Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි රුසියාවේ ජීවත් වූ කාන්තාවක් එම පුරුද්ද අත්හැර දරුවන්ට ආදරයෙන් සලකන මවක් ලෙස කටයුතු කිරීමට පෙලඹුණේ ඇයි? ජපානයේ ජීවත් වූ ගෙයක් දොරක් නොතිබූ පුද්ගලයෙකු දිලිඳු තත්වයට තමන්ව ඇද දැමූ නරක පුරුදු අත්හැරීමට පෙලඹුණේ ඇයි? ඕස්ට්‍රේලියාවේ ගොපල්ලෙක් ලෙස වැඩ කළ පුද්ගලයෙක් බේබදුකමෙන් සමුගැනීමට පෙලඹුණේ ඇයි? ඒ සම්බන්ධයෙන් ඔවුන්ම පැවසූ දේවල් අපි දැන් සලකා බලමු.

“මගේ අවශ්‍යතා සපයාගන්න මට වගකීමක් තියෙනවා කියලා මම තේරුම්ගත්තා.”—නෙලි බෙයිමාටෝවා

වයස: 45

රට: රුසියාව

අතීතයේදී: මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියා

මගේ අතීතය: මම හැදී වැඩුණේ උතුරු ඔසේටියා සමූහාණ්ඩුවෙයි. (ඇලේනියාව) සල්ලිවලින් අපිට කිසිම අඩුවක් තිබුණේ නැහැ. ඒත් මම ජීවත් වුණේ සතුටින් නෙවෙයි. වයස අවුරුදු 34ක් වෙනකොට මම දෙපාරක් විවාහ වෙලා හිටියා. හැබැයි ඒ විවාහයන් දෙකම අසාර්ථක වුණා. ඒ වගේම මම අවුරුදු 10ක් තිස්සේ මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වෙලා හිටියා. ඒ නිසා මට දෙවතාවක්ම ප්‍රතිකාර ගන්නත් සිද්ධ වුණා. මගේ පවුලේ අය එක්කවත් යාළුවන් එක්කවත් මට ලොකු බැඳීමක් තිබුණේ නැහැ. අඩුම තරමින් මගේ දරුවෝ දෙන්නා ගැනවත් මම ඒ හැටි සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

මගේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. සමහර දවස්වලට අම්මා අඬ අඬා මට උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරනවා. ඒත් ‘අපේ අම්මාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ, යෙහෝවා දෙවි කොහොමද මට උදව් කරන්නේ’ කියලා ඒ වගේ වෙලාවට මම කල්පනා කරලා තියෙනවා. කිහිප සැරයක්ම මත්ද්‍රව්‍ය නතර කරන්න මම උත්සාහ කළා. ඒත් මට ඒක කරන්න පුළුවන් වුණේ නැහැ. එක සැරයක් මම මත්ද්‍රව්‍ය නැතුව දවස් දෙකක්ම හිටියා. ඒත් අන්තිමේදී මට ඉන්නම බැරි තැන ගෙදරින් එළියට යන්න ඕනෙ වුණ නිසා මම උඩ තට්ටුවේ ඉඳලා බිමට පැන්නා. ඒකෙන් මගේ අතකුයි කකුළකුයි කැඩිලා කොන්දෙත් ආබාධයක් ඇති වුණා. ඒ නිසා මට මාස දෙකක්ම ඇඳට වෙලා ඉන්න වුණා.

ඒ කාලේදී මගේ අම්මා තමයි මට උදව් කළේ. ඒත් මම කරගත්ත දේ ගැන අම්මා කවදාවත් මට දොස් කිව්වේ නැහැ. මොකද මම හිටිය මානසික තත්වය අම්මා තේරුම් අරන් හිටියා. ඒ දවස්වල මට කියවන්න කියලා අම්මා පිබිදෙව්! සඟරා වගයක් ඇඳ ළඟින් තියලා තිබුණා. ඒවා කියවනකොට මට තේරුණා ඒ සඟරාවල හුඟක් වැදගත් තොරතුරු තියෙනවා කියලා. ඒ නිසා සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න මම තීරණය කළා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ වගකීමෙන් වැඩ කරන එකේ වැදගත්කම මම තේරුම්ගත්තා. ඒ වගේම අම්මාට බරක් වෙන්නේ නැතුව මගේ අවශ්‍යතා සපයාගන්න මට වගකීමක් තියෙනවා කියලත් මම තේරුම්ගත්තා. ඒ නිසා මම රස්සාවක් කරන්න පටන්ගත්තා. ඒත් ඒක ලෙහෙසි වුණේ නැහැ. මොකද මම පුරුදු වෙලා හිටියේ මට ඕන විදිහට ජීවත් වෙන්නයි.

