Skip to content

පටුනට යන්න

සන්තෝෂය අත් කරගත හැකි අයුරු

සන්තෝෂය අත් කරගත හැකි අයුරු

යේසුස්ගෙන් ඉගෙනගනිමු

සන්තෝෂය අත් කරගත හැකි අයුරු

සන්තෝෂයට රහස කුමක්ද?

▪ “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියා යේසුස් පැවසුවා. (මතෙව් 5:3) ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?

සන්තෝෂය අත් කරගැනීමට නම් අපි ජීවිතයේ අරමුණ කුමක්ද කියා වටහාගත යුතුයි. ඒ ගැන හොඳින්ම දන්නේ අපව නිර්මාණය කළ යෙහෝවා දෙවි පමණයි. ‘මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මතයි’ කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 4:4) දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමට ආශාවෙන් සිටින අයට “ප්‍රීතිමත් දෙවි” යෙහෝවා සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමට හැකි වන අතර අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වෙනවා. (1 තිමෝති 1:11) ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සන්තෝෂය අද්දැකිය හැකියි.

යේසුස් මිනිසුන් තුළ බලාපොරොත්තුවක් ඇති කළේ කෙසේද?

▪ අසනීපවූ අයව සුව කිරීමෙන් සහ මිය ගිය අයට නැවත ජීවිතය දීමෙන් යේසුස් අනාගතය ගැන මිනිසුන් තුළ බලාපොරොත්තුවක් ඇති කළා. ඊට අමතරව ඔහු මිනිසුන්ගේ බලාපොරොත්තු තවත් ඉහළ නංවමින් මෙසේද පැවසුවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) ඒ අනුව දෙවිට කීකරු වෙන අයට අනාගතයේදී පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. යේසුස් මෙසේ පැවසුවේ ඒ නිසයි. “මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි.” (මතෙව් 5:5) පාරාදීස පොළොවක මෘදු ගුණැති මිනිසුන් ප්‍රීතියෙන් කල් ගෙවන ආකාරය ඔබට සිතාගත හැකිද? ඇත්තෙන්ම “ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න” කියා බයිබලයේ සඳහන් වන්නේ හොඳ හේතු ඇතුවයි.—රෝම 12:12.

ජීවිතය සන්තෝෂයෙන් ගත කිරීම සඳහා යේසුස් දුන් මඟ පෙන්වීම් මොනවාද?

▪ අපි එකිනෙකා සමඟ ඇසුරු කළ යුතු ආකාරය, විවාහ ජීවිතය, නිහතමානිකම සහ ධන සම්පත් ගැන තිබිය යුතු ආකල්පය වැනි කාරණා සම්බන්ධයෙන් යේසුස් වටිනා මඟ පෙන්වීම් ලබා දුන්නා. (මතෙව් 5:21-32; 6:1-5, 19-34) ඒවා ජීවිතයට අදාළ කරගන්නවා නම් සැබෑ සන්තෝෂය අද්දැකිය හැකියි.

අපි සතු දේවල් අන් අය සමඟ බෙදාගැනීමෙන්ද සන්තෝෂය අද්දැකිය හැකියි. (ක්‍රියා 20:35) උදාහරණයකට යේසුස් පැවසූ මේ දේ සලකා බලන්න. “ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙල කරන විට දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කරන්න. ඔබ කළ සංග්‍රහය වෙනුවෙන් කිසිවක් දෙන්න ඔවුන්ට හැකියාවක් නැති නිසා ඔබට පුළුවන් සතුටු වන්න.” (ලූක් 14:13, 14) ඒ නිසා අපේම සන්තෝෂය ගැන සිතනවා වෙනුවට අන් අය වෙනුවෙන් යම් දේවල් කරනවා නම් එයින්ද සන්තෝෂය අද්දැකිය හැකියි.

සන්තෝෂය සඳහා දායක වන මූලිකම දේ කුමක්ද?

▪ ජීවිතයේ වැඩියෙන්ම සන්තෝෂය ලැබිය හැක්කේ දෙවිට සේවය කිරීමෙනුයි. එම සන්තෝෂය කොතරම්ද කියනවා නම් හොඳ දරුවන් සිටින දෙමාපියන් අද්දකින සන්තෝෂයට වඩා වැඩි සන්තෝෂයක් ඉන් ලැබෙනවා. එක් අවස්ථාවක යේසුස් උගන්වමින් සිටියදී ස්ත්‍රියක් පැවසූ දේකට යේසුස් දුන් පිළිතුරෙන් එය පැහැදිලි වෙනවා. ඒ ස්ත්‍රිය හඬ නඟා යේසුස්ට මෙසේ පැවසුවා. “ඔබව කුසේ දරා ඔබට කිරි දුන් ස්ත්‍රිය මොන තරම් සන්තෝෂවත් කෙනෙක් විය යුතුද!” ඒ අවස්ථාවේදී “ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියා යේසුස් පැවසුවා.—ලූක් 11:27, 28.

සියලුම මිනිසුන් සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන දැනගන්නවාට දෙවි කැමතියි. ඒ කැමැත්ත ඉටු කිරීමෙන් යේසුස් සන්තෝෂය අද්දැක්කා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.” (යොහන් 4:13, 14, 34) ඔබත් බයිබලයේ සඳහන් දේවල් අන් අයට කියා දෙනවා නම් ඔබටත් සන්තෝෂය අද්දැකිය හැකියි.

වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොතේ 1වන පරිච්ඡේදය බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

ජීවිතයේ අරමුණ තේරුම්ගැනීමට උත්සාහ කිරීමෙන් සැබෑ සන්තෝෂය අද්දැකිය හැකියි