Skip to content

පටුනට යන්න

සුවය ගෙන දෙන ගිලියද් දේශයේ බෝල්සම් තෛලය

සුවය ගෙන දෙන ගිලියද් දේශයේ බෝල්සම් තෛලය

සුවය ගෙන දෙන ගිලියද් දේශයේ බෝල්සම් තෛලය

යෝසෙප් නම් තරුණයාව ඔහුගේම සහෝදරයන් විසින් ගිලියද් දේශයේ සිට පැමිණි වෙළෙඳුන් පිරිසකට විකුණනු ලැබූ බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ වෙළෙඳුන් ඉෂ්මායෙල්වරුන් වූ අතර ඔවුන් වෙළඳාම් කිරීම සඳහා ඊජිප්තුවට යමින් සිටියා. ඔවුන් රැගෙන ගිය දේවල් අතර ගිලියද් දේශයෙන් ගෙනා බෝල්සම් තෛලයද තිබුණා. (උත්පත්ති 37:25) ඉන් පෙනී යන්නේ ගිලියද් දේශයේ බෝල්සම් තෛලයට අතීතයේදී හොඳ ඉල්ලුමක් තිබුණු බවයි. ඊට හේතුව වුණේ එහි තිබූ ඖෂධීය ගුණය නිසා තුවාල සුව කිරීමට එය යොදාගත හැකි වූ නිසයි.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිටි අනාගතවක්තෘ යෙරෙමියාද “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය” ගැන සඳහන් කළා. (යෙරෙමියා 8:22) ඔහු ඒ ගැන සඳහන් කළේ ඇයි කියා දැනගැනීමට කලින් බෝල්සම් තෛලය කියන්නේ කුමක්ද කියා අපි සලකා බලමු. ඇත්තෙන්ම මිනිසුන්ට සුවය ගෙන දෙන බෝල්සම් තෛලය හා සමාන දෙයක් අද දිනත් තිබෙනවාද?

අතීතයේදී භාවිත වූ බෝල්සම් තෛලය

සුවඳ මිශ්‍ර වූ තෙල් ගතියකින් සමන්විත මැලියම් ලබාගත හැකි ශාක සහ පැළෑටි හැඳින්වීමට බෝල්සම් යන වචනය භාවිත කළා. අතීතයේදී මැද පෙරදිග රටවල බෝල්සම් තෙල් යොදාගෙන සෑදූ සුවඳ විලවුන් සහ සුවඳ ද්‍රව්‍ය ඉතා මිල අධික වුණා. එමෙන්ම ඊශ්‍රායෙල්වරුන් තම නමස්කාර කටයුතු සඳහා භාවිත කළ ශුද්ධ තෛලය සහ සුවඳ ද්‍රව්‍ය සාදාගැනීම සඳහාත් බෝල්සම් තෙල් එකතු කරනු ලැබුවා. (නික්මයාම 25:6; 35:8) එමෙන්ම ෂෙබා දේශයේ රැජින සලමොන් රජුට ගෙනා තෑගිබෝග අතරත් බෝල්සම් තෙල් තිබුණා. (1 රාජාවලිය 10:2, 10) එපමණක්ද නොව පර්සියානු රජු වූ අහෂ්වේරොෂ්ගේ බිසව වීමට පෙර එස්තර් ‘හය මාසයක්’ පුරා සම්බාහනය සඳහා “බෝල්සම් තෛලය” භාවිත කර තිබෙනවා.—එස්තර් 1:1; 2:12.

අතීතයේදී මැද පෙරදිග රටවල් කිහිපයකම බෝල්සම් තෙල් නිපදවනු ලැබුවත් ගිලියද් දේශයේ බෝල්සම් තෙල් නිපදවනු ලැබුවේ පලස්තීනයේ පමණයි. ගිලියද් දේශය පිහිටා තිබුණේ යොර්දාන් ගඟේ නැඟෙනහිර දෙසිනුයි. ඊශ්‍රායෙල් දේශයේ සිටි යාකොබ් බෝල්සම් තෛලය හැඳින්වූයේ “දේශයේ තියෙන හොඳම දේවල්” අතරින් එකක් හැටියටයි. (උත්පත්ති 43:11) එමෙන්ම යුදෙව්වන් සහ ඊශ්‍රායෙල්වරුන් තීර් දේශයට අපනයනය කළ භාණ්ඩ අතර බෝල්සම් තෙල් තිබුණු බව අනාගතවක්තෘ එසකියෙල් සඳහන් කර තිබෙනවා. (එසකියෙල් 27:17) බෝල්සම් තෙල් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ එහි තිබූ ඖෂධීය ගුණය නිසයි. එය තුවාල සුව කරගැනීම සඳහාත් වෙනත් ප්‍රතිකාර සඳහාත් බෙහෙවින් දායක වී තිබෙන බව පැරණි ලියවිලිවලද සඳහන් වෙනවා.

