. එයට හේතුව අපි සලකා බලමු.

උරුම වී තිබෙන පාපය

මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව කළ පාපය නිසා ඔවුන්ගෙන් පැවතෙන සියලුදෙනාටම පව්කාර ස්වභාවය උරුම වූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි සියලුදෙනාම උපතින්ම පව්කාරයන්. “සෑම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම පාපය ලෙස සැලකිය යුතුයි” කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—1 යොහන් 5:17.

මුල් මිනිස් යුවළ කළ වරදක් නිසා සියලුම මිනිසුන්ට පාපය උරුම වී තිබෙනවා කියා ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝදෙනා පිළිගන්නේ නැහැ. ඔවුන් සිතන්නේ තමන් නොකළ වරදක් නිසා තමන්ට පාපය උරුම වීම සාධාරණ නැහැ කියායි. ආගම් පිළිබඳව හදාරන මහාචාර්ය එඩ්වර්ඩ් ඕක්ස් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “මුල් මිනිස් යුවළගෙන් පාපය උරුම වුණා කියා පල්ලිවල ඉගැන්වූවත් බොහෝ අය එය පිළිගන්න කැමති නැහැ. තවත් අය තමන්ට පාපය උරුම වී තිබෙනවා කියා හෝ තමන් පව්කාර ක්‍රියාවලින් වැළකී සිටිය යුතුයි කියා පැවසුවත් ඔවුන් කටයුතු කරන ආකාරයෙන් ඒ බව පෙනෙන්නේ නැහැ. එවැනි අය පාපය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකළත් දෙවි සමඟ තිබෙන බැඳීමට පාපය බලපාන ආකාරය ගැන ඔවුන්ට නිසි අවබෝධයක් නැහැ.”

ආදම් සහ ඒවගෙන් මිනිසුන්ට පාපය උරුම වී තිබෙනවා කියා බොහෝ අය පිළි නොගන්නේ පල්ලිවලින් උගන්වා තිබෙන වැරදි ඉගැන්වීම් නිසයි. ළදරු බව්තීස්මය එවැනි ඉගැන්වීමක්. පල්ලිවල උගන්වන්නේ බව්තීස්ම නොකළ ළදරුවෙකුගේ පව්වලට සමාව නොලැබෙන නිසා ඒ ළදරුවා මිය ගියොත් ඔහුට කිසිදාක ස්වර්ගයට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියායි. එමෙන්ම ට්‍රෙන්ට්වල පැවැත්වූ සම්මන්ත්‍රණයකදී (1545-1563) පව් සමාව ලබාගැනීම සඳහා ළදරුවන්ව බව්තීස්ම කළ යුතුයි යන අදහසට එකඟ නොවූ අයව කතෝලික සභාව හෙළා දැක්කා. ඊට අමතරව එක් රෙපරමාදු ආගමික නායකයෙක් වූ කැල්වින් පවා පැවසුවේ ‘දරුවන් උපතින්ම පව්කාරයන් වන නිසා දෙවි ඔවුන්ව පිළිකුල් කරනවා’ කියායි.

පල්ලිවලින් උගන්වා තිබෙන ආකාරයට උරුම වී තිබෙන පව්කාර ස්වභාවය නිසා අහිංසක දරුවන්ට සදහටම දුක් විඳීමට සිදු වෙනවා නම් එය මොන තරම් අමානුෂික දෙයක්ද! එවැනි ඉගැන්වීම් නිසා ආදම් සහ ඒවගෙන් මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය උරුම වූ බව ප්‍රතික්ෂේප කිරීමට මිනිසුන් පෙලඹී තිබෙනවා. බව්තීස්ම නොවූ ළදරුවෙක් අපායේ දුක් විඳිනවා කියා පිළිගන්න සමහර පූජකයන් පවා කැමති වුණේ නැහැ. ඔවුන් සිතුවේ ඒ දරුවාට සිදු වන්නේ කුමක්ද යන්න අභිරහසක් බවයි. ඒ නිසා බව්තීස්ම නොවී මිය ගිය අහිංසක දරුවන් ලිම්බෝ * නමැති ස්ථානයට යනවා කියා කතෝලික සභාව සියවස් ගණනාවක් තිස්සේ ඉගැන්වූවා. නමුත් එය කතෝලික සභාවේ පිළිගත් ඉගැන්වීමක් වූයේ නැහැ.

