Skip to content

පටුනට යන්න

තනි වූ මව්වරුන් සහ පියවරුන් ගැන සැලකිලිමත් වෙමු

තනි වූ මව්වරුන් සහ පියවරුන් ගැන සැලකිලිමත් වෙමු

තනි වූ මව්වරුන් සහ පියවරුන් ගැන සැලකිලිමත් වෙමු

දරුවන් සමඟ තනි වී සිටින මව්වරුන්ගේ හෝ පියවරුන්ගේ ජීවිත ඉතා කාර්යබහුලයි. පවුලේ වගකීම් තනිවම ඉටු කිරීම ඔවුන්ට මහත් අභියෝගයක්. රැකියාවක් කරනවාට අමතරව නිවසට අවශ්‍ය දේවල් මිල දී ගැනීම, ආහාර පිසීම, ගේදොර පිරිසිදු කිරීම, රෙදි සේදීම, දරුවන්ගේ ශරීර සෞඛ්‍යය ඇතුළු ඔවුන්ගේ අනිකුත් අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වීම වැනි කාර්යයන්වල නියැලීමට ඔවුන්ට සිදු වෙනවා. එවැනි දහසකුත් වැඩ රාජකාරි අතරේ විවේකයක් ගැනීමටවත් ඔවුන්ට කාලය නැති තරම්.

අද සමාජයේ දරුවන් සමඟ තනි වූ මව්වරුන් හෝ පියවරුන් කොතරම් සිටියත් බොහෝ අය ඔවුන් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එක් මවක් ඒ ගැන මෙසේ පැවසුවා. “දරුවන් එක්ක තනි වූ අය ගැන කොයි තරම් සැලකිලිමත් වෙන්න ඕනෙද කියලා මට තේරුණේ මමත් දරුවන් එක්ක තනි වුණාට පස්සෙයි. ඊට කලින් මමත් ඒ වගේ අය ගැන සැලකිලිමත් වුණේ නැහැ.” දරුවන් සමඟ තනි වූ අය වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්ද? ඔබ ඔවුන් ගැන සැලකිලිමත් විය යුතුද? එවැනි අය ගැන සැලකිලිමත් විය යුතු හේතු තුනක් දැන් අපි සලකා බලමු.

සැලකිලිමත් විය යුතු හේතු

ඔවුන්ට උපකාර අවශ්‍යයි. “මට ඉටු කරන්න වගකීම් හුඟක් තියෙන නිසා සමහර අවස්ථාවලදී මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ” කියා දරුවන් දෙදෙනෙකු සමඟ තනි වූ 41වන වියේ පසු වන මවක් පැවසුවා. ඇත්තෙන්ම එවැනි අයට අපේ උපකාරය බෙහෙවින් අවශ්‍යයි. එක් මවක් පැවසූ මේ වදන්වලින් එය තේරුම්ගන්න පුළුවන්. “අපිට අනික් අයගේ උපකාර ඕනෙ. අපිට ඒක හුඟක් වටිනවා.”

ඔබට සතුටක් ලැබෙනවා. තනිවම ඉසිලිය නොහැකි බරක් ඉසිලීම සඳහා ඔබ කවරෙකුට හෝ උපකාර කර තිබෙනවාද? එසේනම් ඔබ ඉන් සතුටක් ලැබූ බවට කිසිම සැකයක් නැහැ. ඒ හා සමානව දරුවන් සමඟ තනි වූ අයටත් විශාල බරක් තනිවම උසුලාගෙන යෑමට සිදු වෙනවා. එවැනි අයට උපකාර කිරීමෙන් ඔබට මහත් සතුටක් අද්දැකිය හැකියි. “අසරණයා ගැන සැලකිලිමත් වන තැනැත්තා සන්තෝෂවත්ය” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි.—ගීතාවලිය 41:1.

දෙවි සතුටට පත් වෙනවා. අසරණ තත්වයක සිටින මව්වරුන්ව සහ පියවරුන්ව රැකබලා ගන්න කියා දෙවි අපෙන් ඉල්ලා සිටිනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙයයි. ‘අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන් හා වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතුයි.’ (යාකොබ් 1:27) එමෙන්ම බයිබලයේ මෙවැනි දෙයක්ද සඳහන් වෙනවා. “යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.”—හෙබ්‍රෙව් 13:16.

දරුවන් සමඟ තනි වූ අයට උපකාර කළ යුත්තේ ඇයි කියා අපි ඉහත සලකා බැලූ කරුණු තුනෙන් පැහැදිලි වුණා. නමුත් එවැනි අයට උපකාර කළ හැක්කේ කෙසේද?

