Skip to content

පටුනට යන්න

‘ඔහු දෙවිගේ අනුමැතිය දිනාගත්තා’

‘ඔහු දෙවිගේ අනුමැතිය දිනාගත්තා’

දෙවිට ළං වෙන්න

‘ඔහු දෙවිගේ අනුමැතිය දිනාගත්තා’

“මම කිසි කමකට නැති කෙනෙක්.” එසේ පැවසුවේ කුඩා අවදියේදී යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති ගැන ඉගෙනගත්තත් පසු කලෙක ඒ අනුව ජීවත් නොවුණු කෙනෙක්. තමන් කරමින් සිටි වැරදි දේවල් අත්හැර යහමඟට එන්න උත්සාහ කළත් දෙවිගෙන් කිසිදාක සමාව නොලැබෙයි කියා ඔහු සිතුවා. ඒත් අතීතයේ සිටි මනස්සේ රජුට දෙවි සමාව දුන් ආකාරය ගැන කියවීමෙන් ඔහු විශාල සහනයක් ලැබුවා. (2 ලේකම් 33:1-17) ඔබේ අතින් සිදු වී තිබෙන වැරදි ක්‍රියාවන් නිසා ඔබටත් එසේ හැඟෙනවා නම් මනස්සේ රජුගේ සිද්ධිය සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වෙයි.

මනස්සේ හැදී වැඩුණේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වූ දෙමාපියන් යටතෙයි. ඔහුගේ පියා වූ හෙසකියා යූදා දේශය පාලනය කළ රජවරුන් අතරින් දෙවිට විශ්වාසවන්තව සිටි රජෙක්. එක් අවස්ථාවකදී හෙසකියා රජු මරණාසන්නව සිටි විට දෙවි ආශ්චර්යවත් ලෙස ඔහුගේ ආයු කාලය දික් කළා. (2 රාජාවලිය 20:1-11) මනස්සේ ඉපදුණේ ඉන් වසර තුනකට පසුවයි. යෙහෝවා දෙවි එදා හෙසකියා රජුට තව අවුරුදු කිහිපයක් ජීවත් වීමට ඉඩ නොදුන්නා නම් මනස්සේට මෙලොව එළිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හෙසකියා රජු මනස්සේව යෙහෝවා දෙවිගෙන් ලැබුණු උරුමයක් ලෙස සලකා ඔහුට දෙවිගේ නීති ප්‍රතිපත්ති ගැන කියා දෙන්න ඇති. නමුත් දෙමාපියන් තම දරුවන්ව දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට පුහුණු කළත් සමහර දරුවන් පසු කලෙක දෙවිගෙන් ඈත් වීමට ඉඩ තිබෙනවා. මනස්සේට සිදු වුණෙත් එයයි.

හෙසකියා මිය යන විට මනස්සේට වයස අවුරුදු 12ක් පමණ වන්න ඇති. ඉන්පසු රජකමට පත් වූ මනස්සේ ‘යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කරන්න පටන්ගත්තා.’ (2 ලේකම් 33:1, 2) බොරු දෙවිවරුන්ට පූජාසන ඉදි කළ ඔහු, තම පුතුන්ව දෙවිවරුන්ට පූජා කරමින් අමානුෂික ලෙස ක්‍රියා කළා. එමෙන්ම ඔහු මායා බන්ධන ක්‍රියාවලත් මන්තර ගුරුකම්වලත් නියැලුණා. නමස්කාරය සඳහා යෙහෝවා දෙවිගේ ගෘහය තුළම ඔහු රූපයක් තැබුවා. දෙවි ඔහුට කොතරම් අවවාද කළත් ඔහු ඒවා ගණනකට ගත්තේ නැහැ.—2 ලේකම් 33:3-10.

ඒ නිසා විලංගු දමා මනස්සේ රජුව බැබිලෝනියට ගෙන යන්න දෙවි ඉඩහැරියා. එහි වහල්භාවයේ සිටියදී තමා කළ වැරදි ගැන හිතන්න ඔහුට අවස්ථාව ලැබුණා. ඔහු වන්දනාමාන කළ රූපවලට ඔහුව ආරක්ෂා කිරීමට නොහැකි වූ නිසා ඒවා මොන තරම් නිෂ්ඵලද කියා ඔහුට හැඟුණාද? තම පියාගෙන් ලැබුණු උපදෙස් ඔහුගේ මතකයට නැඟුණාද? ඒ ගැන අපි හරියටම දන්නේ නැහැ. නමුත් ඔහු යහමඟට පැමිණීමට උත්සාහ කළ බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. ‘මනස්සේ රජ යෙහෝවා දෙවි ඉදිරියේ යටහත් වී ඔහුගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කළා. ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළා.’ (2 ලේකම් 33:12, 13) නමුත් ඉතා බරපතළ පව් කළ මනස්සේ රජුට දෙවි සමාව දෙයිද?

මනස්සේ රජ සමාව ඉල්ලා දෙවිට කන්නලව් කළ නිසා දෙවි ඔහුට සමාව දී නැවතත් ඔහුව ‘යෙරුසලමෙහි රජු ලෙස පත් කළා.’ (2 ලේකම් 33:13) ඒ නිසා මනස්සේ රජ බොරු දෙවිවරුන් වෙනුවෙන් ඉදි කර තිබූ පූජාසන සහ රූප සියල්ල විනාශ කර දමා ‘යෙහෝවා දෙවිට නමස්කාර කරන්න’ කියා යූදා වැසියන්ටත් උනන්දු කළා. ඔහු තම වැරදි ගැන අවංකව පසුතැවිලි වූ බව ඉන් පැහැදිලියි.—2 ලේකම් 33:15-17.

ඔබ කර තිබෙන පව්වලට දෙවිගෙන් සමාව නොලැබෙයි කියා හැඟෙනවා නම් මනස්සේ රජුට දෙවි සමාව දුන් ආකාරය ගැන සිතන්න. එය බයිබලයට ඇතුළත් කර තිබෙන්නේ යෙහෝවා දෙවි විසින්මයි. (රෝම 15:4) ඒ අනුව තමන් “සමාව දීමට කැමති” කෙනෙකු බව යෙහෝවා දෙවිම අපට හෙළි කර තිබෙනවා. (ගීතාවලිය 86:5) ඔහු අවධානය දෙන්නේ කෙනෙක් කර තිබෙන පව්වලට නොව ඒ පුද්ගලයාගේ සිතේ තිබෙන දේවලටයි. යම් කෙනෙක් බරපතළ පව් කර තිබුණත් ඔහු ඒ ගැන දෙවිගෙන් සමාව ඉල්ලා නැවතත් එය නොකිරීමට දැඩි උත්සාහයක් ගන්නවා නම් මනස්සේට මෙන් ඔහුටත් දෙවිගේ අනුමැතිය දිනාගැනීමට හැකි වෙයි.—යෙසායා 1:18; 55:6, 7.

ජනවාරි මාසයට නියමිත බයිබල් කියවීම

2 ලේකම් 29-36 සිට එස්රා 1-10 දක්වා