දර්ශනවාදීන්, විද්‍යාඥයන් සහ උගත්යැයි සැලකෙන අය ඉදිරිපත් කර තිබෙන මත නිසාත් මුල් මිනිස් යුවළගෙන් මිනිසාට පාපය උරුම වී තිබෙන බවට මිනිසුන් තුළ සැක මතු වී තිබෙනවා. එවැනි උගත්යයි සැලකෙන අය පවසන්නේ බයිබලයේ සඳහන් තොරතුරු ඓතිහාසික වශයෙන් නිවැරදි නැහැ කියායි. ඒ හේතුව නිසා ආදම් සහ ඒවගෙන් මිනිස් වර්ගයා බිහි වූ බවට බයිබලයේ සඳහන් දේ බොරුවක් කියා ඔවුන් සිතනවා. ඔවුන් විශ්වාස කරන්නේ මිනිසා පරිණාමයෙන් බිහි වුණා කියායි. බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් කියා ඔවුන් පිළිගන්නේ නැහැ.

ආදම් සහ ඒව ගැන විශ්වාස නොකරන මිනිසුන් ඔවුන් දෙදෙනාගෙන් මුළු මිනිස් වර්ගයාටම පාපය උරුම වුණා කියා විශ්වාස කරයිද? මුළු මිනිස් සංහතියම අද පිරිහුණු තත්වයකට පත් වී තිබෙනවා කියා සමහරු තේරුම්ගෙන සිටියත් එයට හේතුව ආදම් සහ ඒව කළ පාපය කියා ඔවුන් පිළිගන්නේ නැහැ.

ආදම් සහ ඒව නිසා මිනිස් වර්ගයාටම පාපය උරුම වී තිබෙන බවට මිනිසුන් තුළ තිබෙන ආකල්ප වෙනස් වී ඇති බව අපි මෙතෙක් සලකා බැලූ තොරතුරුවලින් පැහැදිලි වෙනවා. කොහොමවුණත් පව්කාර ක්‍රියාවන් සම්බන්ධයෙන් මිනිසුන් දරන ආකල්ප වෙනස් වීමට හේතුවී තිබෙන්නේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

පව්කාර ක්‍රියා

පව්කාර ක්‍රියාවන් මොනවාද කියා මිනිසුන්ගෙන් ඇසූ විට ඔවුන් පවසන්නේ කුමක්ද? බොහෝ අය පවසන්නේ මිනී මැරීම, වේශ්‍යාකම, ගිජුකම, අනාචාරය සහ සොරකම වැනි දසපනතට අයත් නීති කැඩීම පව්කාර ක්‍රියාවන් ලෙස හැඳින්විය හැකියි කියායි. එවැනි වැරදි කරන අය පසුතැවිලි වුණේ නැත්නම් මිය ගිය පසු ඔවුන්ට අපායේ දුක් විඳින්න සිදු වෙනවා කියා පල්ලිවල උගන්වනවා. *

අපායේ වධ වේදනාවලින් බේරීමට නම් පුද්ගලයෙක් පූජකයෙකු වෙත ගොස් පාපොච්චාරණය කළ යුතු බව කතෝලික සභාවෙන් උගන්වා තිබෙනවා. නමුත් අද සිටින බොහෝ කතෝලිකයන්ට ඒ ගැන එතරම් විශ්වාසයක් නැහැ. උදාහරණයකට ඉතාලියේ සිටින කතෝලිකයන්ගෙන් සියයට 60කටත් වඩා වැඩි ප්‍රමාණයක් පාපොච්චාරණය කරන්නේ නැති බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

එයින් පැහැදිලි වෙන්නේ පව්වලට සමාව ලබාගැනීමට නම් පාපොච්චාරණය කළ යුතු බවට කතෝලික සභාවෙන් උගන්වා තිබෙන දෙයින් පලක් වී නැති බවයි. ඇත්තෙන්ම තම පව්කාර ක්‍රියා අත්හැරීම සඳහා මිනිසුන්ට උපකාර කිරීමට කතෝලික සභාවට හැකි වී නැහැ. ඒ නිසා ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝ අය බරපතළ වැරදි සාමාන්‍ය දේවල් ලෙස දකින්න හුරු වී තිබෙනවා. උදාහරණයකට දෙදෙනෙක් අනාචාරයේ යෙදීමෙන් තවත් පුද්ගලයෙකුට හානියක් සිදු වන්නේ නැත්නම් එහි ඇති වරද කුමක්ද කියා ඔවුන් සිතනවා.