කොහොමවුණත් බයිබලයේ ද්විතීය කතාව 6:5-7 දක්වා සඳහන් වෙලා තියෙන මඟ පෙන්වීම මගේ හිතට තදින්ම කාවැදුණා. ඒ පදවල සඳහන් වෙලා තියෙන්නේ දරුවන්ව හොඳින් පුහුණු කරන්න යෙහෝවා දෙවි දෙමව්පියන්ට දීලා තියෙන උපදෙස්. මම දරුවන්ව හදා වඩා ගන්න විදිහ ගැන දෙවිට ගණන් දෙන්න ඕනේ කියලා මට තේරුණා. ඒ නිසා දරුවන්ට ආදරය කරමින් ඒ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න මම උත්සාහ කළා.

යෙහෝවා දෙවි ඔහු ගැන සත්‍යය ඉගෙනගන්න මට අවස්ථාව දුන්න එක ගැන මට ලොකු සතුටක් දැනුණා. ඒ නිසා යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කරලා සාක්ෂිකරුවෙක් විදිහට මම බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ මගේ කේන්තිය පාලනය කරගන්න මම ඉගෙනගත්තා. ඒ නිසා දැන් මගේ අම්මා එක්කත් දරුවන් එක්කත් මම සන්තෝෂයෙන් ජීවත් වෙනවා.

යෙහෝවා දෙවි හෙළාදකින දේවල් මගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන නිසා මට ඉස්සර වගේ අනවශ්‍ය ප්‍රශ්න ගැටලු නැහැ. ඒ වෙනුවට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න අනික් අයට උපකාර කරන නිසා අද මම ලොකු සතුටක් අද්දකිනවා.

“මගේ ජීවිතය බේරුණා.”—මිනෝරු ටාකෙඩා

වයස: 54

රට: ජපානය

අතීතයේදී: ගෙයක් දොරක් නොමැතිව පාරේ ජීවත් වුණා

මගේ අතීතය: මමයි මගේ තාත්තායි ආච්චියි ජීවත් වුණේ යමගුචි කියන නගරයෙයි. මගේ අම්මා ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට වයස අවුරුදු 19දී මගේ ආච්චි මැරුණා. ඒ වෙනකොට මම කෝකියෙක් විදිහට රැකියාවක් කළා. තාත්තාත් කළේ ඒ විදිහෙම රැකියාවක්. කොහොමවුණත් අපි දෙන්නා වැඩ කළේ වෙනස් වෙලාවල් දෙකක නිසා අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ හරිම කලාතුරකින්. ටික කාලයක් යනකොට වැඩි වෙලාවක් රැකියාවේ යෙදෙන්නත් යාළුවන් එක්ක මත්පැන් බොන්නත් මම පුරුදු වුණා.

කොහොමවුණත් කාලයක් යනකොට මට මගේ රැකියාව එපා වුණා. ඒ නිසා දවසක් මගේ රැකියාවේ ප්‍රධානියා එක්කත් මම ගහගත්තා. වයස 20දී මම ගෙදරින් පිට වෙලා ගිහින් වෙන වෙන තැන්වල ජීවත් වෙන්න තීරණය කළා. අතේ තිබුණු සල්ලි ටික ඉවර වුණාම මම සූදු පොළක වැඩ කරන්න පටන්ගත්තා. එහෙදී මුණගැහුන ගෑනු ළමයෙක් එක්ක මම විවාහ වුණා. ඒත් අවුරුදු දෙකහමාරකට පස්සේ අපි දෙන්නා වෙන් වුණා.

