Skip to content

පටුනට යන්න

විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු

විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු

විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු

යම් දිනක මේ දුෂ්ට සමාජය විනාශ වීමට නියමිතයි කියා යේසුස් එක් අවස්ථාවකදී සඳහන් කළා. ඔහු පැවසුවේ “ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක් එදාට පැමිණෙයි” කියායි.—මතෙව් 24:14, 21.

දුෂ්ට මිනිස් සමාජයේ විනාශය ගැන බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා. ඒවා සලකා බැලීමෙන් වැදගත් ප්‍රශ්න රැසකට පිළිතුරු ලබාගත හැකියි. අපි දැන් ඉන් කිහිපයක් ගැන සලකා බලමු.

1 විනාශ වන්නේ කුමක්ද?

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. දෙවි “පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.” (ගීතාවලිය 104:5) එම වදන්වලට අනුව දෙවි පොළොව නිර්මාණය කර තිබෙන්නේ සදහටම පවතින ලෙසයි. එමනිසා මේ ලෝකය කිසිදාක විනාශ වී යන්නේ නැහැ. විශාල ගිනි ජාලාවකින් මිනිස් සංහතිය පොළොවෙන් සදහටම තුරන් වී යනවා කියා ඇතැම් අය සිතනවා. නමුත් බයිබලයෙහි එවැනි දෙයක් සඳහන් වී නැහැ. (යෙසායා 45:18) යේසුස් පැවසුවේ මේ දුෂ්ට මිනිස් සමාජය විනාශ වුණත් ධර්මිෂ්ඨ අය ඉන් දිවි ගලවාගන්නා බවයි. සියලුදෙනාම විනාශ වී යනවා කියා ඔහු පැවසුවේ නැහැ. (මතෙව් 24:21, 22) කොහොමවුණත් මේ පොළොව මතින් සදහටම තුරන් වී යන දේවල් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඉන් කිහිපයක් අපි සලකා බලමු.

මිනිස් ආණ්ඩු. බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”—දානියෙල් 2:44.

යුද්ධ සහ පරිසර දූෂණය. අනාගතයේදී දෙවි කිරීමට යන දේවල් ගැන බයිබලයේ මෙසේ විස්තර කර තිබෙනවා. “සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.” (ගීතාවලිය 46:9) ඊට අමතරව “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමටත්” දෙවි පොරොන්දු වී තිබෙනවා.—එළිදරව් 11:18.

අපරාධ සහ අසාධාරණය. බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය. පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි. නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය. ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.” *හිතෝපදේශ 2:21, 22.

2 විනාශය සිදු වන්නේ කවදාද?

යෙහෝවා දෙවි ස්වර්ගයේ පිහිටුවා තිබෙන ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් පොළොවේ සිදු වන දුෂ්ටකම් නිමා කර පොළොව පාලනය කිරීමට “නියමිත කාලයක්” වෙන් කර තිබෙනවා. (මාක් 13:33) නමුත් දෙවි එය කරන්නේ කවදාද කියා අපිට දැනගැනීමට හැකියාවක් නැති බව පහදමින් යේසුස් මෙසේ පැවසුවා. “පියාණන් මිස ඒ දේ සිදු වන දවස හා වේලාව කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.” (මතෙව් 24:36) කොහොමවුණත් අවසානය පැමිණීමට කලින් පොළොවේ සිදු වීමට නියමිත දේවල් ගැන යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් පෙන්නුම් කළා. ඒ දේවල් පහත දැක්වෙන අතර ලොව පුරාම ඒවා සිදු වීමෙන් අදහස් වෙන්නේ දෙවි මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස ඉතා ආසන්න බවයි.

ඉතිහාසයේ සිදු නොවූ ලෙස දේශපාලනික, පාරිසරික සහ සමාජීය වශයෙන් මහත් පිරිහීමක් සිදු වීම. අවසානය පැමිණීමට කලින් මෙවැනි දේවල් සිදු වෙන බව යේසුස් පැවසුවා. “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි. එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා හා ආහාර හිඟකම් ඇති වෙයි. නමුත් ඒ සියල්ල දරුණු විපත්තිවල ආරම්භයක් පමණයි.” (මාක් 13:8) ඊට අමතරව ඒ කාලයේදී මිනිසුන්ගේ ගතිගුණ පිරිහෙන බවත් බයිබලයේ මෙලෙස සඳහන් වෙනවා. “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”—2 තිමෝති 3:1-5.

ලොව පුරාම විවිධ භාෂාවලින් ශුභාරංචිය ප්‍රචාරය වීම. යේසුස් ඒ සම්බන්ධයෙන් මෙසේ පැවසුවා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

3 විනාශයෙන් පසුව සිදු වන්නේ කුමක්ද?

දෙවි අරමුණු කළේ මිනිසුන් සදහටම පොළොව මත සතුටින් ජීවත් වීමටයි. එමනිසා දුෂ්ට මිනිස් සමාජය විනාශ වූ පසු ධර්මිෂ්ඨ මිනිසුන්ට මේ පොළොව මත සදහටම ජීවත් වීමට අවස්ථාව සැලසෙනවා. “මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 5:5; 6:9, 10) එපමණක්ද නොව දුෂ්ට මිනිස් සමාජයේ විනාශයට කලින් මිය ගිය අයට නැවත ජීවිතය ලබා දෙන්නත් දෙවි පොරොන්දු වී තිබෙනවා. (යෝබ් 14:14, 15; යොහන් 5:28, 29) විනාශයෙන් පසුව සිදු වන තවත් දේවල් මොනවාද?

