Skip to content

පටුනට යන්න

දෙවි තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා

දෙවි තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා

දෙවිට ළං වෙන්න

දෙවි තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා

2 රාජාවලිය 18:1-7

දරුවන්ට හොඳ ආදර්ශයක් තැබීම දෙමාපියන් සතු වගකීමක්. ඔවුන් එම වගකීම ඉටු කරනවා නම් දරුවන්ට යහපත් ගතිගුණ වර්ධනය කරගැනීමටත් ඥානවන්ත තීරණ ගැනීමටත් හැකි වෙනවා. නමුත් බොහෝ දෙමාපියන් දරුවන්ට හොඳ ආදර්ශයක් වී නැහැ. එවැනි දරුවන්ට සාර්ථක විය හැකිද? ඇත්තෙන්ම හැකියි. ඊට හේතුව යෙහෝවා දෙවි සියලුදෙනාටම තීරණ ගැනීමේ නිදහස දී තිබීමයි. ඒ නිසා ඕනෑම කෙනෙකුට හරි දේ හෝ වැරදි දේ තෝරාගැනීමට නිදහස තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පුරාණයේ සිටි හෙසකියා ගැන සලකා බලමු.

හෙසකියාගේ පියා යූදා දේශය පාලනය කළ ආහස් රජුයි. (2 රාජාවලිය 18:1) ආහස් රජ ඔහුගේ යටත් වැසියන්ව වැරදි නමස්කාරයට යොමු කළා. ඔහු බාල් දෙවිට නමස්කාර කළ අතර තම දරුවන්වත් ගින්නෙන් පූජා කළා. එමෙන්ම ඔහු දෙවිගේ ගෘහයේ දොරටු වසා දමා ‘යූදා දේශයේ සෑම නුවරකම බොරු දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම සඳහා පූජනීය ස්ථානද පිහිටෙව්වා.’ (2 ලේකම් 28:3, 24, 25) කොහොමවුණත් හෙසකියාත් ඔහුගේ පියා කළ වැරදිම කරයිද?

ආහස්ගෙන් පසුව සිහසුනට පත් හෙසකියා ‘යෙහෝවා දෙවි යහපත්යයි සලකන දේ දිගටම කරන්න’ පටන්ගත්තා. ඔහු ආහස්ගේ නරක ආදර්ශය අනුගමනය කළේ නැහැ. (2 රාජාවලිය 18:3) හෙසකියාට දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද කියනවා නම් ‘යූදා දේශය පාලනය කළ රජවරුන් අතරේ ඔහු හා සමාන රජ කෙනෙක් සිටියේ නැහැ’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 රාජාවලිය 18:5) තරුණ හෙසකියා රජකම් කිරීමට පටන්ගත් පළමු වසරේදීම බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ පූජනීය ස්ථාන සියල්ල විනාශ කර දමා දෙවිගේ ගෘහයේ දොරටු විවෘත කළා. (2 රාජාවලිය 18:4; 2 ලේකම් 29:1-3, 27-31) එලෙස ඔහු ‘යෙහෝවා දෙවිව අත් නොහැර දිගටම ඔහුට නමස්කාර කළ’ නිසා ‘යෙහෝවා දෙවිද හෙසකියා රජු සමඟ දිගටම සිටියා.’—2 රාජාවලිය 18:6, 7.

ආහස් රජු දෙවි පිළිකුල් කළ දේවල් කළත් හෙසකියා දිගටම දෙවි ඉදිරියේ හරි දේ කරන්න පෙලඹුණේ ඇයි? ඒ සඳහා ඔහුගේ මව වූ අබියාගේ ආදර්ශය ඔහුට උපකාරවත් වන්න ඇද්ද? එසේත් නැත්නම් හෙසකියා උපදින්නත් පෙර සිටම අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළ යෙසායාගේ ආදර්ශය ඔහුට උපකාරවත් වන්න ඇද්ද? * ඒ ගැන බයිබලයේ සඳහන් වී නැහැ. ඊට බලපෑ හේතුව කුමක් වුණත් හෙසකියා කටයුතු කළේ ඔහුගේ පියාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයට බව පැහැදිලියි.

අවාදර්ශවත් දෙමාපියන් යටතේ හැදී වැඩෙන දරුවන්ට හෙසකියාගේ ආදර්ශය විශාල දිරිගැන්වීමක්. අතීතයේදී මුහුණ දීමට සිදු වූ දේවල් වෙනස් කිරීමට හෝ මකා දැමීමට කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. නමුත් අමිහිරි අතීතයක් ඇති කෙනෙකුට පවා තම ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව තිබෙනවා. ඊට හේතුව අප සියලුදෙනාටම තීරණ ගැනීමේ නිදහස තිබෙන නිසා නිවැරදි තීරණ ගෙන අනාගතය ප්‍රීතිමත් කරගැනීමට අවස්ථාව තිබීමයි. හෙසකියා මෙන් යෙහෝවා දෙවිට ප්‍රේම කිරීමටත් ඔහුට නමස්කාර කිරීමටත් තීරණය කිරීමට අපි සියලුදෙනාටම අවස්ථාව තිබෙනවා. එවැනි තීරණයක් ගැනීමෙන් දැනුත් සදහටමත් සැබෑ ප්‍රීතිය අද්දැකිය හැකියි. (2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) ඇත්තෙන්ම අනඟි ත්‍යාගයක් වන තීරණ ගැනීමේ නිදහස අපට ලබා දුන් යෙහෝවා දෙවිට අපි කොතරම් ස්තුතිවන්ත විය යුතුද!

[පාදසටහන]

^ 7 ඡේ. යෙසායා අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළේ ක්‍රිස්තු පූර්ව 778 සිට 732 අතර කාලය තුළයි. විසිපස් හැවිරිදි හෙසකියා රජකමට පත් වුණේ ක්‍රිස්තු පූර්ව 745දීයි.