රෝගාතුර වූ ජාතියක්

කලින් පැවසූ ලෙස අනාගතවක්තෘ යෙරෙමියා ගිලියද් දේශයේ බෝල්සම් තෛලය ගැන සඳහන් කළා. ඔහු ශෝකයෙන් යුතුව ඇසුවේ “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය නැද්ද” කියායි. ඔහු එවැනි ප්‍රශ්නයක් ඇසුවේ ඇයි? එය තේරුම්ගැනීම සඳහා ඒ කාලයේ ඊශ්‍රායෙල්වරුන් සිටි තත්වය ගැන අපි මදකට සලකා බලමු. ඔවුන් දෙවිගේ අනුමැතිය අහිමි කරගෙන තිබුණු නිසා සංකේතාත්මක අර්ථයකින් ඔවුන් සිටියේ රෝගාතුර තත්වයකයි. අනාගතවක්තෘ යෙසායා ඔවුන්ට මෙසේ පැවසුවේ ඒ නිසයි. ‘ඔබේ හිස මුදුනේ සිට පතුල දක්වාම කැපුම්ද තැළුම්ද දරුණු තුවාලද පෙනෙන්න තිබේ. ඔබේ තුවාලවලින් සැරව ගලන්නේය. ඒවා පිරිසිදු කර බැඳ නැත.’ (යෙසායා 1:6) එවැනි තත්වයක සිටි ඊශ්‍රායෙල්වරුන් තම වැරදි අත්හැර දෙවිගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කරනවා වෙනුවට දිගටම වැරදි ක්‍රියාවල නියැලුණා. යෙරෙමියා ශෝකයෙන් යුතුව මෙසේ ඇසුවේ ඒ නිසයි. “ඔවුහු යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහැරියෝය. එබැවින් ඔවුන් තුළ කිසි ප්‍රඥාවක් තිබිය හැකිද?” ඔවුන් පසුතැවිලි වී තම පව්කාර ක්‍රියා අත්හැරියා නම් දෙවිගෙන් සමාව ලබාගෙන තම රෝගී තත්වය සුව කරගැනීමට ඔවුන්ට අවස්ථාව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය නැද්ද” කියා ඇසීමට යෙරෙමියා පෙලඹුණේ ඒ නිසයි.—යෙරෙමියා 8:9.

ආර්ථික ප්‍රශ්න, අසාධාරණය, ආත්මාර්ථකාමී මිනිසුන්ගේ දුෂ්ට ක්‍රියාවන් වැනි දේවල් නිසා අද සිටින මිනිසුන්ද නොසෑහෙන දුකක් විඳිනවා. එයට හේතුව වී තිබෙන්නේ මිනිසුන් දෙවිටවත් තම අසල්වාසීන්ටවත් ප්‍රේම නොකිරීමයි. (මතෙව් 24:12; 2 තිමෝති 3:1-5) තවත් අයට තමන්ගේ ජාතිය, කුලය හෝ මහලු වයස නිසා සමාජයෙන් තමන් කොන් වී ඇති බවක් දැනෙනවා. ඊට අමතරව ආහාර හිඟය, අසනීප, යුද්ධ සහ මරණය නිසාත් බොහෝ මිනිසුන් පීඩා විඳිනවා. ඒ නිසා සංකේතාත්මක අර්ථයකින් අද සිටින මිනිසුන්ද සුවයක් නැති රෝගීන් මෙන් දුක් විඳිනවා. යෙරෙමියා ඇසූ ලෙස එවැනි අයට සහනය ගෙන දීම සඳහා “ගිලියද් දේශයේ බෝල්සම් තෛලයක්” අද දින තිබෙනවාද?

සුවය ගෙන දෙන ශුභාරංචිය

යේසුස්ගේ කාලයේ සිටි මිනිසුන්ද ඒ ආකාරයෙන් දුක් පීඩාවලට මුහුණ දුන් නිසා යෙරෙමියාට ඇති වූ ප්‍රශ්නයම ඒ කාලයේ සිටි අවංක මිනිසුන්ටත් ඇති වුණා. කොහොමවුණත් ඔවුන්ට ඒ සඳහා යේසුස්ගෙන් පිළිතුරක් ලැබුණා. ක්‍රිස්තු වර්ෂ 30දී නාසරෙත්හි සිනගෝගයේදී යේසුස් යෙසායාගේ අකුළන ලියවිල්ලෙන් මෙම කොටස මිනිසුන්ට ඇසෙන්න කියෙව්වා. ‘යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිස මාව අභිෂේක කළේය. දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසය.’ (යෙසායා 61:1) පසුව එම ලියවිල්ලේ සඳහන් කර ඇති අභිෂේක ලත් තැනැත්තා තමන් බවත් මිනිසුන්ට සහනය ගෙන දෙන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ මූලික වගකීම තමන්ට පැවරී තිබෙනවා කියාත් ඔහු පැවසුවා.—ලූක් 4:16-21.

