Skip to content

පටුනට යන්න

“මෙච්චර භයානක ප්‍රදේශයක මේ අය මොනවද කරන්නේ?”

“මෙච්චර භයානක ප්‍රදේශයක මේ අය මොනවද කරන්නේ?”

දකුණු අප්‍රිකාවෙන් ලිපියක්

“මෙච්චර භයානක ප්‍රදේශයක මේ අය මොනවද කරන්නේ?”

අපි ගමන් කරමින් ඉන්න පාරේ තිබුණ දැන්වීම් පුවරුවක මෙහෙම සඳහන් වෙලා තිබුණා. “භයානකයි. මේ පළාතේ සොරකම් සහ දූෂණ සිදු වෙනවා.” අපි මේ පාර දිගේ තව ටික දුරක් යනකොට ලොකු වෙළඳ දැන්වීම් පුවරුවක් ළඟ අපේ කට්ටිය ඉන්නවා අපි දැක්කා. ඊටපස්සේ අපිත් අපේ වාහනය හරවාගෙන ඒ පැත්තට ගියා. ජොහැන්නස්බර්ග් නගරයේ ඉඳලා අපි කිලෝමීටර් 100ක දුරක් ගෙවාගෙන මේ ගම්බද පළාතට ආවේ මිනිසුන්ට බයිබලයේ තියෙන වටිනා දේවල් ගැන කියා දෙන්නයි. ඒත් මේ තරම් භයානක ප්‍රදේශයකට අපි ආවේ ඇයි කියන එක සමහර අයට ප්‍රහේලිකාවක්. ඒ නිසා සුඛෝපභෝගී වාහනවලින් යන එන සමහර අය අපි දිහා බැලුවේ පුදුමයෙන් වගෙයි. එයාලා හිතන්න ඇති “මෙච්චර භයානක ප්‍රදේශයක මේ අය මොනවද කරන්නේ” කියලා.

ජොහැන්නස්බර්ග් නගරයේ ඉඳලා ආව අපේ කණ්ඩායමට විවිධ ජාති සහ සංස්කෘතීන්වලට අයිති අය හිටියා. ඒ වගේ පිරිසක් එකට ඉන්න එක මේ වගේ රටක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැහැ.

අපි කට්ටිය මුලින්ම පාර අයිනේ ඉඳන් බයිබල් පදයක් සාකච්ඡා කළා. ඒ වගේම අපිට හමු වෙන මිනිසුන්ට බයිබලයේ තියෙන වටිනා තොරතුරු කියලා දෙන්නේ කොහොමද කියලත් අපි කතා වුණා. ඊටපස්සේ මේ කාර්යය සාර්ථක කරගන්න උදව් කරන්න කියලා දෙවිට අපි යාච්ඤා කළා. අපි දැන් ඉන්න තැන ඉඳලා ටිකක් ඈතට යනකොට දුප්පත් මිනිසුන් ජීවත් වන ගම්බද පළාතක් තියෙනවා. ඒ පළාතේ ප්ලැටිනම් ආකර තියෙන නිසා ඒ ආකරවලින් හුඟක් පස් ගොඩ දානවා. ඒ පස් කඳු නිසා ඒ මිනිසුන්ගේ ගෙවල් පේන්නේ හුඟක් පොඩියටයි. මේ අවට කොයි තරම් ඛනිජ සම්පත් තිබුණත් මිනිසුන්ගේ දුප්පත්කමට නම් ඒවායින් විසඳුමක් ලැබිලා නැහැ.

මමයි මගේ බිරිඳයි මේ පළාතේ ඉන්න අයව මුණගැහෙන්න යන්නේ ජර්මනියෙන් ඇවිත් ඉන්න යුවළක් එක්කයි. මේ පළාතේ ඉන්න තුනෙන් එකකටම රැකියාවන් නැහැ. ඒ වගේම මේ අයගේ ගෙවලුත් හරිම පොඩියි.