ඒ දේවල් නිසා මම මානසිකව ඇද වැටුණා. ඒ වගේම මට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ කියලත් හිතුණා. මම හුඟක් ණය වෙලා හිටිය නිසා ණය සල්ලි එකතු කරගන්න මිනිස්සු මාව හොයාගෙන එන්න පටන්ගත්තා. ඒ නිසා ඒගොල්ලන්ගෙන් බේරෙන්න මම ආයෙත් තාත්තා ළඟට ගියා. ඊටපස්සේ මම තාත්තාගේ සල්ලිවලින් සූදු සෙල්ලම් කරන්න පටන්ගත්තා. මම තාත්තාට හුඟක් බොරු කිව්ව නිසා තාත්තාට මං ගැන තිබුණු විශ්වාසය නැති වුණා. අන්තිමේදී මම සල්ලි නාස්ති කරගෙන දුප්පතෙක් වුණා. ටික කාලයක් යන කල් මම ජීවත් වුණේ දුම්රියපොළක. ඊටපස්සේ මම හාකාටා කියන නගරයෙත් හෙමේජී සහ කියෝතො නගරවලත් ජීවත් වුණා. අවුරුදු දෙකක්ම මම හිටියේ මහ පාරේ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: වර්ෂ 1999දී මම කියෝතො නගරයේ කමෝගාවා ගඟ ළඟ හිටිය වෙලාවක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් මගේ ළඟට ආවා. එක්කෙනෙක් මගෙන් අහුවා “බයිබලය ගැන ඉගෙනගන්න කැමතිද” කියලා. එතකොට මම කිව්වා ඔව් මම කැමතියි කියලා. ඊටපස්සේ ඒ නගරයේ හිටිය සාක්ෂිකරුවන් මාව මුණගැහිලා මට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න පටන්ගත්තා. ඒ වගේම බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්න එකේ වටිනාකම ගැනත් ඒ අය මට පැහැදිලි කළා. රස්සාවක් කරලා ඉන්න තැනක් හොයාගන්න කියලත් ඒ අය මාව උනන්දු කළා. ඒගොල්ලන්ව සතුටු කරන්න හිතාගෙන මම සම්මුඛ පරීක්ෂණ කිහිපයකටම ගියත් මට රස්සාවක් හොයාගන්න ලොකු උනන්දුවක් තිබුණේ නැහැ. හැබැයි ටික කාලයක් යනකොට රස්සාවක් කරන එක කොච්චර වැදගත්ද කියලා මට තේරුණා. ඒ නිසා රස්සාවක් හොයාගන්න උදව් කරන්න කියලා මම දෙවිට හුඟක් යාච්ඤා කළා. අන්තිමට මට රැකියාවක් ලැබුණා.

මම ණයට සල්ලි ඉල්ලගත්ත අය කොහොමහරි මාව හොයාගත්තා. ඊටපස්සේ ණය සල්ලි ඉල්ලලා ඒ අය මට බල කළා. ඒක මට ලොකු පීඩනයක් වුණා. කොහොමවුණත් මම යෙහෝවා දෙවිට යාච්ඤා කළ නිසා ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න මට ශක්තිය ලැබුණා. මම පුරුද්දක් විදිහට හැමදාම බයිබලය කියෙව්වා. දවසක් ‘මම ඔබට පිහිට වන්නෙමි’ කියලා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට දීලා තියෙන පොරොන්දුව මම දැක්කා. ඒක සඳහන් වෙලා තිබුණේ යෙසායා 41:10වෙනි පදයෙයි. ඇත්තටම ඒ පොරොන්දුවෙන් මට ලොකු ශක්තියක් ලැබුණා. ඒ නිසා මම හුඟක් මහන්සි වෙලා වැඩ කරලා මගේ ණය මුදල් පියෙව්වා. වර්ෂ 2000දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න මට අවස්ථාව ලැබුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තට පස්සේ තාත්තා එක්ක ආයෙත් හොඳ බැඳීමක් ඇති කරගන්න මම උත්සාහ කළා. ඒ නිසා තාත්තා මගේ අතින් වුණ වැරදිවලට සමාව දීලා මාව ආදරයෙන් පිළිගත්තා. මම බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න තීරණය කළ එක ගැන තාත්තා හුඟක් සතුටු වුණා. මට දැනෙන්නේ බයිබලයේ සඳහන් වෙලා තියෙන ප්‍රතිපත්ති මගේ ජීවිතයට අදාළ කරගත්ත නිසා මගේ ජීවිතය ඇත්තටම බේරුණා කියලයි.

බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හිතට අරන් රැකියාවක් කරන්න පටන්ගත්ත නිසා දැන් මගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න මට පුළුවන්. (එෆීස 4:28; 2 තෙසලෝනික 3:12) ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර මට සැබෑ මිතුරන් ඕන තරම් ඉන්නවා. (මාක් 10:29, 30) ඇත්තටම ඒ හැම දෙයක් ගැනම මම යෙහෝවා දෙවිට හද පත්ලෙන්ම ස්තුති කරනවා.

“නරක පුරුදු අත්හරින එක මට ලෙහෙසි දෙයක් වුණේ නැහැ.”—ඩේවිඩ් හඩ්සන්

වයස: 72

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: අධික ලෙස මත්පැන් පානය කළා

මගේ අතීතය: අපේ පවුලේ 11වෙනි දරුවා මමයි. අපි ජීවත් වුණේ ඔස්ට්‍රේලියාවේ ආදි වාසීන්ගේ ගම්මානයක් වන ඔරූකන්වලයි. ඒ ගම්මානය තියෙන්නේ ක්වීන්ස්ලන්තයේ උතුරට වෙන්න මුහුද කිට්ටුවෙනුයි. ආචර් ගඟත් ගලාගෙන යන්නේ ඒ ගම්මානය ළඟිනුයි. ජීවනෝපායක් විදිහට මාළු අල්ලන විදිහ ගැන අපේ දෙමාපියන් අපිට පුංචි කාලෙදීම කියලා දුන්නා. ඒ කාලයේ රජයෙන් පනවලා තිබුණ නියෝගයක් නිසා මුදල් පාවිච්චි කරන එක ආදි වාසීන්ට තහනම් කරලයි තිබුණේ. ඒ වගේම අපිට ජීවත් වෙන්න වුණෙත් සීමිත ප්‍රදේශයක.

පුංචි කාලේ ඉඳලාම හොඳ ගතිගුණ වර්ධනය කරගන්න මගේ දෙමාපියන් මට උදව් කළා. උදාහරණයකට වැඩිහිටියන්ට ගරු කරන්නත් තියෙන හැම දෙයක්ම අනික් අය එක්ක බෙදා හදාගන්නත් දෙමාපියන් අපිට කියලා දුන්නා. ඒ නිසා වැඩිහිටියන්ව අපේම දෙමාපියන් සහ නැන්දලා මාමලා විදිහට සලකන්න අපි හුරු වුණා.

මගේ තාත්තා මිය යනකොට මට වයස අවුරුදු හතයි. ඊටපස්සේ අපි හිටිය ගම්මානයේ ඉඳන් කිලෝමීටර් 150ක් විතර දුරින් තිබුණු මපූන් කියන ගම්මානයේ පදිංචියට ගියා. වයස අවුරුදු 12දී ඉඳන් අශ්වයන්ව සහ ගවයන්ව බලාගන්න මම පුරුදු වුණා. ඊටපස්සේ මට වයස අවුරුදු 50ක් විතර වෙනකල් මම ගවපට්ටි කිහිපයකම වැඩ කළා. ඒක හරිම දුෂ්කර ජීවිතයක්. ඒ වෙනකොට මම නිතර නිතර මත්පැන් පානය කරන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා මට හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් සිද්ධ වුණා.

