Skip to content

පටුනට යන්න

පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?

පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?

පාඨකයන් අසයි

පාරාදීසය තිබෙන්නේ ස්වර්ගයේද පොළොවේද?

▪ යේසුස්ගේ වධකණුව අසලින් ඇණ ගසා සිටි අපරාධකරුවාට ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’ කියා යේසුස් පැවසුවා. (ලූක් 23:43) යේසුස් සඳහන් කළ එම පාරාදීසය තිබෙන්නේ කොහේද? ස්වර්ගයේද නැත්නම් පොළොවේද?

අපේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒව ජීවත් වුණේ මේ පොළොවේ තිබූ පාරාදීසයකයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි උයනක් සාදා තමා සෑදූ මිනිසාව එහි තැබුවේය. උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.’ (උත්පත්ති 2:8, 15) එම බයිබල් වගන්තිවල සඳහන් “උයන” යන වචනය සඳහා භාවිත වූ ග්‍රීක වචනය වන්නේ පරාදෙයිසොස් යන්නයි. එහි අර්ථය “පාරාදීසයයි.”

යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළව ඒදන් උයනේ පදිංචි කළ පසු “මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න” කියා ආඥා කළා. (උත්පත්ති 1:28) එමනිසා දරුවන් බිහි කරමින් මේ මුළු පොළොවම ඒදන් උයන හා සමාන තත්වයකට ගෙන ඒමේ වගකීම ඔවුන් සතු වුණා.

ඉන් පැහැදිලි වන්නේ මිනිසුන් මේ පොළොව පාරාදීසයක් බවට පත් කර එහි සදාකාලයටම ජීවත් වීම දෙවිගේ අරමුණ වූ බවයි. මිනිසුන්ට සන්තෝෂයෙන් ජීවත් වීම සඳහා යෙහෝවා දෙවි නිර්මාණය කළ නිවහන මේ පොළොවයි. පොළොවේ ඇති සුන්දරත්වයට අපේ සිත නිරායාසයෙන්ම ඇදී යන්නේ අලංකාර පොළොවක ජීවත් වීම සඳහා දෙවි අපව නිර්මාණය කළ නිසයි.

ආදම් සහ ඒව දෙවිට අකීකරු වුණත් මේ පොළොව පාරාදීසයක් කිරීම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි තම අරමුණ වෙනස් කළේ නැහැ. ඔහු යම් දෙයක් අරමුණු කළ විට එය අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.” (යෙසායා 55:11) එමෙන්ම බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. යෙහෝවා දෙවි “පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය.” (යෙසායා 45:18) එසේනම් යෙහෝවා දෙවි නැවතත් මේ පොළොව පාරාදීසයක් වීමට සලස්වන බව ස්ථිරයි.

බයිබලයේ බොහෝ අවස්ථාවලදී පාරාදීසයක් ගැන සඳහන් කරන විට එයින් යොමු දක්වන්නේ පොළොවේ තිබෙන්න යන තත්වයකටයි. උදාහරණයකට පාරාදීසයේදී මිනිසුන් ‘ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන බවත් මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින බවත්’ බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 65:21) ගෙවල් ගොඩනැඟීමටත් මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳීමටත් හැකි වන්නේ මේ පොළොව පාරාදීසයක් වුණොත් පමණයි. “පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි” කියා බයිබලයේ සඳහන් දෙයින්ද එය තහවුරු වෙනවා.—හිතෝපදේශ 2:21.

කොහොමවුණත් ස්වර්ගයේ ජීවත් වීම සඳහා ඉතා සීමිත පිරිසක්ව පොළොවෙන් තෝරාගනු ලබන බව බයිබලයේ පෙන්වා තිබෙනවා. (ලූක් 12:32) ඔවුන් මිය ගිය පසු ස්වර්ගයේ ජීවත් වීම සඳහා යෙහෝවා දෙවි ඔවුන්ව නැවත නැඟිටුවනු ලබන අතර එහිදී ඔවුන් යේසුස් සමඟ හවුල් වී, මේ පොළොව පාලනය කිරීමට නියමිතයි. (එළිදරව් 5:10; 14:1-3) ඒ කාලයේදී පාරාදීස පොළොවේ සෑම දෙයක්ම දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව සිදු වෙනවාද කියාත් ඔවුන් ස්වර්ගයේ සිට සොයා බලනවා. ඇත්තෙන්ම ඔවුන් ස්වර්ගයේදී අද්දකින්නේ පාරාදීසයක් බඳු ප්‍රීතිමත් තත්වයක්.

යෙහෝවා දෙවි ඒදන් උයන නිර්මාණය කළ අවස්ථාවේ යේසුස්ද ඔහු සමඟ සිටි නිසා මේ පොළොව පාරාදීසයක් කිරීමට දෙවි අරමුණු කළ බව යේසුස් දැන සිටියා. යෙහෝවා දෙවි හා යේසුස් කෙරෙහි විශ්වාසයක් තිබෙන අයට අනාගතයේදී පාරාදීස පොළොවේ ජීවත් වීමට ප්‍රස්තාව ලැබෙනවා. (යොහන් 3:16) එවැනි අයට ‘ඔබ මා සමඟ පාරාදීසයේ සිටිනවා’ කියා යේසුස් පැවසූ වදන්වල සත්‍යතාව අද්දැකිය හැකියි.—ලූක් 23:43.

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© FORGET Patrick/​SAGAPHOTO.COM/​Alamy