මිනිසුන් එලෙස සිතන්නේ පාපය සම්බන්ධයෙන් ඔවුන්ට උගන්වා ඇති දේවල් පැහැදිලි වී නැති නිසයි. ප්‍රේමණීය දෙවි කෙනෙක් මිනිසුන්ට අපායේ දුක් විඳින්න සලස්වන්නේ කෙසේද කියා ඇතැමුන්ට තේරුම්ගන්න බැහැ. පාපය ගැන මිනිසුන් තුළ තිබෙන ආකල්ප වෙනස් වීමට එවැනි ඉගැන්වීම්ද යම් ආකාරයකින් බලපා තිබෙනවා. නමුත් පව්කාර ක්‍රියාවල බරපතළකම අඩු වීමට තවත් හේතු බලපා තිබෙනවා. ඒ මොනවාද?

සමාජයේ පිළිගත් ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීම

පසුගිය සියවස් කිහිපය තුළ සිදු වී තිබෙන දේවල් නිසා මිනිසුන් සිතන ආකාරය වෙනස් වී තිබෙනවා. උදාහරණයකට පළමු සහ දෙවන ලෝක මහා යුද්ධ, වෙනත් යුද්ධ සහ සමූල ඝාතන වැනි දේවල් නිසා සමාජයේ පිළිගත් ප්‍රමිතිවල කිසි වටිනාකමක් නැහැ කියා බොහෝ අය සිතන්න පෙලඹී තිබෙනවා. ඒ නිසා මිනිසුන් පවසන්නේ තාක්ෂණය අතින් දියුණු යුගයක සිටින අපි සියවස් ගණනාවකට කලින් ඇති වූ යල් පැන ගිය සම්මත ප්‍රමිති අනුව ජීවත් විය යුතු නැහැ කියායි. එමෙන්ම උගත්යැයි සැලකෙන මහචාර්යවරුන් පවා එවැනි අදහස් අනුමත කරනවා. ඔවුන් තවදුරටත් පවසන්නේ සමාජය විසින් පිළිගත් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවා වෙනුවට හරි වැරැද්ද කුමක්ද කියා තමන් විසින්ම තීරණය කළ යුතු බවයි.

මෙවැනි ඉගැන්වීම් නිසා දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජයක් අද බිහි වී තිබෙනවා. උදාහරණයකට යුරෝපියානු රටවල්වල සිටින ක්‍රිස්තියානියයි කියාගන්නා අය අතරින් පල්ලිවලට යන්නේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. බොහෝ අය පල්ලිවලින් උගන්වන දේවල් විශ්වාස කරන්නේ නැති අතර තවත් අය ඒවා හෙළා දකිනවා. මිනිසුන් පැවතෙන්නේ පරිණාමයෙන් නම් සමාජයේ සම්මත ප්‍රමිති ගැන එතරම් සැලකිලිමත් විය යුත්තේ ඇයි කියා ඔවුන් ප්‍රශ්න කරනවා.

සමාජයේ පිළිගත් ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීම නිසා 20වන සියවසේදී බටහිර ලෝකයේ රටවල සිටින මිනිසුන් ලිංගික කාරණා ගැන ඉතා ලිහිල් ආකල්පයක් දරන්න පටන්ගෙන තිබෙනවා. එමෙන්ම ශිෂ්‍යය උද්ඝෝෂණ, සමාජයේ සම්මත නීතිවලට විරුද්ධ සංවිධාන ඇති වීම සහ උපත් පාලන ක්‍රම තිබෙන නිසා අනාචාරයේ යෙදීම වැනි දේවලට හේතුව සමාජයේ පිළිගත් ප්‍රමිති ප්‍රතික්ෂේප කිරීමයි. බොහෝ අය බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් පිළිගන්නේ නැහැ. පාපය ගැන ඉතා ලිහිල් ආකල්පයක් දරන පරපුරක් අද බිහි වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අද සිටින සමහරු ‘තම ලිංගික ආශාවන් ඉටු කරගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් සිටින අතර ඒ කිසිවක් වැරදි නැහැ’ කියා පවසන බව එක් ලේඛකයෙක් සඳහන් කළා. පිළිකුල්සහගත ලිංගික ක්‍රියා ගැන බොහෝ අය දරන පටු ආකල්පයෙන් එය පැහැදිලි වෙනවා.

