Skip to content

පටුනට යන්න

යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද?

යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද?

යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාව නැත්නම් පරමණ්ඩලයේ යාච්ඤාව අද සිටින ක්‍රිස්තියානියයි කියාගන්නා බොහෝදෙනා වැඩියෙන්ම කියන යාච්ඤාව කියා ඇතැමුන් පවසනවා. ඒ කොහොමවුණත් බොහෝ අය එම යාච්ඤාව වරදවා වටහාගෙන තිබෙනවා. මිලියන ගණන් මිනිසුන් සිතන්නේ එම යාච්ඤාව කටපාඩමින් පැවසිය යුතුයි කියායි. නමුත් යේසුස් එම යාච්ඤාව ඉගැන්වූයේ කටපාඩමින් කීමට නොවෙයි. එසේ පැවසීමට හේතුව සලකා බලමු.

යේසුස් එම යාච්ඤාව කියා දීමට කලින් තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. ‘යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් කියන්න එපා.’ (මතෙව් 6:7) ඒ අනුව යේසුස් එම යාච්ඤාව ඉගැන්වූයේ එය කටපාඩමින් පැවසීමට නොවන බව පැහැදිලියි. ඔහු එම යාච්ඤාව කියා දුන්නේ යාච්ඤා කරන විට සඳහන් කළ යුතු මූලික කාරණා මොනවාද කියා පෙන්නුම් කිරීමටයි. දැන් අපි එම යාච්ඤාවේ මූලික කරුණු වෙත අපේ අවධානය යොමු කරමු.—මතෙව් 6:9-13.

ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා!”

ආදර්ශ යාච්ඤාව ආරම්භයේදීම අපි යාච්ඤා කළ යුත්තේ යෙහෝවා දෙවිට බව යේසුස් පෙන්වා දුන්නා. නමුත් දෙවිගේ නාමය ශුද්ධව පවතින ලෙසට අප යාච්ඤා කළ යුත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සතුරා වන යක්ෂයා දෙවිගේ නාමයට නින්දා කර තිබෙනවා. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම ඔහු පැවසුවේ දෙවි බොරු කියන කෙනෙක් බවයි. එමෙන්ම දෙවි ආත්මාර්ථකාමී පාලකයෙක් කියාත් මිනිසුන්ව පාලනය කිරීමට දෙවිට කිසිම අයිතියක් නැහැ කියාත් යක්ෂයා පැවසුවා. (උත්පත්ති 3:1-6) ඔහු පැවසූ එම බොරුවලට රැවටී සිටින අය දෙවිව දකින්නේ ආත්මාර්ථකාමී මෙන්ම කුරිරු කෙනෙක් ලෙසයි. එමෙන්ම මුළු විශ්වයේම නිර්මාතෘ දෙවි බවත් එවැනි මිනිසුන් පිළිගන්නේ නැහැ. ඇතැම් අය දෙවිගේ නාමය භාවිත කිරීම තහනම් කරමින් එය බයිබලයෙන්ද ඉවත් කර තිබෙනවා.

කොහොමවුණත් තම නාමයට වී තිබෙන කැළැල දෙවි නැති කර දමන බව බයිබලයේ සඳහන් වෙනවා. (එසකියෙල් 39:7) ඒ සඳහා දෙවි තම රාජ්‍යය යොදාගැනීමට නියමිතයි.

“ඔබග් රාජ්‍යය පැමිණේවා!”

දෙවිගේ රාජ්‍යය ගැන අද සිටින ආගමික නායකයන් විවිධ අදහස් දරනවා. කොහොමවුණත් ඒ රාජ්‍යය ගැනත් එහි රජු යේසුස් ක්‍රිස්තුස් බවත් බයිබලයේ පැහැදිලිව පෙන්නුම් කර තිබෙනවා. එමෙන්ම ඒ රාජ්‍යය යටතේ පොළොවේ විශාල වෙනස්කම් සිදු වීමට නියමිත බවත් එහි සඳහන් වෙනවා. (යෙසායා 9:6, 7; දානියෙල් 2:44) යක්ෂයාවත් ඔහුගේ සියලුම දුෂ්ට ක්‍රියාවනුත් නැති කර දැමීමෙන් දෙවිගේ නාමයට සිදු වී තිබෙන කැළැල එම රාජ්‍යය ඉවත් කරනු ලබනවා. යුද්ධ, අසනීප, සාගත පමණක් නොව මරණයත් සහමුලින්ම නැති කර දමන්නේ දෙවිගේ රාජ්‍යයයි. (ගීතාවලිය 46:9; 72:12-16; යෙසායා 25:8; 33:24) එමනිසා ඔබ දෙවිගේ රාජ්‍යය පැමිණේවා කියා යාච්ඤා කරනවා නම් ඔබ දෙවිගේ රාජ්‍යය මගින් මිනිස් වර්ගයාට ලැබීමට නියමිත ආශීර්වාද සැබෑ වෙන ලෙසට දෙවිගෙන් ඉල්ලනවා කියා පැවසිය හැකියි.

“ඔබග් කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!”

