Skip to content

පටුනට යන්න

අන්‍ය භාෂාවලින් කතා කරන අයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

අන්‍ය භාෂාවලින් කතා කරන අයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

අන්‍ය භාෂාවලින් කතා කරන අයට දෙවිගේ අනුමැතිය තිබෙනවාද?

ඩෙවන් නමැත්තා මෙසේ පවසනවා. “හැම සතියෙම අපේ පල්ලියේ ඉන්න හුඟක් අය අන්‍ය භාෂාවලින් කතා කරනවා. ඒක කරන්නේ දෙවිගේ බලයෙන් කියලයි ඒ අය කියන්නේ. හැබැයි අන්‍ය භාෂා කතා කරන සමහර අය හුඟක් නරක දේවල් කරනවා. මම යහපත් ජීවිතයක් ගත කළත් මට නම් අන්‍ය භාෂාවලින් කතා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව මට ලබා දෙන්න කියලා මම දෙවිට නිතරම යාච්ඤා කරනවා. ඒත් මට තාම ඒ දීමනාව ලැබිලා නැත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.”

ගේබ්‍රියල් අයත්ව සිටින ආගමේ අයත් අන්‍ය භාෂාවලින් කතා කරනවා. ඔහු ඒ ගැන පැවසුවේ මෙයයි. “මම යාච්ඤා කරනකොට අනික් අය කෑගහලා මොනවාද කියනවා. ඒක මට හරිම වදයක්. ඒ කියන දේවල් මටවත් ඒ අයටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා කිසි කෙනෙකුට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ දේවල් කරන්නේ දෙවිගේ බලයෙන් නම් ඒකෙන් මීට වඩා ප්‍රයෝජන තියෙන්න ඕනේ කියලයි මට හිතෙන්නේ.”

ඩෙවන් හා ගේබ්‍රියල් පවසන දෙයින් ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා. එනම් අන්‍ය භාෂාවලින් කතා කරන අය ඇත්තටම එය කරන්නේ දෙවිගේ බලයෙන්ද යන්නයි. ඊට පිළිතුර දැනගැනීම සඳහා පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව ලැබුණු හේතුව අපි සලකා බලමු.

“සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න” පටන්ගත්තා

අන්‍ය භාෂාවලින් කතා කිරීම මුල්ම වතාවට සිදු වුණේ යේසුස්ගේ මරණයෙන් දින කිහිපයකට පසුවයි. එනම් ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේයි. එදා යෙරුසලමේ සිටි යේසුස්ගේ ගෝලයන් 120දෙනා තුළ ‘දෙවිගේ බලය ක්‍රියාත්මක වූ නිසා ඔවුන් විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තා.’ වෙනත් රටවලින් පැමිණ සිටි අය ‘ගෝලයන් තමන්ට තේරෙන භාෂාවලින් කතා කරන ආකාරය ඇසුණු විට පුදුමයට පත් වුණා.’—ක්‍රියා 1:15; 2:1-6.

පළමු සියවසේදී අන්‍ය භාෂාවලින් කතා කළ අය අතරින් කෙනෙකු ලෙස පාවුල්ව සඳහන් කළ හැකියි. දෙවිගේ බලයේ උපකාරයෙන් ඔහුට බොහෝ භාෂාවලින් කතා කිරීමට හැකි වුණා. (ක්‍රියා 19:6; 1 කොරින්ති 12:10, 28; 14:18) ඇත්තෙන්ම දෙවිගේ බලයේ උපකාරයෙන් ලැබෙන කුමන හෝ දීමනාවකින් යහපත් ප්‍රතිඵල ලැබිය යුතු බව සිතීම තර්කානුකූලයි. එසේනම් පළමු ශතවර්ෂයේදී අන්‍ය භාෂාවලින් කතා කිරීමෙන් එවැනි දෙයක් ඉටු වුණාද?

දෙවිගේ අනුමැතිය තිබුණු බවට ලකුණක්

පළමු සියවසේ කොරින්ති සභාවේ සිටි ඇතැම් ක්‍රිස්තියානීන්ට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ හැකියාව තිබුණා. ඒ දීමනාව ගැන පාවුල් ඔවුන්ට පැවසුවේ මෙයයි. ‘වෙනත් භාෂාවලින් කතා කිරීමේ හැකියාව ලකුණක් ලෙස දී තිබෙන්නේ යේසුස් ගැන විශ්වාසයක් නැති අය වෙනුවෙනි.’ (1 කොරින්ති 14:22) ඒ අනුව බලවත් ක්‍රියා මෙන්ම අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව යෙහෝවා දෙවි එදා සිටි ක්‍රිස්තියානීන්ට ලබා දුන්නේ තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා සියලුදෙනාටම තේරුම්ගැනීම සඳහායි. එය හරියට දෙවිගේ අනුමැතිය තිබෙන සෙනඟ කවුද කියා හඳුනාගැනීමට තිබූ ලකුණක් හා සමාන වුණා.