යේසුස් සෑම අවස්ථාවකදීම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කළා. (මතෙව් 4:17) එමෙන්ම දුක් විඳි ජනතාවට ඔහු මෙසේ පැවසුවා. “ඔබ දැන් ඇඬුවත් ඔබ සන්තෝෂවත්. මන්ද ඔබට සිනාසෙන්න කාලයක් එයි.” (ලූක් 6:21) ඒ ආකාරයෙන් මිනිසුන්ගේ සියලුම ප්‍රශ්න ගැටලුවලට දෙවිගේ රාජ්‍යයෙන් විසඳුමක් ලැබෙනවා කියා දැනුම් දීමෙන් ඔහු බිඳුණු සිත් ඇත්තන්ව සුව කළා.

අද කාලයේ සිටින මිනිසුන්ටද “රාජ්‍යයේ ශුභාරංචිය” මගින් විශාල සහනයක් ලැබී තිබෙනවා. (මතෙව් 6:10; 9:35) උදාහරණයකට රොජර් සහ ලිල්යෑන්ගේ අද්දැකීම සලකා බලන්න. අනාගතයේදී මිනිසුන්ට සදාකල් ජීවත් වීමට අවස්ථාව ලැබෙන බව ඔවුන් මුල් වරට දැනගත්තේ වර්ෂ 1961 ජනවාරි මාසයේදීයි. එය දැනගැනීමට ලැබීමෙන් ඔවුන් දෙදෙනා මහත් ප්‍රීතියක් අද්දැක්කා. ඒ ගැන ලිල්යෑන් පැවසුවේ මෙසේයි. “එදා මට දැනුණ සතුට කියා නිම කරන්න බැහැ. මම එදා කොච්චර සතුටු වුණාද කියනවා නම් ඒක දැනගත්තු වෙලේ මම කුස්සියට ගිහින් නැටුවා.” ඒ වන විට අවුරුදු දහයක් පුරා අංශභාග රෝගයෙන් දුක් විඳිමින් සිටි රොජර් පැවසූ දෙයද සලකා බලන්න. “අනාගතයේදී කිසිම ලෙඩක් දුකක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබෙන බවත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනත් දැනගත්තම මට හුඟක් සතුටු හිතුණා. ඒ වගේ ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ලබා දීම ගැන මම ඇත්තටම දෙවිට ස්තුතිවන්ත වෙනවා.”—එළිදරව් 21:4.

කනගාටුදායක ලෙස 1970දී 11වන වියේ පසු වූ ඔවුන්ගේ පුත්‍රයා මිය ගියා. එය ඔවුන්ට මහත් දුකක් ගෙන දුන්නත් අනාගතය සම්බන්ධයෙන් තිබූ ප්‍රීතිමත් බලාපොරොත්තුව නිසා එය දරාගැනීමට ඔවුන්ට හැකි වුණා. දෙවි ‘බිඳුණු සිත් ඇත්තන්ට සහනය දෙන්නේය. ඔවුන්ගේ වේදනාකාරී තුවාල ඔහු සුව කරන්නේය’ කියා බයිබලයේ සඳහන් වදන් සත්‍යයක් බව ඔවුන් පෞද්ගලිකවම අද්දැක්කා. (ගීතාවලිය 147:3) මේ වන විට වසර 50ක් පුරාම මනසේ සාමයෙන් හා සතුටින් ජීවත් වීමට ඔවුන්ට හැකි වී තිබෙන්නේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ඔවුන්ට දැනගැනීමට ලැබුණු නිසයි.

අනාගතයේදී ලැබීමට නියමිත සුවය

සුවය ගෙන දෙන “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය” හා සමාන දෙයක් අද දිනත් තිබෙනවාද? ඔව්. ඒ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි. තුවාල සුව කිරීමට බෝල්සම් තෛලයට හැකි වුණා හා සමානව බිඳුණු සිත් ඇති මිනිසුන්ට සහනය ගෙන දීමට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට හැකි වී තිබෙනවා. ඒ සහනය ලබාගැනීමට ඔබත් කැමතිද? එසේනම් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට උත්සාහ කරන්න. එසේ කිරීමෙන් ලොව පුරා සිටින මිනිසුන් මිලියන ගණනක් ප්‍රයෝජන ලබා තිබෙනවා.

දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියෙන් සිහිගන්වන්නේ අනාගතයේදී යෙහෝවා දෙවි ‘ජාතීන්ට සුවයක් ගෙන දෙන’ කාලය ගැනයි. ඒ කාලය ඉතා ඉක්මනින් පැමිණෙන අතර එදාට “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ අනුව “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය” අදත් තිබෙනවා කියා පැවසිය හැකියි.—එළිදරව් 22:2; යෙසායා 33:24.

[23වන පිටුවේ පින්තූරය]

බිඳුණු සිත් ඇති මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මගින් විශාල සහනයක් ලබාගත හැකියි