ඔවුන්ගේ අවශ්‍යතා හඳුනාගන්න

“මගෙන් උදව්වක් ඕනෙද” කියා එවැනි අයගෙන් ඇසීමට අපි පෙලඹිය හැකියි. නමුත් එසේ ඇසූ පමණින් ඒ අය තම අවශ්‍යතා ගැන පැවසීමට පෙලඹෙන්නේ නැහැ. අපි කලින් සලකා බැලූ බයිබල් පදයේ සඳහන් වන්නේ ‘අසරණයා ගැන සැලකිලිමත් වන්න’ කියායි. (ගීතාවලිය 41:1) අන් අය ගැන සැලකිලිමත් කෙනෙක් එවැනි අයගේ අවශ්‍යතා මොනවාද කියා සොයා බලා ඒවා ඉටු කර දීමට උත්සාහ කරනවා.

එසේ කිරීමට නම් ඔබ මුලින්ම ඔවුන් අද්දකින දුෂ්කරතා මොනවාද කියා තේරුම්ගත යුතුයි. ‘ඒ වගේ තත්වයකට මම මුහුණ දුන්නොත් මට මොන වගේ උපකාර අවශ්‍ය වෙයිද’ කියා ඔබගෙන්ම අසාගන්න. සමහරවිට ඔබ කොතරම් උත්සාහ කළත් ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා ඒ ආකාරයෙන්ම තේරුම්ගැනීම පහසු දෙයක් නොවෙයි. නමුත් ඔවුන් මුහුණ දෙන තත්වය තේරුම්ගන්න ඔබ වෑයම් කරනවා නම් ඔවුන් ගැන ‘සැලකිලිමත් වීමට’ ඔබට හැකි වෙනවා.

දෙවිගේ ආදර්ශය සැලකිල්ලට ගන්න

දරුවන් සමඟ තනි වූ අයට සැලකිල්ල දැක්වීම අතින් විශිෂ්ටතම ආදර්ශය තබා තිබෙන්නේ යෙහෝවා දෙවියි. වැන්දඹුවන් සහ පියා නැති දරුවන් ගැන බයිබලයේ සඳහන් වී තිබෙන තොරතුරුවලින් එය හොඳින් පැහැදිලි වෙනවා. එවැනි අය ගැන දෙවි සැලකිල්ල දක්වා තිබෙන ආකාරය සලකා බැලීමෙන් ඔවුන්ට උපකාර කළ හැකි පැති මොනවාද කියා තේරුම්ගත හැකියි. ඒ පිළිබඳ කරුණු හතරක් ගැන අපි දැන් සලකා බලමු.

හොඳින් ඇහුම්කන් දෙන්න

අසරණ තත්වයේ සිටින අයගේ “කන්නලව්වලට මම අනිවාර්යයෙන්ම සවන් දෙන්නෙමි” කියා යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවා. (නික්මයාම 22:22, 23) ඒ හා සමානව දරුවන් සමඟ තනි වී සිටින අය ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන විට ඔවුන්ට හොඳින් සවන් දෙන්න ඔබටත් හැකිද? තනි වී සිටින අයට තමන් සමඟ කතා කිරීමට කෙනෙක් නැති අඩුව තදින් දැනෙනවා. ඒ ගැන එක් මවක් මෙසේ පැවසුවා. “දරුවන් නින්දට ගියාට පස්සේ සමහර වෙලාවට මම හොඳටම අඬනවා. මට දැනෙන තනිකම කියලා නිම කරන්න බැහැ.” එවැනි තත්වයක සිටින අයට ඔබ හොඳින් සවන් දෙනවා නම් දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා එය ඔවුන්ට විශාල ශක්තියක් විය හැකියි.

දිරිගන්වන වදන් පවසන්න

නමස්කාර කටයුතුවල හවුල් වන විට ගායනා කිරීම සඳහා විවිධ ගීතිකා රචනා කිරීමට යෙහෝවා දෙවි පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා. එවැනි ඇතැම් ගීතිකාවල යෙහෝවා දෙවිව පියා නැති දරුවන්ට ‘පියෙක්’ සහ වැන්දඹුවන්ට ‘විනිශ්චයකරුවෙක්’ ලෙස හඳුන්වා තිබෙනවා. (ගීතාවලිය 68:5; 146:9) එවැනි වදන් ඇතුළත් ගීතිකා ගැයීමෙන් තනි වී සිටි අය මොන තරම් සහනයක් අද්දකින්න ඇද්ද! ඒ හා සමානව දිරිගැන්වෙන වදන් පැවසීමෙන් තනි වී සිටින මව්වරුන්ව සහ පියවරුන්ව සනසවන්න අපටත් හැකියි. අවුරුදු 20ක් පුරා වැන්දඹුවක්ව සිටින එක් මවක් මෙසේ පැවසුවා. “‘ඔයාගේ පුතුන් දෙන්නව හදාගන්න ඔයා දරන උත්සාහය හුඟක් වටිනවා. දිගටම ඒ දේ කරන්න’ කියලා අද්දැකීම් ලත් පියෙක් මට කිව්වා. ඒ වදන් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වදන්වලින් මම ලොකු දිරිගැන්වීමක් ලැබුවා.” ඇත්තෙන්ම අපි පවසන දිරිගැන්වෙන වදන්වලින් තනි වී සිටින අය අප සිතනවාටත් වඩා දිරිගැන්වෙනවා. “මුදු මොළොක් වදන් දිවි රුකක්” හා සමානයි කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 15:4, නව අනුවාදය) එසේනම් තනි වී සිටින අය ගැන කල්පනා කර බලා ඔවුන්ව අගය කිරීම සඳහා පැවසිය හැකි දේවල් මොනවාද කියා සිතන්න ඔබට හැකිද?