යේසුස්වත් ඔහුට පෙර සිටි අනාගතවක්තෘවරුන්වත් අන්‍ය භාෂාවලින් කතා කළා කියා බයිබලයේ සඳහන් වන්නේ නැහැ. එසේනම් යේසුස්ගේ අනුගාමිකයන්ට පමණක් එම දීමනාව ලැබුණේ ඇයි?

ශුභාරංචිය ව්‍යාප්ත කිරීම උදෙසා

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ මුලින්ම යුදෙව්වන්ට පමණක් දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දැනුම් දෙන්න කියායි. (මතෙව් 10:6; 15:24) ඒ නිසා ඔවුන් මූලිකවම දේශනා කළේ යුදෙව්වන් සිටි ප්‍රදේශවල පමණයි.

කොහොමවුණත් නැවත නැඟිටීමෙන් පසුව යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ ආඥා කළා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.” එමෙන්ම “පොළොවේ දුර ඈත කෙළවර” දක්වා ගොස් මා ගැන සාක්ෂි දරන්න කියාත් ඔහු ඔවුන්ට පැවසුවා. (මතෙව් 28:19; ක්‍රියා 1:8) එලෙස වෙනත් ප්‍රදේශවලට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නම් යේසුස්ගේ අනුගාමිකයන් හෙබ්‍රෙව් භාෂාවට අමතරව වෙනත් භාෂාද දැන සිටිය යුතු වුණා.

නමුත් යේසුස්ගේ මුල් අනුගාමිකයන් බොහෝදෙනෙක් “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 4:13) එසේනම් ඉතා දුර ඈත ප්‍රදේශවලට ගොස් තමන් කිසි දිනක කතා කර නැති භාෂාවලින් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන්ට හැකි වෙයිද? දෙවිගේ බලයේ උපකාරයෙන් යේසුස්ගේ ඇතැම් අනුගාමිකයන්ට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ හැකියාව ලැබුණු නිසා ඔවුන්ට එම කාර්යය ඉටු කිරීමට හැකි වුණා.

අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව නිසා වැදගත් අරමුණු දෙකක් ඉටු වුණා. පළමු එක නම් දෙවිගේ අනුමැතිය ක්‍රිස්තියානි සභාවට තිබූ බවට එය ලකුණක් වීමයි. දෙවෙනි එක නම් බොහෝදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියා යේසුස් දුන් ආඥාව ඉටු කිරීමට හැකි වීමයි. නමුත් අද දින ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් අන්‍ය භාෂාවලින් කතා කිරීමෙන් ඉහත කී අරමුණු දෙක ඉටු වෙනවාද?

දෙවිගේ අනුමැතිය ඊට තිබෙනවාද?

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන් වෙනත් භාෂාවලින් කතා කළේ අන් අයට ඇසෙන ආකාරයෙනුයි. ඒ නිසා “විශාල සමූහයක්” එතැනට එක් රොක් වූ බවත් ප්‍රතිඵලයක් ලෙස “තුන්දහසක් පමණ දෙනෙක්” ක්‍රිස්තියානීන් බවට පත් වූ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 2:5, 6, 41) නමුත් අද දින අන්‍ය භාෂාවලින් කතා කරන අය එය කරන්නේ ගොඩනැඟිල්ලක් තුළ සිටයි. එය මහජනයාට ලකුණක් වන්නේ කොහොමද?

වේශ්‍යාකම හා “පව්කාර ආශාවන්වලට අනුව ක්‍රියා කරන” අය දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරන බවත් ඔවුන්ට “දෙවිගේ රාජ්‍යය උරුම නොවන” බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගලාති 5:17-21) ඒ නිසා දෙවි හෙළාදකින ක්‍රියාවල නිරත වන අය අන්‍ය භාෂාවලින් කතා කරන විට ඔවුන් එය කරන්නේ දෙවිගේ බලයෙන් කියා පවසන්න බැහැ. ඇත්තෙන්ම එවැනි අය කරන දේවලින් මිනිසුන් නොමඟ යනවා.

ශුභාරංචිය ව්‍යාප්ත කිරීමට එය දායක වෙනවාද?

අද දින අන්‍ය භාෂාවලින් කතා කිරීම ශුභාරංචිය ව්‍යාප්ත වීමට දායක වී තිබෙනවාද? ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ යේසුස්ගේ ගෝලයන් අන්‍ය භාෂාවලින් කතා කළ විට එතැනට පැමිණ සිටි අයට එය හොඳින් තේරුම්ගැනීමට හැකි වුණා. නමුත් අද දින අන්‍ය භාෂාවලින් කතා කරන අය පවසන කිසිම දෙයක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ.

