Skip to content

පටුනට යන්න

අපි අයත්ව සිටිය යුත්තේ කුමන ආගමටද?

අපි අයත්ව සිටිය යුත්තේ කුමන ආගමටද?

පාඨකයන් අසයි

අපි අයත්ව සිටිය යුත්තේ කුමන ආගමටද?

▪ පූජකයන් ඇතුළු බැතිමතුන් අතින් සිදු වන වැරදි නිසා යම් ආගමකට අයත්ව සිටීමට ඔබ තුළ බියක් තිබෙනවාද? එසේනම් “දේවස්ථානයට ළං වී සිටින කෙනා බොහෝවිට දෙවිගෙන් දුරස්ව සිටිනවා” යන ප්‍රංශ කියමන සත්‍යයක් බවට ඔබත් එකඟ වෙයි.

සමහරවිට ඔබ බයිබලයට ගරු කරන කෙනෙක් විය හැකියි. එමෙන්ම ආගමික නිදහසට සියලුදෙනාම ගරු කළ යුතුයි කියාත් ඔබ සිතනවා ඇති. නමුත් ‘දෙවිට පිළිගත හැකි ආකාරයෙන් නමස්කාර කිරීමට නම් ඔබ ආගමකට අයත්ව සිටිය යුතුද?’

එම ප්‍රශ්නයට ඔව් කියා පිළිතුරු දිය හැකියි. එයට හේතුව කුමක්ද? අපි කුමන ආගමකට අයත්ව සිටියත් අපට දෙවිගේ අනුමැතිය ලැබෙනවාද?

මදකට යේසුස් පිළිබඳව සලකා බලන්න. බාල වියේ සිටියදී ඔහු තම දෙමාපියන් සමඟ යෙරුසලමේ පිහිටි දේවමාලිගාවට ගොස් දෙවිට නමස්කාර කළා. (ලූක් 2:41-43) වැඩිහිටියෙක් වූ පසු ඔහු එවකට තිබූ සිනගෝග ලෙස හැඳින්වූ ශාලාවලට ගොස් වෙනත් යුදෙව්වන් සමඟ දෙවිට නමස්කාර කළා. (ලූක් 4:14-16) තවත් අවස්ථාවක ඔහු වෙනත් ආගමකට අයත් ස්ත්‍රියක් සමඟ කතා කරමින් සිටියදී “අපේ නමස්කාරය පදනම් වී තිබෙන්නේ නිවැරදි අවබෝධය මතයි” කියා පැවසුවා. (යොහන් 4:22) ඒ සියල්ලෙන් පැහැදිලි වන්නේ යේසුස්ද යම් ආගමකට අයත්ව සිටි බවයි. ඒ යුදෙව් ආගමයි.

කොහොමවුණත් පසු කාලයේදී යුදෙව්වන් ජාතියක් ලෙස තමාව ප්‍රතික්ෂේප කළ නිසා දෙවි ඔවුන්ගේ දූෂිත නමස්කාරය ප්‍රතික්ෂේප කරන බව යේසුස් පැවසුවා. (මතෙව් 23:33–24:2) ඒ වුණත් දෙවිගේ අනුමැතිය ලැබෙන ආගමක් තිබෙන බව යේසුස් සඳහන් කළා. එය හඳුනාගත හැක්කේ ප්‍රේමය නමැති ගුණාංගයෙනුයි. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියා ඔහු තම අනුගාමිකයන්ට පැවසුවේ ඒ නිසයි. (යොහන් 13:35) එලෙස එකිනෙකාට ප්‍රේම කිරීමට නම් යේසුස්ගේ අනුගාමිකයන් එකිනෙකාව කිට්ටුවෙන් ඇසුරු කිරීම අත්‍යවශ්‍ය වුණා. සැබෑ ආගම කුමක්ද කියා හඳුනාගැනීම සඳහා යේසුස් මාර්ග දෙකක් ගැන මෙසේ පැවසුවා. ‘පටු දොරටුවෙන් ඇතුල් වෙන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.’—මතෙව් 7:13, 14.

අපි අයත්ව සිටිය යුත්තේ දෙවිගේ අනුමැතිය ලැබෙන සැබෑ ආගමට පමණක් බව ඉන් පැහැදිලියි. දෙවිගේ අනුමැතිය නැති ආගම්වලට අයත්ව සිටීම ගැන බයිබලයේ මෙවැනි අනතුරු ඇඟවීමක් දී තිබෙන්නේ ඒ නිසයි. “මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය. එවැනි අයගෙන් අහක්ව සිටින්න.” (2 තිමෝති 3:5) නමුත් ජීවනයට මඟ පෙන්වන සැබෑ ආගමට අයත්ව සිටීමෙන් එකිනෙකාගෙන් දිරිගැන්වීම් ලැබීමටත් අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වෙනවා.—හෙබ්‍රෙව් 10:24, 25.

කොහොමවුණත් ජීවනය සඳහා මඟ පෙන්වන සැබෑ ආගම කුමක්ද කියා ඔබට හඳුනාගත හැක්කේ කෙසේද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * නමැති පොතේ 15වන පරිච්ඡේදය ඒ සඳහා ඔබට උපකාරවත් වේවි. එහි සඳහන් තොරතුරු සලකා බැලීමෙන් සැබෑ ආගම කුමක්ද කියා ඔබට පැහැදිලි වෙයි.

[පාදසටහන]

^ 9 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.