වැරදි ක්‍රියා අනුමත කරන ආගම්

එක්සත් ජනපදයේ පූජකයන් සිදු කරන දේ ගැන නිව්ස්වීක් සඟරාවේ මෙසේ සඳහන් වුණා. “පූජකයන් මිනිසුන්ට දේශනා කරන්නේ මිනිසුන් ඇසීමට කැමති දේවල් විතරයි. ඔවුන් එසේ කරන්නේ මිනිසුන්ව තමන්ගේ පල්ලියට දිගටම ගෙන්වාගැනීමටයි.” මිනිසුන්ට වැරදි දේවල් කරන්න එපා කියලා උපදෙස් දුන්නොත් මිනිසුන් වෙනත් පල්ලියකට යයිද කියා පූජකයන් සිතනවා. උදාහරණයකට නිහතමානිකම වර්ධනය කරගැනීම, තමන්වම පාලනය කරගැනීම, වැරදි දේවල් ප්‍රතික්ෂේප කිරීම හෝ පසුතැවීම ගැන පූජකයන් උපදෙස් දෙනවාට මිනිසුන් කැමති නැහැ. බොහෝ ආගම් “ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන මිනිසුන්ට කියා දෙනවා වෙනුවට මිනිසුන් අහන්න කැමති දේවල් පමණක් දේශනා කිරීමට පෙලඹී තිබෙනවා” කියා එක් පුවත්පතක සඳහන් වුණා.—Chicago Sun-Times.

එවැනි ආකල්පයක් ඇතුව කටයුතු කිරීමෙන් ඔවුන් දෙවිව අමතක කර තිබෙනවා. ඒ නිසා ඔවුන් දෙවි ගැන සහ දෙවි අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැන උගන්වනවා වෙනුවට මිනිසුන් අහන්න කැමති දේවල් පමණක් උගන්වන්න පටන්ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති ආගම් බිහි වීමයි. එක් පුවත්පතක සඳහන් වූ මේ අදහස සලකා බලන්න. “මෙතෙක් කල් ක්‍රිස්තියානියයි කියාගත් ආගම්වල තිබුණු හරි වැරැද්ද සම්බන්ධ ප්‍රමිති දැන් ඉවත් වෙලා. ඒ වෙනුවට තියෙන්නේ කවුරු මොනම දේ කළත් එය හෙළාදකින්නේ නැතුව විවෘත මනසකින් ඒ දෙස බැලිය යුතුයි කියන ප්‍රතිපත්තියයි.”—The Wall Street Journal.

ප්‍රතිඵලයක් ලෙස තමන් කරන ඕනෑම දෙයක් අනුමත කරන සියලුම ආගම් හොඳයි කියන ආකල්පය මිනිසුන් තුළ ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම පුවත්පතේ තවදුරටත් මෙසේද සඳහන් වුණා. එවැනි ආකල්පයක් දරන අය “වැරදි ක්‍රියා ගැන උපදෙස් නොදී ඒවා අනුමත කරන ඕනෑම ආගමක් අදහන්න සූදානම්.” එමෙන්ම මිනිසුන් කොතරම් පව්කාර ක්‍රියා කළත් ඔවුන්ව නිවැරදි කරනවා වෙනුවට “ඒ තත්වයෙන්ම ඔවුන්ව පිළිගැනීමට” පූජකයන්ද සූදානමින් සිටිනවා.—The Wall Street Journal.

මුල් ශතවර්ෂයේ සිටි යේසුස්ගේ අනුගාමිකයෙකු වූ පාවුල් වාර්තා කළ මේ අනාවැකිය අදට හොඳින්ම ගැළපෙන බව ඒ සෑම දෙයකින්ම තහවුරු වෙනවා. “මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි. ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය. ඔවුහු සත්‍ය ඉගැන්වීම්වලට කන් නොදී, එයින් ඉවත් වී බොරු කතාවලට හැරී යනු ඇත.”—2 තිමෝති 4:3, 4.

