Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

යේසුස් ඉක්මන් වුණේ නැහැ

යේසුස් ඉක්මන් වුණේ නැහැ

තමන්ගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස් අසනීප වෙලා කියලා යේසුස්ට ආරංචි වුණා. ලාසරුස්ගේ සහෝදරියන් දෙදෙනා වූ මරියායි මාර්තායි තමයි ඒ ගැන කියලා පණිවිඩකරුවෙකුව යේසුස් ළඟට යැව්වේ. කලින් වතාවකත් දුර ඈතක ඉඳලා යේසුස් රෝගියෙකුව සුව කළා කියලා ඒ දෙන්නා දැනගෙන හිටියා. ඒ නිසා ලාසරුස්වත් ඒ විදිහටම සුව කරන්න යේසුස්ට පුළුවන් කියලා ඒ දෙන්නාට ලොකු විශ්වාසයක් තිබුණා. බෙතානියේ ඉඳලා යේසුස් ළඟට පණිවිඩකරුවෙකුව යවන්න ඒ දෙන්නා පෙලඹුණේ ඒ නිසයි.—මතෙව් 8:5-13; යොහන් 11:1-3.

ලාසරුස් අසනීපෙන් ඉන්නවා කියලා යේසුස්ට දැනගන්න ලැබුණත් යේසුස් ඒ වෙලාවේ කිසිම දෙයක් කළේ නැහැ. යේසුස් තමන් සිටි ස්ථානයේම දවස් දෙකක් නැවතිලා හිටියා. (යොහන් 11:6) ලාසරුස්ව සුව කරන්න යේසුස් ඉක්මන් වුණේ නැත්තේ ඇයි කියලා ඔයා දන්නවාද?— * ඒ ඇයි කියලා අපි දැන් බලමු.

ලාසරුස් මිය ගියා කියලා දැනගත්තාම “අපි නැවත යුදයට යමු” කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. ඒ වෙලාවේ ගෝලයන් යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබ නැවතත් එතැනට යන්න හදන්නේ ඇයි? ළඟදී නේද යුදෙව්වරුන් ඔබට ගල් ගසන්න හෙව්වේ?” එතකොට යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘අපේ මිත්‍ර ලාසරුස් නිදි. මම දැන් යන්නේ ඔහුව නින්දෙන් අවදි කරන්නයි.’

එතකොට “ස්වාමීනි, ඔහු නිදාගෙන සිටිනවා නම් ඔහු සනීප වී නැඟිටියි” කියලා ගෝලයන් යේසුස්ට කිව්වා. ලාසරුස්ට වෙලා තියෙන දේ ගෝලයන් දැනගෙන හිටියේ නැති නිසා “ලාසරුස් ඇත්තටම මැරිලා” කියලා යේසුස් කිව්වා. ඒත් එක්කම යේසුස් මෙහෙම දෙයකුත් කිව්වා. “ඒ අවස්ථාවේදී මම එතැන නොසිටි එක ගැන සතුටු වෙනවා.” යේසුස් එහෙම කිව්වේ ඇයි කියලා ගෝලයන් කල්පනා කරන්න ඇති.

යේසුස් බෙතානියට යන්න තීරණය කළාම ඔහුගේ ගෝලයෙක් වුණු තෝමස් අනික් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මැරෙන්න සිදු වුණත් අපි ඔහු සමඟ යමු.” යුදෙව්වරුන් ආයෙත් සැරයක් යේසුස්ව මරන්න උත්සාහ කරයි කියලත් සමහරවිට ගෝලයන්වත් මරා දමන්න ඉඩ තියෙනවා කියලත් තෝමස් දැනගෙන හිටියා. ඒ වුණත් යේසුස්ගේ ගෝලයන් ඔහු සමඟ ගියා. දවස් දෙකකට විතර පස්සේ ඔවුන් බෙතානියට ආවා. බෙතානිය පිහිටා තිබුණේ යෙරුසලමේ ඉඳලා කිලෝමීටර් තුනක් විතර දුරින්.—යොහන් 11:7-18.

ලාසරුස් මැරුණු වෙලාවේ තමන් එතැන නොසිටි එක ගැන යේසුස් සතුටු වුණේ ඇයි කියලා ඔයා දන්නවාද?— යේසුස් ඊට කලිනුත් මැරුණ අයට නැවත ජීවිතය දීලා තිබුණා. හැබැයි යේසුස් එහෙම කළේ ඒ අය මිය ගිහින් පැය කිහිපයක් ඇතුළතයි. (ලූක් 7:11-17, 22; 8:49-56) ඒ වුණත් යේසුස් බෙතානියට යනකොට ලාසරුස් මිය ගිහින් දවස් හතරක් ගත වෙලා තිබුණා.