හැම ගෙදරකටම වගේ ගියාම අපි මිදුලේ ඉඳලා ‘ගෙදර කවුද’ කියලා ඇහුවා. හුඟක් වෙලාවට ගෙවල්වලින් එළියට ආවේ කාන්තාවන්. ඒ අය අපිව සාදරයෙන් පිළිගත්තා. ඒ වගේම අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නත් ඒ අය ලොකු උනන්දුවක් දැක්වූවා. මේ ගෙවල්වල වහල සෙවිලි කරලා තියෙන්නේ තහඩුවලින්. ඒ නිසා දවල් කාලේට ගෙවල් ඇතුළේ හරිම රස්නෙයි. හැබැයි මිදුලේ ගස් යට හෙවණ තිබුණු නිසා හුඟක් අය ගහක් යටින් පුටු තියලා අපිට ඉඳගන්න කියලා කිව්වා. ඊටපස්සේ ඒ අය අපේ පණිවිඩයට හොඳින් සවන් දුන්නා.

ගෙවල්වල හිටිය අයත් ලී පෙට්ටි අරන් ඇවිත් ඒවා ගස් යටින් තියලා අපිත් එක්කම වාඩි වුණා. ඒ වගේම සෙල්ලම් කරමින් හිටිය දරුවන්ටත් ඒක නතර කරලා ඇවිත් අපි කියන දේට ඇහුම්කන් දෙන්න කියලා ඒ අය කිව්වා. අපි බයිබලයේ තියෙන සමහර තොරතුරු ඒ අයත් එක්ක කතා කළා. එතන පාසැල් යන දරුවන් සිටිය නිසා අපේ පොත් පත්වල තිබුණ දේවල් අනික් අයට ඇහෙන්න කියවන්න කියලා අපි ඒ දරුවන්ට කිව්වා. ඇත්තටම අපිට මුණගැහුණ හැම කෙනෙක්ම වගේ අපේ පොත් පත් අරන් කියවන්න කැමති වුණා. ඒ වගේම ආයෙත් ඇවිත් ඒ අයව හමු වෙන්න කියලත් ඒ හැම කෙනෙක්ම වගේ අපිට කිව්වා.

ඊළඟ තැනට යන්න කලින් අපි දවල් කෑම කාලා බීම එකක් බිව්වා. දැන් අපි බලන්න යන්න සූදානම් වෙන්නේ ප්ලැටිනම් ආකරයක වැඩ කරන ජිමී කියන කෙනාවයි. අපි මාස කිහිපයක් තිස්සේ ජිමීව හමු වෙන්න ගිහින් තියෙනවා. ඒ නිසා අපි එයාව හොඳින්ම දන්නවා. එයා මලාවි රටේ ඉඳන් මෙහාට ආව කෙනෙක්. බයිබලයේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්න එයා හරි කැමතියි. ජිමීගේ බිරිඳ සෙට්ස්වාන ජාතික කාන්තාවක්. ඒ වගේම ඒගොල්ලන්ට ලස්සන දරුවෝ දෙන්නෙකුත් හිටියා. අපි අන්තිම වතාවට මෙහේට ආව වෙලාවේ අපිට ජිමීව මුණගැහුණේ නැහැ. ඒ නිසා මේ වතාවේදී නම් අපි කොහොමහරි එයාව බලලම යනවා කියලා හිතාගත්තා.

ජිමීගේ ගෙදරට ළං වෙනකොට අපිට හරි අමුත්තක් දැනුණා. වෙනදාට පිළිවෙළට අතුගාලා තියෙන මිදුල දැන් නම් කාලෙකින් අතුගාලා නැහැ වගේ. ජිමීගේ බඩඉරිඟු පැළ ටිකත් මැලවිලා ගිහින්. වෙනදාට මිදුලේ ඉන්න කුකුල් පැටව් ටික අද පේන්නවත් නැහැ. ගෙදර දොරටත් ලොකු ඉබ්බෙක් දාලා. ඒ වෙලාවේ අසල්වැසි කාන්තාවක් අපි ළඟට ආවා. අපි එයාගෙන් ඇහුවා ජිමී කෝ කියලා. එතකොට එයා කිව්වා ‘ජිමී මැරුණා, ඒ නිසා එයාගේ බිරිඳ ළමයි දෙන්නත් එක්ක ගමට ගියා’ කියලා. අපිට ඒක අදහාගන්න බැරි වුණා.