අවශ්‍ය දේවල් ලබා දෙන්න

වැන්දඹුවන්ට සහ පියා නැති දරුවන්ට තම එදිනෙදා ආහාර සපයාගත හැකි ආකාරය ගැන පැහැදිලි මඟ පෙන්වීම් යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ ඇතුළත් කළා. ඒ නිසා අසරණ අයට ‘කා බී තෘප්තිමත්ව’ සිටීමට හැකි වුණා. (ද්විතීය කතාව 24:19-21; 26:12, 13) දරුවන් සමඟ තනි වී සිටින අයට අවශ්‍ය දේවල් ලබා දීමෙන් ඔවුන්ට උපකාර කරන්න අපටත් හැකියි. උදාහරණයකට ආහාර පාන ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතා පිරිමසාගත හැකි වෙනත් දේවල් ඇතුළත් බඩු මල්ලක් ඔවුන්ට ලබා දිය හැකිද? ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට ලබා දිය හැකි සුදුසු තත්වයක තිබෙන ඇඳුම් පැළඳුම් ඔබ සතුව තිබෙනවාද? එසේත් නැත්නම් මුදලින් ඔවුන්ට උපකාර කිරීමට ඔබට හැකිද? එවැනි උපකාර පිරිනැමීමේදී ඔවුන්ගේ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එය කිරීමටද වගබලා ගත යුතුයි.

ඔවුන්ව ඇසුරු කරන්න

ඊශ්‍රායෙල්වරුන් වාර්ෂිකව පැවැත්වූ උත්සවවලට වැන්දඹුවන්ව සහ පියා නැති දරුවන්ව හවුල් කරවාගන්න කියා යෙහෝවා දෙවි ඔවුන්ට ආඥා කළා. ඔහු එසේ ආඥා කළේ එවැනි අයට ප්‍රීති වීම සඳහා අවස්ථාව සලසා දීමටයි. එවැනි උත්සවවලදී ‘ප්‍රීතියෙන් ඉපිල යන්න’ කියා දෙවි ඔවුන්ට පැවසුවා. (ද්විතීය කතාව 16:10-15) ඒ හා සමානව “එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න” කියා යෙහෝවා දෙවි පවසා තිබෙන දේ ඉටු කිරීමෙන් තනි වී සිටින අයට ප්‍රීති වීම සඳහා අවස්ථාවන් උදා කර දීමට අපටත් හැකියි. (1 පේතෘස් 4:9) එවැනි අයව ආහාර වේලක් සඳහා ඔබේ නිවසට ආරාධනා කරන්න ඔබට හැකිද? ඒ සඳහා විශාල වියදමක් දැරිය යුතු නැහැ. යේසුස් තම මිතුරන්ගේ නිවසකට ගිය අවස්ථාවකදී ඔවුන් ඔහු වෙනුවෙන් ආහාර පිළියෙල කරන බව දැනගත් විට ඔවුන්ට මෙසේ පැවසුවා. “බොහෝ දේවල් අවශ්‍ය නැහැ. ඇත්තටම එක දෙයක් තිබුණත් ඇති.”—ලූක් 10:42.

ඔබේ සැලකිල්ල ඔවුන් අගය කරයි

“කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ලැබිලා තියෙන දේවල් අගය කරන්න” කියන උපදෙස තමන්ට කිසි දිනක අමතක වෙන්නේ නැහැ කියා දරුවන් තිදෙනෙකුව තනිවම හදා වඩා ගත් එක් මවක් පැවසුවා. ඒ මව මෙන් දරුවන් සමඟ තනි වූ අය දරුවන්ව හදා වඩා ගැනීමේ සම්පූර්ණ වගකීම තමන් සතු දෙයක් බව වටහාගෙන තිබෙනවා. තමන් ඉටු කළ යුතු වගකීම් අන් අය ඉටු කරයි කියා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොමවුණත් ඒ වගකීම් ඉටු කිරීම සඳහා ඔබේ සහයෝගය ඔවුන් බෙහෙවින් අගය කරනවා. ඔබ එවැනි අය ගැන සැලකිලිමත් වෙනවා නම් එයින් ඔබට සන්තෝෂය මෙන්ම දෙවිගේ ආශීර්වාදද අද්දැකිය හැකියි.—හිතෝපදේශ 19:17.

[24වන පිටුවේ පින්තූරය]

කල් නොදමා ඔවුන්ව ආහාර වේලක් සඳහා ආරාධනා කිරීමට ඔබට හැකිද?