යේසුස් බෙතානියට ආවා කියලා මාර්තා දැනගත්තම එයා යේසුස්ව හමු වෙන්න දුවගෙන ගිහින් යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔබ මෙහි සිටියා නම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ.” එතකොට යේසුස් “ඔබේ සහෝදරයා අනිවාර්යයෙන්ම නැඟිටියි” කියලා මාර්තාට කිව්වා. ඊටපස්සේ මාර්තා දුවගෙන ගිහින් මරියාට මෙහෙම කිව්වා. “ගුරුතුමා ඇවිත් සිටිනවා. ඔහු ඔබටත් එන්න කියනවා.”

ඒ වෙලාවෙම මරියා යේසුස්ව හමු වෙන්න ගියා. මරියාව සනසවන්න ඇවිත් හිටිය අය හිතුවේ මරියා සොහොන් ගෙය ළඟට යනවා කියලයි. ඒ නිසා ඒ අයත් මරියා එක්කම ගියා. මරියායි එයාව සනසවන්න ඇවිත් හිටිය අයයි අඬනවා දැක්කම යේසුස්ගේ ඇසුත් ‘කඳුළින් පිරුණා.’ ඊටපස්සේ යේසුස් ඒ අයත් එක්ක ලාසරුස්ව තැන්පත් කරලා තිබුණ සොහොන් ගෙය ළඟට ගියා. ඒ සොහොන් ගෙයට ලොකු ගලක් හේත්තු කරලා තිබුණු නිසා ඒ “ගල අහකට ගන්න” කියලා යේසුස් කිව්වා. එතකොට මාර්තා යේසුස්ට මෙහෙම කිව්වා. “ස්වාමීනි, ඔහු දැන් මැරිලා දවස් හතරක්ම ගත වෙලා නිසා හොඳටම ගඳ ගහනවා ඇති.”

එතන හිටිය මිනිසුන් යේසුස්ට කීකරු වෙලා ඒ ගල අයින් කළා. ලාසරුස්ට නැවත ජීවිතය ලබා දෙන්න යෙහෝවා දෙවි බලය දෙන බව යේසුස් දැනගෙන හිටිය නිසා ඔහු කලින්ම දෙවිට ස්තුති කළා. ඊටපස්සේ යේසුස් මහත් හඬකින් “ලාසරුස්, පිටතට එන්න” කියලා කිව්වා. ඒත් එක්කම “රෙදි පටිවලින්” ඔතලා හිටිය ලාසරුස් එළියට ආවා. ඒ වෙලාවේ “ඔහුගේ රෙදි පටි ගලවා ඔහුට යන්න හරින්න” කියලා යේසුස් කිව්වා.—යොහන් 11:19-44.

ලාසරුස්ට උදව් කරන්න යේසුස් ඉක්මන් වුණේ නැත්තේ ඇයි කියලා ඔයාට දැන් තේරුණාද?— යේසුස්ට ඕනෙ වුණේ සුදුසුම අවස්ථාව එනකල් ඉඳලා ලාසරුස්ව නැවත නැඟිටුවන්නයි. එහෙම කළොත් යෙහෝවා දෙවිව වැඩියෙන් ප්‍රශංසාවට පත් කරන්න පුළුවන් කියලා යේසුස් හොඳින්ම දැනගෙන හිටියා. යේසුස් ඒ විදිහට කටයුතු කළ නිසා හුඟක් අය දෙවිව විශ්වාස කරන්න පටන්ගත්තා. (යොහන් 11:45) යේසුස්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?—

යෙහෝවා දෙවි කරලා තියෙන දේවල් වගේම ඉදිරියේදී කරන්න යන දේවල් ගැන අනික් අයට කියන්න ඔයත් හොඳම අවස්ථාව තෝරගන්න. සමහරවිට ඔයාගේ පංතියේ ළමයින්ට එහෙමත් නැත්නම් ගුරුවරුන්ට ඒ දේවල් ගැන කතා කරන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ රාජ්‍යය මිනිසුන්ට ලබා දෙන ආශීර්වාද ගැන සමහර ළමයින් පාසලේදීම අනික් අයට කියලා දෙනවා. මිය ගිය අයට ජීවිතය දෙන්න ඔයාට බැරි වුණත් ඒ දේ කරන්න බලය තියෙන යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ඒ අයට උදව් කරන්න ඔයාට පුළුවන්.

^ 4 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.