යෙහෝවා දෙවිගේ කැමැත්ත ස්වර්ගයේ ඉටු වී තිබෙනවා හා සමානව පොළොවේද ඉටු වීමට නියමිතයි. උදාහරණයකට යක්ෂයාවත් ඔහුගේ පැත්ත ගත් දුෂ්ට දූතයන්වත් යේසුස් ස්වර්ගයෙන් පන්නා දැමූ බව බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 12:9-12) අප මෙතෙක් සලකා බැලූ ආදර්ශ යාච්ඤාවේ මුල් කරුණු කිහිපයෙන් පැහැදිලි වන්නේ අපි යාච්ඤා කරන විට අපේ කැමැත්තට වඩා දෙවිගේ කැමැත්තට අදාළ කරුණුවලට ප්‍රමුඛ තැනක් දිය යුතු බවයි. ඇත්තෙන්ම මුළු මිනිස් වර්ගයාටම යහපතක් සිදු වන්නේ දෙවිගේ කැමැත්ත ඉටු වීමෙන් පමණයි. “සිදු විය යුත්තේ මා කැමති දේ නොව ඔබේ කැමැත්තයි” කියා යේසුස් පවා යාච්ඤා කළේ ඒ නිසයි.—ලූක් 22:42.

දිනපතා අපට අවශ්‍ය ආහාර අපට ලබා දෙන්න.”

අපගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන්ද දෙවිට යාච්ඤා කළ හැකියි. අපි එසේ කරනවා නම් අපි ඉන් පෙන්වන්නේ “සියලුදෙනාටම ජීවිතයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ” යෙහෝවා දෙවි කියා අපි පිළිගන්නා බවයි. (ක්‍රියා 17:25) ඇත්තෙන්ම බයිබලයේ යෙහෝවා දෙවිව විස්තර කර තිබෙන්නේ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට ආශාවෙන් බලා සිටින ප්‍රේමණීය පියෙක් ලෙසයි. සාමාන්‍යයෙන් දරුවෙක් ඉල්ලා සිටින දෙයක් නිසා ඒ දරුවාට හානියක් විය හැකි නම් කිසිම පියෙක් දරුවා ඉල්ලා සිටින ඒ දේ ලබා දෙන්නේ නැහැ. ඒ හා සමානව අපිත් අපිටම හානියක් විය හැකි දෙයක් ඉල්ලා දෙවිට යාච්ඤා කළොත් අපේම යහපත වෙනුවෙන් දෙවි එය ඉටු කරන්නේ නැහැ.

“අප් වැරදිවලටද අපට සමාව දෙන්න.”

අද සිටින බොහෝ අයට පාපය ගැන පැහැදිලි අවබෝධයක් නැති අතර ඔවුන් පාපය ගැන ඉතා ලිහිල් ආකල්පයක් දරනවා. නමුත් අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලට සහ මරණයට හේතුව පාපය බව බයිබලයේ පෙන්වා තිබෙනවා. අපි සියලුදෙනාම උපතින්ම පව්කාර ස්වභාවය උරුම කරගෙන සිටින නිසා අපි කවුරු අතිනුත් වැරදි සිදු වෙනවා. ඒ නිසා අපිට සදාකාල ජීවනය ලැබෙන්නේ යෙහෝවා දෙවි අපේ පව්වලට සමාව ලබා දුන්නොත් පමණයි. (රෝම 3:23; 5:12; 6:23) ඇත්තෙන්ම යෙහෝවා දෙවි “සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්” වීම මොන තරම් සහනයක්ද!—ගීතාවලිය 86:5.

දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න.”

‘දුෂ්ටයා’ හෙවත් යක්ෂයා නිතරම උත්සාහ කරන්නේ අපව යෙහෝවා දෙවිගෙන් ඈත් කරන්නයි. මේ දක්වා තම අණසක යටතේ පවතින මිනිස් සමාජය යක්ෂයා දූෂිත තත්වයකට පත් කර තිබෙනවා හා සමානව ඔබවත් ඉතා දූෂිත තත්වයකට ඇද දැමීමට ඔහු මාන බලනවා. (1 පේතෘස් 5:8) ඒ නිසා අපට නිතරම යෙහෝවා දෙවිගේ රැකවරණය අවශ්‍යයි. යක්ෂයාට වඩා බලවත් යෙහෝවා දෙවි තම සේවකයන්ව යක්ෂයාගෙන් ආරක්ෂා කිරීමට කැමැත්තෙන් සිටිනවා. නමුත් අද සිටින බොහෝ අය යක්ෂයෙක් ඇත්තටම සිටින බව විශ්වාස කරන්නේ නැහැ. කොහොමවුණත් යක්ෂයා යනු සැබෑ පුද්ගලයෙක් බව යේසුස් දැන සිටියා. ඔහු යක්ෂයාව “මේ ලෝකයේ පාලකයා” ලෙස හැඳින්වූයේ ඒ නිසයි.—යොහන් 12:31; 16:11.

යේසුස් ඉගැන්වූ ආදර්ශ යාච්ඤාවෙන් අප සලකා බැලුවේ යාච්ඤා කළ හැකි කරුණු කිහිපයක් ගැන පමණයි. නමුත් අපට තව බොහෝ දේ ගැන යාච්ඤා කිරීමට නිදහස තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.” (1 යොහන් 5:14) එමනිසා ඔබේ ප්‍රශ්න ගැටලු ගැන දෙවිට යාච්ඤා කළ හැකි බව අමතක කරන්න එපා.—1 පේතෘස් 5:7.

නමුත් අපට ඕනෑම තැනක, ඕනෑම වේලාවකදී දෙවිට යාච්ඤා කළ හැකිද?