දවසක් මම හුඟක් මත්පැන් බීලා වෙරි මතින් හෝටලයෙන් එළියට ආවා. ඒත් එක්කම හයියෙන් ආව වාහනයකට මාව හැප්පුණා. මගේ ගොපළු ජීවිතය එතනින් අවසන් වුණා. ඊළඟ අවුරුදු දෙකේම ප්‍රතිකාර ගන්නත් පුනරුත්තාපන කඳවුරේ ඉන්නත් මට සිද්ධ වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම පුනරුත්තාපන කඳවුරේ හිටිය කාලයේදී මගේ මිතුරියක් මට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ගෙනත් දුන්නා. ඒත් මම ඉගෙනගෙන තිබුණේ නැති නිසා අකුරු කියවන්න දැනගෙන හිටියේ නැහැ. කොහොමවුණත් එක රස්නේ දවසක අවුරුදු 83ක් වයස මහලුකෙනෙක් මම හිටිය තැනට ආවා. මම එයාට ඇතුළට එන්න කියලා වතුර ටිකක් දුන්නා. ඊටපස්සේ එයා බයිබලයේ තියෙන ඉගැන්වීම් පැහැදිලි කරන පොත් වගයක් මට දීලා මගෙන් ඇහුවා ඒ පොත්වල තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න වෙන දවසක එන්නද කියලා. ඒ විදිහට ඒ මහලු කෙනා බයිබලයේ තියෙන දේවල් මට කියලා දෙන්න පටන්ගත්තා. බයිබලය අධ්‍යනය කරනකොට මට තේරුණා දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් මම මගේ මුළු ජීවිතයම වෙනස් කරගන්න ඕනේ කියලා.

කොහොමවුණත් නරක පුරුදු අත්හරින එක මට ලෙහෙසි වුණේ නැහැ. ඒත් මගේ අම්මා වැඩිහිටියන්ට ගරු කරන්න කියලා මට උගන්වලා තිබුණ නිසා බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්න ආව මහලු කෙනාට මම හුඟක් ගරු කළා. ඒ වගේම මම බයිබලයෙන් ඉගෙනගත්ත දේවලටත් හුඟක් ආශා කළා. සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙලා දෙවිට මගේ ජීවිතය කැප කරන්න මම අදිමදි කලත් බයිබලයේ තියෙන හැම දෙයක්ම ඉගෙනගන්න ඕනේ කියලා මට හිතුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙලා හිටිය මගේ යාළුවෙක් මම හිතන විදිහ වෙනස් කරගන්න මට උදව් කළා. ඒ යාළුවා බයිබලයේ කොලොස්සි 1:9, 10 තියෙන අදහස මට පෙන්නුවා. ඒකෙ සඳහන් වෙලා තිබුණේ ‘දෙවි පිළිබඳ නිවැරදි දැනුමෙන් වර්ධනය වෙන්න’ කියලයි. දෙවි ගැන මට තියෙන දැනුම අඩුයි කියලා හිතාගෙන දෙවිට කැපනොවී ඉන්න එක සාධාරණ නැහැ කියලා ඒ බයිබල් පද කියෙව්වට පස්සේ මගේ යාළුවා මට පැහැදිලි කළා. මොකද දෙවි ගැන කොච්චර ඉගෙනගත්තත් ඒකට අවසානයක් නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරන්න පටන්ගත්තට පස්සේ ඒ අය හරිම වෙනස් සෙනඟක් කියලා මට තේරුණා. ඒ අය අතර හැම තරාතිරමකම අය හිටියත් ඒ හැමෝම හරිම සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන විදිහ මම දැක්කා. ඒ නිසා දෙවිගේ අනුමැතිය තියෙන සැබෑ ආගම මේක තමයි කියලා මට පැහැදිලි වුණා. අන්තිමේදී මම 1985දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: දැන් මට හොඳට අකුරු කියවන්න පුළුවන්. ඒ නිසා මම දැන් සතිපතා කාලය වැය කරලා අනික් අයට අකුරු ලියන්න කියවන්න සහ බයිබලය හොඳින් තේරුම්ගන්න උදව් කරනවා. මම පුනරුත්තාපන කඳවුරේ ඉන්නකොට මට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ගෙනත් දුන්න මගේ මිතුරියත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් විදිහට බව්තීස්ම වුණා. කාලෙකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා. දැන් අපි දෙන්නා එකතු වෙලා ආදි වාසී ගම්මානවල ඉන්න අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න උදව් කරලා ලොකු සතුටක් ලබනවා.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපි දෙන්නා එකතු වෙලා ආදි වාසී ගම්මානවල ඉන්න අයට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න උදව් කරලා ලොකු සතුටක් ලබනවා