බයිබලයේ සඳහන් දේවල් උගන්වනවා වෙනුවට පාපයේ බරපතළකම අඩු කරමින් මිනිසුන්ගේ කන්වලට මිහිරි දේවල් පමණක් උගන්වන ආගමික නායකයන් මනුෂ්‍යන්ට කරන්නේ බරපතළ හානියක්. ඇත්තෙන්ම යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් ප්‍රකාශ කළ ශුභාරංචියට පව්වලට සමාව ලබාගැනීමත් ඇතුළත් වී තිබුණා. නමුත් පාපය කියා දෙයක් නැහැ කියන අසත්‍ය ඉගැන්වීම් නිසා බයිබලයේ සඳහන් එක් මූලික ඉගැන්වීමක් සම්පූර්ණයෙන්ම යටපත් වී තිබෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 9 ඡේ. මිය ගිය දරුවන් ලිම්බෝ නමැති ස්ථානයට යන බවට වූ බයිබලයට පටහැනි ඉගැන්වීම නිසා බොහෝ අය ව්‍යාකූල තත්වයකට පත් වී තිබෙනවා. ලිම්බෝ නමැති ඉගැන්වීම මේ වන විට කතෝලික සභාවේ ඉගැන්වීම්වලින් බොහෝදුරට බැහැර කර තිබෙන්නේ ඒ නිසා විය හැකියි. දහවන පිටුවේ ඇති “කතෝලික සභාව වෙනස් කරගත් ඉගැන්වීමක්” නමැති කොටුව බලන්න.

^ 14 ඡේ. අපායේ දුක් විඳීමට සිදු වෙන බවට වූ ඉගැන්වීම බයිබලයට එකඟ නැහැ. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “මිය ගිය අය කොහේද?” යන මාතෘකාවෙන් යුත් 6වන පරිච්ඡේදය බලන්න.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වැරදි ක්‍රියා අනුමත කරන ආගම් නිසා මහත් හානියක් සිදු වෙනවා

[6වන පිටුවේ කොටුව]

පාපය නොතකන සමාජයක්!

▪ “ඉස්සර හුඟක් අය පව්වලට සමාව ගන්න පල්ලිවලට ගියා. ඒත් අද ඉන්න අය එහෙම කරන්නේ නැහැ. මොකද අද මගේ රටේ [ඇමරිකාවේ] හුඟක් අය කියන්නේ අපි පව්කාරයන් නොවන නිසා අපිට සමාව අවශ්‍ය නැහැ කියලයි.”—ආගම් ගැන හදාරන ලේඛකයෙක් වන ජෝන් ඒ. ස්ටූඩබේක.

▪ “අද හුඟක් අය මෙහෙම කියනවා. ‘මම වගේම අනික් අයත් උසස් ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි හැමෝටම වරදින නිසා මම උත්සාහ කරන්නේ මට පුළුවන් විදිහට හොඳ කෙනෙක් වෙන්න විතරයි.’ හොඳ අසල්වැසියෙක් විදිහට පොඩි කාරණාවලදී කාටත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. ඒත් පාපය කියන දේ ගැන නම් එච්චර හිතන්න ඕනේ නැහැ.”—බැප්ටිස්ට් සෙමනේරියක සභාපති ධූරය දරන ඇල්බර්ට් මෝලර්.

▪ “කලින් හෙළාදුටු දේවල් දැන් සාමාන්‍ය දේවල් විදිහට සමාජය දකිනවා. [මරණීය පව් හත ගැන අද මිනිසුන් දරන ආකල්පය ඊට හොඳම උදාහරණයයි.] තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න නම් උඩඟු වෙන්න ඕනේ කියලා දෙමාපියන් දරුවන්ට පවසනවා. කෑදරකම වරදක් ලෙස සලකන්න එපා කියා ප්‍රංශයේ කෝකියන් පිරිසක් වතිකානුවෙන් ඉල්ලා සිටියා. අලුත්ම පන්නයේ දේවල් මිල දී ගන්න මිනිසුන් ආශා කරන්නේ තණ්හාව නිසයි. ප්‍රචාරන කටයුතු සාර්ථක කරගන්න කාමය හුවා දක්වන දේවල් නැතුවම බැහැ. තමන්ට අසාධාරණයක් සිදු වී තිබෙනවා නම් කෝපයෙන් ක්‍රියා කිරීම වරදක් නෙවෙයි කියා මිනිසුන් පවසනවා. කිසි දෙයක් නොකර අලස විදිහට ඉන්න මිනිසුන් හුඟක් කැමතියි.”—නැන්සේ ගිබ්ස්, ටයිම් සඟරාව.

[5වන පිටුවේ පින්තූරය]

ආදම් සහ ඒව ගැන බයිබලයේ සඳහන් තොරතුරු වැරදියි කියා බොහෝ අය සිතනවා