දෙවිගේ රාජ්‍යයේ රජු වන යේසුස් ස්වර්ගයේ සිට පාලනය ක්‍රියාත්මක කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් අනාවැකිය මෙයයි. “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින් මනුෂ්‍ය පුත්‍රයෙකු [එනම් නැවත නැඟිටුවනු ලැබූ යේසුස්] වැනි කෙනෙකු පුරාතන තැනැත්තා [එනම් යෙහෝවා දෙවි] වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි. සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට [එනම් යේසුස්ට] දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.”—දානියෙල් 7:13, 14; ලූක් 1:31, 32; යොහන් 3:13-16.

දෙවිගේ රාජ්‍යයට යටත් වන අයට නිරෝගී සෞඛ්‍යයක් සහ සුරක්ෂිතභාවයක් ඇතුව සදහටම ජීවත් වීමට හැකි වෙනවා. දුෂ්ටකම පොළොවෙන් ඉවත් කළ පසු ධර්මිෂ්ඨ අයට පොළොව මත ඉතා සාමකාමී ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙසේයි. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය. ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත.” (යෙසායා 65:21-23) බයිබලයේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

4 විනාශයෙන් බේරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

දෙවි ළඟදීම මේ දුෂ්ට සමාජය විනාශ කරන බව පිළිගැනීමට මේ කාලයේ සිටින සමහර අය කැමැත්තක් දක්වන්නේ නැති බව බයිබලයේ සඳහන් වෙනවා. (2 පේතෘස් 3:3, 4) නමුත් අපේ ජීවිත බේරාගැනීමට නම් අතීත සිදුවීම්වලින් අපි පාඩමක් ඉගෙනගත යුතු බව බයිබලයේ පෙන්නුම් කරනවා.

අතීතයෙන් ඉගෙනගන්න. බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි, නෝවාගේ කාලයේදී පැවති තමාට කිසි ගෞරවයක් නොදැක්වූ ලෝකයට දඬුවම් කිරීමට පසුබට වුණේ නැත. ඔහු එය ජලගැල්මකින් විනාශ කළ විට ධර්මිෂ්ඨකම ගැන දේශනා කළ නෝවාවද තවත් හත්දෙනෙකුවද ආරක්ෂා කළේය.” (2 පේතෘස් 2:5) කොහොමවුණත් සමහරු කැමැත්තෙන්ම ඒ අතීත සිද්ධිය අමතක කරන බව බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු හිතාමතාම යම් කාරණයක් අමතක කර දමති. එනම් පුරාණයේ සිට පැවතුණු අහසක් තිබුණු බවත් දෙවිගේ අණ පරිදි ජලයෙන් ඉහළට මතු වී ජලය මධ්‍යයෙහි ගොඩබිම සහිත පොළොවක් තිබූ බවත්, ඇද හැළුණු ජල කන්දරාවක් මාර්ගයෙන් ඒ කාලයේ පැවති ලෝකය ජලගැල්මකට හසු වී විනාශ වී ගිය බවත් ඔවුහු අමතක කර දමති. නමුත් එම අණ පරිදිම දැන් පවතින අහසත් පොළොවත් * වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය. එනම් විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය.”—2 පේතෘස් 3:5-7.

දෙවිගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න. දෙවි මේ දුෂ්ට සමාජයට ගෙනෙන විනාශයෙන් බේරීමට කැමති අය තමන්ගේ ‘හැසිරීම ශුද්ධව පවත්වාගත යුතු අතර දෙවි සඳහා තිබෙන භක්තිය ක්‍රියාවලින් පිළිබිඹු කළ යුතුයි’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 පේතෘස් 3:11) ඒ අනුව දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන බව පැවසීම හෝ අන්තිම මොහොතේ විනාශයෙන් බේරීම සඳහා හොඳ කෙනෙක් වීමට උත්සාහ කිරීම පලක් නැහැ. ඊට හේතුව ඉහත බයිබල් ඡේදයේ දිරිගන්වා තිබෙන්නේ ශුද්ධව හැසිරෙමින් දෙවි කෙරෙහි තිබෙන භක්තිය පෙන්වන ක්‍රියා නිරතුරුවම කරන්න කියායි.

දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් අපි කළ යුත්තේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වන දේ දැනගැනීමට ඔබ කැමතිද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ගැන ඔබට කියා දීමට සතුටින් සිටිනවා. ඒ නිසා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔවුන්ගෙන් දැනගන්න. එසේ කළොත් වර්තමානයේ සිදු වෙන දේවල් නිසා බිය වෙනවා වෙනුවට දැඩි විශ්වාසයකින් අනාගතයට මුහුණ දීමට ඔබට හැකියාව ලැබෙනවා.

[පාදසටහන්වල]

^ 8 ඡේ. “සියලුම මිනිසුන්ට දෙවිව දැන හඳුනා ගැනීමට අවස්ථාව තිබෙනවාද” යන මාතෘකාවෙන් යුත් 22වන පිටුවේ ඇති ලිපිය බලන්න.

^ 19 ඡේ. ඉහත බයිබල් පදයේ පොළොව යන වචනය යොදා තිබෙන්නේ සංකේතාත්මක ආකාරයකිනුයි. එහි පොළොව ගින්නෙන් දවාලීම සඳහා වෙන් කර තිබෙනවා කියා සඳහන් වීමෙන් අදහස් වෙන්නේ පොළොව විනාශ වී යන බව නොව එහි සිටින දුෂ්ට මිනිසුන් විනාශ වෙන බවයි. බයිබලයේ ස්ථාන කිහිපයකම පොළොව යන වචනය සංකේතාත්මක ආකාරයකින් යොදාගෙන තිබෙනවා.—උත්පත්ති 11:1.

[7වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පොළොව විනාශ වෙන්නේ නැහැ. නමුත් පොළොව විනාශ කරන අය විනාශ වෙනවා.