Skip to content

පටුනට යන්න

දුර ඈත කෙළවරටම ගමන් කරමින්

දුර ඈත කෙළවරටම ගමන් කරමින්

පළමු සියවසෙන් බිඳක්

දුර ඈත කෙළවරටම ගමන් කරමින්

“පසුවදා ඔහු බානබස් සමඟ දර්බය බලා පිටත්ව ගියේය. ඔවුන් ඒ නුවරෙහි දේශනා කළ විට සෑහෙන පිරිසක් යේසුස්ගේ ගෝලයන් බවට පත් වූහ. ඉන්පසු ඔවුහු ලිස්ත්‍රාවටද ඉකෝනියටද අන්තියෝකියටද නැවත ගියෝය.”—ක්‍රියා 14:20, 21.

වෙහෙසකර ගමනකින් පසු ගිමන් නිවාගත් මඟියෙක් අලුයම අවදි වී යළිත් ඔහුගේ වෙහෙසකර ගමන ඇරඹීමට සූදානම් වෙයි.

හිමිදිරි උදෑසනින්ම ඔලිව්වතු හා මිදිවතු පසු කරමින් දූවිලි පිරුණු පාරවල් දිගේ ඔහු ඉදිරියටම ගමන් කරනවා. අතරමඟදී වගාබිම් වෙත යන ගොවීන්ව, වෙළෙඳුන්ව සහ යෙරුසලමට යන මිනිසුන්ව ඔහුට මුණගැසෙනවා. මෙසේ තමන්ට මුණගැසෙන අයට දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය පැවසීමට ඔහු අමතක කරන්නේ නැහැ. ඔහුගේ එකම අරමුණ ‘පොළොවේ දුර ඈත කෙළවරටම’ ගොස් තමා ගැන සාක්ෂි දරන්න කියා යේසුස් දුන් අණ ඉටු කිරීමයි.—ක්‍රියා 1:8.

එම මඟියා පළමු සියවසේදී ශුභාරංචිය දේශනා කිරීමට වෙහෙසුණු පාවුල්, බානබස් හෝ වෙනත් ක්‍රිස්තියානියෙක් විය හැකියි. (ක්‍රියා 14:19-26; 15:22) එසේ දුර ඈත ප්‍රදේශවලට ගිය ගමන්වලදී ඒ ක්‍රිස්තියානීන් නොයෙක් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. උදාහරණයකට ‘අවස්ථා තුනකදී තමා ගමන්ගත් නැව මුහුදුබත් වූ බවත් ගැඹුරු මුහුදේ මුළු රැයකුත් දවාලකුත් ගත කළ බවත්’ පාවුල් පැවසුවා. මුහුදු ගමන් පමණක් නොව ගොඩබිමෙන් ගමන්බිමන් යෑමත් පහසු දෙයක් වුණේ නැහැ. පාළු පෙදෙස් හරහා යන විට මංකොල්ලකරුවන්ට හසු වූ බව පාවුල් පැවසුවේ ඒ නිසයි.—2 කොරින්ති 11:25-27.

පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් දුර බැහැර ගමන්බිමන් යන විට කුමන තත්වයන්ට මුහුණ දෙන්න ඇද්ද? දවසක් ඇතුළත ඔවුන් කොපමණ දුරක් පයින් ගමන් කරන්න ඇද්ද? කුමන දේවල් රැගෙන යන්න ඇද්ද? එමෙන්ම ඔවුන් කුමන ස්ථානවල රාත්‍රිය ගත කළා විය හැකිද?

ගොඩබිමෙන් ගමන් යෑම පළමු සියවසේදී රෝම අධිරාජ්‍යය ප්‍රධාන නගර යා කරමින් ඉතා හොඳ මාර්ග පද්ධතියක් ඉදි කර තිබුණා. ගල් අතුරමින් ඔවුන් ඉදි කළ ඇතැම් පාරවල් අඩි 15ක් පමණ පළලින් යුක්ත වූ අතර ඒවායේ කල් පැවැත්ම සඳහා පාර දෙපස කුඩා ගල් බැමිද සාදා තිබුණා. එවැනි මාර්ගවල සැතපුම් කණු පවා තිබීම විශේෂ දෙයක්. එවැනි මාර්ගයක් දිගේ කෙනෙකුට දිනකට කිලෝමීටර් 32ක පමණ දුරක් පයින් ගමන් කිරීමට හැකියාව තිබුණා.

නමුත් පලස්තීනයේ තිබුණේ ඉතා අනාරක්ෂිත මාර්ගයි. තණ බිම් හරහා වැටී තිබුණු ඇතැම් මාර්ගවලට ආරක්ෂිත වැටක් තිබුණේ නැහැ. එමෙන්ම එක් පසෙකින් හෙළක් පිහිටා තිබුණු මාර්ගවලද ආරක්ෂිත වැටක් තිබුණේ නැහැ. එවැනි මාර්ගවල ගමන් ගත් මඟීන්ට රුදුරු වනසතුන්ගේ හෝ මංකොල්ලකරුවන්ගේ ගොදුරක් වීමේ අවදානමටත් මාර්ග අවහිරතාවලටත් මුහුණ දීමට සිදු වුණා.

එලෙස දුර බැහැර ගමන් කරන කෙනෙක් රැගෙන ගියේ මොනවාද? (1) ආරක්ෂාව සඳහා සැරයටියක්, (2) මෙට්ටයක්, (3) මුදල් පසුම්බියක්, (4) අමතර පාවහන් යුගළක්, (5) ආහාර මල්ලක්, (6) ඇඳුම් කිහිපයක්, (7) සම්වලින් සෑදූ ඇකිළිය හැකි පනිට්ටුවක්, (8) වතුර ගෙන යෑම සඳහා සම් භාජනයක් සහ (9) කරේ එල්ලාගෙන යා හැකි මල්ලක් වැනි දේවල් රැගෙන යන්න ඇති.

ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දුර ඈත ගිය ක්‍රිස්තියානීන්ට අතරමඟදී වෙළෙඳුන්ව හමු වෙන්න ඇති. ඒ වෙළෙඳුන් බොහෝවිට ඔවුන්ගේ භාණ්ඩ රැගෙන ගියේ බූරුවන් පිටයි. කඳු බෑවුම් දිගේ බර උසුලාගෙන යෑමට බූරුවන්ට සුවිශේෂ හැකියාවක් තිබෙනවා. වාර්තා වන ආකාරයට උපරිම බරක් උසුලාගෙන බූරුවෙකුට දිනකට කිලෝමීටර් 80ක් පමණ ගමන් කළ හැකියි. හරකුන්ට ඊට වඩා බර ඇදගෙන යෑමට හැකියාව තිබුණත් උන්ව බොහෝවිට යොදාගත්තේ කෙටි දුර ගමන් සඳහායි. සාමාන්‍යයෙන් ගොන් කරත්තයක් දිනකට කිලෝමීටර් අටත් විස්සත් අතර දුරක් ගමන් කරනවා. ඊට අමතරව දුර ඈත බලා ගමන් කරන ක්‍රිස්තියානියෙකුට දස දෙසින් රැගෙන ආ වෙළඳ භාණ්ඩ ඔටුවන් පිට තබාගෙන යන තවලම්කරුවන්වද හමු වෙන්න ඇති. එපමණක්ද නොව රාජ්‍ය නියෝග රැගෙන අශ්වයෙකු පිට වේගයෙන් ගමන් කරන පණිවිඩකරුවන්වද මුණගැසෙන්න ඇති.

අඳුර වැටුණු විට මඟීන් පාර දෙපස කූඩාරම් සාදාගෙන ඒවායේ රාත්‍රිය ගත කළා. තවත් අය තවලම්පොළවල රාත්‍රිය ගත කරන්න ඇති. එවැනි තවලම්පොළක මැද මිදුලක් තිබුණු අතර නවාතැන් කාමරත් සාදා තිබුණා. ඒත් එම තවලම්පොළවල් ඉතා අපිරිසිදු වූ අතර සොරසතුරන්ද එහි පැමිණියා. එමනිසා ශුභාරංචිය දේශනා කිරීමට දුර ඈත ගිය අය හැකි සෑම අවස්ථාවකම නවාතැන් ගත්තේ තම ඥාතියෙකුගේ හෝ සෙසු ක්‍රිස්තියානියෙකුගේ නිවසකයි.—ක්‍රියා 17:7; රෝම 12:13.

මුහුදෙන් ගමන් යෑම නොගැඹුරු මුහුදු තීරයේ මෙන්ම ගලීල මුහුදේ භාණ්ඩ සහ මඟීන් ප්‍රවාහණයට ඔරු යොදාගනු ලැබුවා. (යොහන් 6:1, 2, 16, 17, 22-24) නමුත් මධ්‍යධරණී මුහුද වැනි ගැඹුරු මුහුදුවල ප්‍රවාහණ කටයුතු සඳහා යොදාගත්තේ නැව්. එවැනි නැව් වෙනත් ප්‍රදේශවලින් රෝම අධිරාජ්‍යයට ආහාර රැගෙන ආ අතර රාජ්‍ය නිලධාරීන් පවා ප්‍රවාහණ මාධ්‍යයක් ලෙස නැව් යොදාගත්තා. එමෙන්ම තොරතුරු දැනුම් දීමටත් මුහුදු මාර්ග යොදාගනු ලැබුවා.

නැවියන් තම ගමන් මඟ ස්ථිර කරගැනීම සඳහා දහවල් කාලයේදී යම් මංසලකුණු ගැනත් රාත්‍රියේදී තරුවල පිහිටීම ගැනත් සෝදිසි කළා. මුහුදු ගමන්වලට සුදුසුම කාලය වුණේ මැයි සහ සැප්තැම්බර් අතර කාලයයි. එසේවුවත් චණ්ඩ මාරුත නිසා නැව් මුහුදුබත් වීමේ විශාල අවදානමක් තිබුණා.—ක්‍රියා 27:39-44; 2 කොරින්ති 11:25.

නැව්වලින් ගමන්ගත් මඟීන් නිදාගත්තේ සහ ආහාර ගත්තේ නැවේ නිරාවරණය වී තිබූ ඉහළ තට්ටුවේ සිටයි. නැවේ පහත මහලේ ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙනත් වටිනා දේවල් තබා තිබුණා. මඟීන් තමුන්ගේ ආහාර රැගෙන ආ යුතු වූ අතර ඔවුන්ට බීමට ජලය පමණක් සපයනු ලැබුවා. සමහර අවස්ථාවලදී දින ගණන් පවතින අයහපත් කාලගුණ තත්වයන් නිසා මඟීන් අසනීප ඇතුළු බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.

ගොඩබිමෙන් සහ මුහුදෙන් ගමන්බිමන් යෑමේදී මොන තරම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වුණත් පාවුල් වැනි අය ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ එවකට හඳුනාගෙන තිබූ ලොව සියලුම ප්‍රදේශවලට ව්‍යාප්ත කළා. (මතෙව් 24:14) තමා ගැන සාක්ෂි දරන්න කියා යේසුස් පවසා වසර 30ක් ඇතුළත ශුභාරංචිය “අහස්තලය යට ජීවත් වන මුළු මිනිස් වර්ගයා අතර දේශනා කරනු ලැබූ” බව පාවුල්ට පැවසීමට හැකි වුණේ ඒ නිසයි.—කොලොස්සි 1:23.