පාපය ගැන මිනිසුන් දරන ආකල්ප
පාපය ගැන මිනිසුන් දරන ආකල්ප
යම් කාලයකට ඉහතදී “මරණීය පාප හතක්” ගැන පූජකයන් තම බැතිමතුන්ට අනතුරු ඇඟෙව්වා. ඒවා නම් කාම ආශාව, කෑදරකම, තණ්හාව, අලසකම, කෝපය, ඊර්ෂ්‍යාව සහ උඩඟුකමයි. එවැනි ක්‍රියාවල නියැලෙන අයට ඒ ගැන පසුතැවෙන්න කියාත් පූජකයන් උනන්දු කළා. නමුත් එක් ලේඛකයෙක් පැවසුවේ “දැන් බොහෝ ආගම් පව්කාර ක්‍රියා ගැන අනතුරු අඟවනවා වෙනුවට මිනිසුන් අසන්න කැමති දේවල් පමණක් දේශනා කරනවා” කියායි.
ඒ කාරණය පුවත්පත් ලේඛකයන්ගේ අවධානයටද ලක් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් පල කර තිබෙන අදහස් කිහිපයක් සලකා බලන්න.
▪ “පව්වලට පසුතැවෙන්න කියලා කිව්වේ ඉස්සර. දැන් බොහෝ පූජකයන් උගන්වන්නේ තමන්ගේ දියුණුව ගැන හිතලා වැඩ කරන්න කියලයි.”—ස්ටාර් බීකන් පුවත්පත, ඇෂ්ටබූලා, ඔහියෝ.
▪ “තමන් කරන පව්කාර ක්‍රියා ගැන මිනිසුන්ට දැන් කිසිම ගාණක් නැහැ.”—නිව්ස්වීක් සඟරාව.
▪ “‘දෙවි මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද’ කියලා අහනවා වෙනුවට දැන් අපි අහන්නේ ‘දෙවිට මං වෙනුවෙන් මොනවාද කරන්න පුළුවන්’ කියලයි.”—චිකාගෝ සන්-ටයිම්ස් පුවත්පත.
අද සමාජය තුළ විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් මිනිසුන් සිටින නිසා ඔවුන් කුමන දේ කළත් ඒ දෙස විවෘත මනසකින් බැලිය යුතුයි කියා මිනිසුන් සිතනවා. එමෙන්ම ඔවුන්ගේ ක්‍රියා විනිශ්චය කිරීම බරපතළ පාපයක් කියාත් ඔවුන් සිතනවා. එවැනි අය මෙසේ පවසනවා. ‘ඔබ කටයුතු කරන ආකාරය සුදුසුයි කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ සිතන ආකාරයට අනික් අයත් කටයුතු කළ යුතුයි කියා සිතන්න එපා. අද කාලයේ සිටින මිනිසුන් කටයුතු කරන්නේ තමන්ට හරියි කියා සිතෙන ආකාරයටයි. ඒ නිසා අනික් අය කටයුතු කරන විදිහ වැරදියි කියා තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා.’
මිනිසුන් එලෙස සිතන නිසා “පාපය” ගැන ඔවුන්ගේ ආකල්පයත් දැන් වෙනස් වී තිබෙනවා. ඒ නිසා ඔවුන් කිසිම බරපතළ පාපයක් වැරදියි කියා දකින්නේ නැති තරම්. උදාහරණයකට කාලයකට ඉහතදී ‘විවාහ නොවී එකට ජීවත් වීම,’ ‘අනාචාරයේ යෙදීම’ සහ ‘සමලිංගික සේවනය’ වැනි දේවල් සමාජය සැලකුවේ බරපතළ පාප ලෙසයි. නමුත් දැන් ඒ සියල්ල ‘සාමාන්‍ය දෙවල්’ බවට පත් වී තිබෙනවා.
බරපතළ පාප සාමාන්‍ය දේවල් ලෙස සැලකීමට මිනිසුන් පෙලඹී තිබෙන්නේ ඇයි? ‘පාපය’ ගැන ඔබ දරන ආකල්පය ඔබේ ජීවිතයට බලපානවාද?