Skip to content

පටුනට යන්න

ඔබව අන් අය සමඟ සසඳන්න එපා

ඔබව අන් අය සමඟ සසඳන්න එපා

2

ඔබව අන් අය සමඟ සසඳන්න එපා

බයිබලයේ සඳහන් දෙය. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

අභියෝගය. බොහෝ අවස්ථාවලදී අපි අන් අය සමඟ අපව සසඳනවා. ඇතැම් අවස්ථාවලදී එතරම් දක්ෂතා නැති සහ ධන සම්පත් නැති අය සමඟත් තවත් අවස්ථාවලදී අපට වඩා දක්ෂ මෙන්ම ධන සම්පත් ඇති අය සමඟත් අපි අපවම සසඳනවා. නමුත් එය සුදුසුද? නැහැ. එසේ කිරීමෙන් අපි අඟවන්නේ පුද්ගලයෙකුගේ වටිනාකම තීරණය කිරීමට ඔහු සතු දේවල් සහ දක්ෂතා බලපාන බවයි. එලෙස කටයුතු කිරීමෙන් අප තුළ ඊර්ෂ්‍යාව සහ තරඟකාරී ස්වභාවයක් ඇති වීමට ඉඩ තිබෙනවා.—දේශනාකාරයා 4:4.

කළ හැකි දෙය. දෙවිට ඔබ ගැන හැඟෙන ආකාරය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.” (1 සාමුවෙල් 16:7) යෙහෝවා දෙවි ඔබව වටිනා කෙනෙක්ද නැද්ද කියා තීරණය කරන්නේ ඔබව අන් අය සමඟ සැසඳීමෙන් නොව ඔබේ සිතුවිලි, හැඟීම් සහ චේතනා සැලකිල්ලට ගැනීමෙනුයි. (හෙබ්‍රෙව් 4:12, 13) ඒ නිසා ඇත්තටම ඔබ වටිනා කෙනෙක්ද කියා තීරණය කළ යුත්තේ දෙවිට ඔබ ගැන හැඟෙන ආකාරය අනුවයි. දෙවි ඔබේ සීමාවන් ගැන හොඳින්ම දන්නා අතර ඔබත් ඔබේ සීමාවන් තේරුම්ගෙන කටයුතු කරයි කියා ඔහු බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබ අන් අය සමඟ ඔබව සසඳනවා නම් උඩඟු ලෙස කටයුතු කිරීමට හෝ ඔබේ කිසිම වටිනාකමක් නැහැ කියා සිතීමට හෝ පෙලඹිය හැකියි. ඒ නිසා ඔබට සෑම අංශයකින්ම දක්ෂයෙක් විය නොහැකි බව නිහතමානීව පිළිගන්න.—හිතෝපදේශ 11:2.

දෙවි ඉදිරියේ වටිනා කෙනෙකු වීමට නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ. සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.” (මීකා 6:8) ඔබ එලෙස කටයුතු කරනවා නම් දෙවි ඔබ ගැන සැලකිලිමත් වෙන බවට නිසැක විය හැකියි. (1 පේතෘස් 5:6, 7) තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් සෑහීමට පත් වී සිටීමට එය ඔබට මහඟු උපකාරයක් වේවි.

[5වන පිටුවේ පින්තූරය]

දෙවි ඔබව වටිනා කෙනෙක් ලෙස සලකන්නේ ඔබේ සිතුවිලි, හැඟීම් සහ චේතනා අනුවයි