ඒ කරුණු සියල්ලෙන් පැහැදිලි වන්නේ පළමු සියවසේදී යේසුස්ගේ අනුගාමිකයන් අන්‍ය භාෂාවලින් කතා කිරීම සහ අද දින මිනිසුන් අන්‍ය භාෂාවලින් කතා කිරීම අතර විශාල වෙනසක් තිබෙන බවයි. ඇත්තෙන්ම යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණයෙන් පසු කිසිම කෙනෙකුට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව දෙවි ලබා දුන් බවට සාක්ෂි නැහැ. අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව ඇතුළු අනික් සියලුම ‘දීමනා නැති වී’ යෑමට නියමිතව තිබූ බව බයිබලයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. (1 කොරින්ති 13:8) එසේනම් අද දින දෙවිගේ බලයේ මඟ පෙන්වීම තිබෙන්නේ කාටද කියා දැනගැනීමට තිබෙන ලකුණ කුමක්ද?

දෙවිගේ බලය තිබෙන බවට සාක්ෂි

ක්‍රිස්තියානි සභාව පිහිටෙවූ පසු අන්‍ය භාෂාවලින් කතා කිරීමේ දීමනාව නැති වන බව යේසුස් දැන සිටියා. ඒ නිසා ඔහු මිය යෑමට ටික වේලාවකට පෙර ඔහුගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැකි ලකුණ ගැන මෙසේ සඳහන් කළා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.” (යොහන් 13:35) ඒ නිසා අද දින දෙවිගේ අනුමැතිය තිබෙන ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ ඔවුන් අතර ප්‍රේමය තිබෙනවාද යන්න මතයි. ආශ්චර්යවත් දීමනා නැති වී ගියත් ‘ප්‍රේමය නමැති ගුණාංගය සදාතනිකය’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—1 කොරින්ති 13:8.

දෙවිගේ බලය කෙනෙකු තුළ ක්‍රියාත්මක වන විට ඇති වන “ගුණාංග” නවයෙන් මුලින්ම සඳහන් වී තිබෙන්නේද ප්‍රේමය නමැති ගුණාංගයයි. (ගලාති 5:22, 23) ඇත්තෙන්ම දෙවිගේ අනුමැතිය තිබෙන අය එකිනෙකාට සැබවින්ම ප්‍රේම කරනවා. එහි සඳහන් කරන තුන්වන ගුණාංගය වන්නේ සමාදානයයි. වර්තමානයේ දෙවිගේ බලය තිබෙන අය සමාදානය ඇති කිරීමට ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරනවා. ඒ නිසා ඔවුන් තම මතයේම එල්බගෙන සිටින්නේවත් ජාතිවාදී අරගලවලට හවුල් වන්නේවත් සැහැසික ක්‍රියාවල නිරත වන්නේවත් නැහැ.

යේසුස් පැවසූ අනාවැකියක ඔහුගේ අනුගාමිකයන්ට දෙවිගේ බලය ලැබුණු පසු ඔවුන් “පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි” කියා සඳහන් වුණා. (ක්‍රියා 1:8) එම ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම” සිදු වන බවත් ඔහු පැවසුවා. (මතෙව් 28:20) ඒ අනුව ශුභාරංචිය ලොව පුරා ප්‍රකාශ කිරීම දෙවිගේ බලය තිබෙන අයව හඳුනාගැනීමට තිබෙන තවත් ලකුණක් කියා පැවසිය හැකියි.

ඔබ සිතන ආකාරයට දෙවිගේ බලයේ උපකාරය ලැබෙන්නේ කුමන ආගමික කණ්ඩායමටද? සැබෑ ප්‍රේමය නිසාත් සමාදානයෙන් සිටීමට ඇප කැප වී සිටීම නිසාත් අවි අතට ගැනීම ප්‍රතික්ෂේප කරන්නේත් ඒ නිසා පාලකයන්ගේ දරුණු පීඩාවලට ලක් වෙන්නේත් කුමන කණ්ඩායමද? (යෙසායා 2:4) වේශ්‍යාකම වැනි ක්‍රියාවන් ප්‍රතික්ෂේප කරන්නේත් එවැනි ක්‍රියාවල නිරත වන අයව තම සෙනඟ අතරින් ඉවත් කරන්නේත් කුමන කණ්ඩායමද? (1 කොරින්ති 5:11-13) මිනිස් වර්ගයාට ඇති එකම බලාපොරොත්තුව දෙවිගේ රාජ්‍යය බව ලොව පුරාම ප්‍රකාශ කරන්නේ කුමන කණ්ඩායමද?—මතෙව් 24:14.

දෙවිගේ බලයේ මඟ පෙන්වීම ලබන එකම කණ්ඩායම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බව ඉතා පැහැදිලියි. ඔවුන් සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීමට ඔබ උත්සාහ කරනවා නම් ඇත්තෙන්ම ඔවුන්ට දෙවිගේ බලයේ මඟ පෙන්වීම තිබෙනවාද කියා ඔබටම තහවුරු කරගත හැකියි.