ජිමී නැති වුණේ කොහොමද කියලා අපි ඒ කාන්තාවගෙන් ඇහුවා. එතකොට එයා මෙහෙම කිව්වා. “මේ දවස්වල එක එක විදිහේ ලෙඩ තියෙන නිසා මිනිසුන් අසනීප වෙලා මැරෙනවා. ජිමීත් ටික දවසක ඉඳන් අසනීපෙන් ඉඳලා මැරුණා.” ජිමීගේ අසනීපේ මොකක්ද කියලා ඒ කාන්තාව අපිට කිව්වේ නැහැ. කොහොමවුණත් ඒ කාන්තාව කිව්ව විදිහට හුඟදෙනෙක් ලෙඩ වෙලා මැරෙන බව නම් පැහැදිලියි. මොකද සොහොන් පිටියේ අලුත් සොහොන් හුඟක් තියෙනවා කියලා පේනවා. අපි ඒ කාන්තාව එක්ක නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කතා කළා. ඊටපස්සේ අපි හරිම දුකින් එතනින් පිටත් වුණා.

අපි දැන් යන්නේ ඩේවිඩ්ව * හමු වෙන්නයි. ඩේවිඩ්ගේ ගෙදරට යන පාරේ තිබුණ ගලක මෙහෙම දෙයක් ලියලා තිබුණා. “තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඉන්න කෙනා කාලය නාස්ති කරනවා.” ඒක ලියලා තියෙන්නේ ඩේවිඩ්මයි. අපි ඩේවිඩ්ගේ ගෙදරට යනකොට ඩේවිඩ් එයාගේ පරණ වොක්ස්වැගන් කාර් එක හද හද හිටියා. ඒත් එයා අපිව දැක්කම අත් දෙකත් පිහදගෙන සිනාමුසු මුහුණෙන් අපි ළඟට එන ගමන් මෙහෙම ඇහුවා. “කොහොමද? මෙච්චර කල් කොහේද ගිහින් හිටියේ!”

ඇත්තටම ඩේවිඩ්ව මුණගැහෙන්න ලැබුණ එක ගැන අපි හුඟක් සතුටු වෙනවා. කොහොමවුණත් අද නම් ඩේවිඩ් එක්ක වැඩි වෙලාවක් කතා කරන්න අපිට අවස්ථාව නැහැ. මොකද ඩේවිඩ්ට අලුත් රැකියාවක් ලැබිලා තිබුණ නිසා තව ටික වෙලාවකින් වැඩට යන්න තියෙනවා කියලා එයා කිව්වා. කොහොමවුණත් අපි ඩේවිඩ් එක්ක සාකච්ඡා කරන හැම වතාවකම එයා සිනාමුසු මුහුණෙන් ඒ දේවලට සවන් දුන්නා. ඩේවිඩ් අපිට මෙහෙම කිව්වා. “ඕගොල්ලන් මාව බලන්න ආව මුල්ම දවසේම මගේ ජීවිතය වෙනස් වුණා. එදා ඕගොල්ලන් ආවේ නැත්නම් මේ වෙනකොට මට මොනවා වෙලා තියෙයිද කියලා මම දන්නේ නැහැ.”

ඩේවිඩ් එක්ක කතා කළාට පස්සේ අපි ගෙවල්වලට යන්න සූදානම් වුණා. දැන් හොඳටම හවස් වෙලා. ගෙදර යන ගමන් අපි මේ ප්‍රදේශයේ ඉන්න අය ගැන ටිකක් හිතුවා. මේ ගම්බද පළාත්වල ඉන්න හැම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් කොහොමද කියලා අපි කල්පනා කළා. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි” කියලා යේසුස් පවසා තිබුණු වදන් කොච්චර ඇත්තද කියලා අපිට ඒ වෙලාවේ හැඟුණා.—ලූක් 10:2.

[පාදසටහන]

^ 12 ඡේ. නම් වෙනස් කර ඇත.

[17වන පිටුවේ පින්තූරය]

Kind permission given by the South African Post Office