Skip to content

පටුනට යන්න

අපට උපකාර කරන සහ හානි කරන නොපෙනෙන අය

අපට උපකාර කරන සහ හානි කරන නොපෙනෙන අය

යේසුස්ගෙන් ඉගෙනගනිමු

අපට උපකාර කරන සහ හානි කරන නොපෙනෙන අය

“ලෝකය පවතින්න කලින්” සිටම යෙහෝවා දෙවි සමඟ යේසුස් ස්වර්ගයේ සිටියා. (යොහන් 17:5) එමනිසා යේසුස් පැවසූ දේවල් ඇසුරෙන් අපි පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සලකා බලමු.

දේවදූතයන් දෙවිගේ සේවකයන් ගැන සැලකිලිමත්ද?

▪ දේවදූතයන් දෙවිගේ සේවකයන් ගැන ඉතා සැලකිලිමත් බව යේසුස් දැන සිටියා. ‘පසුතැවිලි වන එක් පව්කාරයෙකු ගැන දෙවිගේ දූතයන් ප්‍රීති වෙනවා’ කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—ලූක් 15:10.

දෙවි සමඟ කිට්ටු බැඳීමක් පවත්වාගැනීම සඳහා දෙවිගේ සේවකයන්ට උපකාර කිරීමේ වගකීම යෙහෝවා දෙවි දේවදූතයන්ට පවරා තිබෙනවා. යේසුස් මෙවැනි දෙයක් පැවසුවේ ඒ නිසයි. “මේ කුඩා අයගෙන් එක් කෙනෙකුවත් සුළු කොට නොසැලකිය යුතු බව මතක තබාගන්න. මන්ද ඔවුන්ව රැකබලා ගන්නා ස්වර්ගයෙහි සිටින ඔවුන්ගේ දේවදූතයන් නිතරම සිටින්නේ ස්වර්ගයේ සිටින මගේ පියාණන්ගේ මුහුණ ඉදිරියෙහියි.” (මතෙව් 18:10) යේසුස් ඉන් අදහස් කළේ දෙවිගේ එක් එක් සේවකයාව රැකබලා ගැනීමට දෙවි රැකවල් දේවදූතයන්ව පත් කර තිබෙන බව නොවෙයි. ඒ වෙනුවට ඔහු ඉන් අදහස් කළේ දේවදූතයන් දෙවිගේ සේවකයන් ගැන ඉතා සැලකිලිමත් බවයි.

යක්ෂයා අපට හානි කරන්නේ කෙසේද?

▪ ඒ ගැන යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා. “යමෙක් රාජ්‍යය පිළිබඳ පණිවිඩය ඇසුවත් එහි නියම අර්ථය වටහාගන්නේ නැත්නම් දුෂ්ටයා ඇවිත් ඔහුගේ සිතේ වපුරා තිබූ දේ උදුරාගනියි.” (මතෙව් 13:19) යේසුස් පෙන්නුම් කළේ යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීමෙන් අපව වළක්වන්න යක්ෂයා දැඩි වෑයමක් දරන බවයි.

යක්ෂයා අපව නොමඟ යවන එක් ආකාරයක් පෙන්නුම් කිරීමට කෙතේ තිරිඟු වැපුරූ මිනිසෙකු ගැන යේසුස් උපමාවක් පැවසුවා. ඒ මිනිසාගෙන් නියෝජනය වන්නේ යේසුස්වයි. තිරිඟුවලින් නියෝජනය වන්නේ සැබෑ ක්‍රිස්තියානීන්වයි. කොහොමවුණත් සතුරෙක් ඇවිත් “තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියා” කියා යේසුස් පැවසුවා. කිරිඳිවලින් සංකේතවත් වන්නේ දෙවිගේ මඟ පෙන්වීම් නොසලකාහරින ක්‍රිස්තියානියයි කියාගන්නා අයවයි. සතුරාගෙන් නියෝජනය වන්නේ යක්ෂයාවයි. (මතෙව් 13:25, 39) කිරිඳි පැළ වැඩෙන කාලයේදී ඒවා බොහෝදුරට තිරිඟු පැළවලට සමානකමක් දක්වනවා. ඒ හා සමානව ක්‍රිස්තියානියයි කියාගන්නා අයත් සැබෑ ක්‍රිස්තියානීන් ලෙස පෙනී සිටීමට උත්සාහ කරනවා. එවැනි ව්‍යාජ ක්‍රිස්තියානි ආගම් මාර්ගයෙන් මිනිසුන්ව නොමඟ යවා දෙවිගෙන් ඔවුන්ව ඈත් කිරීමට යක්ෂයා උත්සාහ කරනවා.

යක්ෂයාගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?

▪ යේසුස්, යක්ෂයාව හැඳින්වූයේ “ලෝකයේ පාලකයා” ලෙසයි. (යොහන් 14:30) එමනිසා යෙහෝවා දෙවිට යාච්ඤා කළ අවස්ථාවක තම අනුගාමිකයන්ව ‘දුෂ්ටයාගේ බලපෑමෙන් ආරක්ෂා කරන්න’ කියා ඔහු ඉල්ලා සිටියා. ඒ යාච්ඤාවේදී ඔහු මෙසේද පැවසුවා. “මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා. ඔබ පවසන දේ සත්‍යයයි.” (යොහන් 17:15-17) ඒ අනුව යක්ෂයාගේ අණසක යටතේ පවතින දුෂ්ට මිනිස් සමාජයෙන් ආරක්ෂා විය හැක්කේ දෙවි පවසන දේ සැලකිල්ලට ගැනීමෙනුයි. ඒ සඳහා දෙවිගේ වචනය වන බයිබලය අධ්‍යයනය කිරීම ඉතා වැදගත්.

දේවදූතයන් අද දින කරමින් සිටින්නේ කුමක්ද?

▪ ‘මේ සමාජයේ අවසානයේදී දේවදූතයන් ඇවිත් ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කරනවා’ කියා යේසුස් පැවසුවා. (මතෙව් 13:49) අපි දැන් ජීවත් වෙන්නේ “සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” තුළයි. ඇත්තෙන්ම ලොව පුරා සිටින මිලියන ගණන් මිනිසුන් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වමින් සිටිනවා.—මතෙව් 24:3, 14.

කොහොමවුණත් බයිබලය අධ්‍යයනය කරන සියලුදෙනාටම දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැහැ. දේවදූතයන් අද දින යෙහෝවා දෙවිගේ සේවකයන්ට මඟ පෙන්වමින් සිටින නිසා දෙවිගේ ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්නේ නැති අයගෙන් දෙවිට ප්‍රේම කරන අයව වෙන් කරනු ලබනවා. යේසුස් පැවසූ ලෙස දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ ‘අවංක මෙන්ම යහපත් සිතකින් පණිවිඩය අසා, එය සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරන අයටයි.’—ලූක් 8:15.

වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොතේ 10වන පරිච්ඡේදය බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

දෙවිට ප්‍රේම කරන අයව සොයාගැනීමට දේවදූතයන් මඟ පෙන්වනවා