Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවාද?

යේසුස් එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.” (මතෙව් 9:12) ඔහු එසේ පැවසීමෙන් පැහැදිලි වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම බයිබලයට පටහැනි නොවන බවයි. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පසුබට වන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරමින් වැඩි කාලයක් ජීවත් වෙන්න සාක්ෂිකරුවන් කැමතියි. ඇත්තෙන්ම පළමුවෙනි සියවසේ සිටි යේසුස්ගේ ගෝලයෙක් වූ ලූක් මෙන් සාක්ෂිකරුවන් අතරත් වෛද්‍යවරුන් ලෙස සේවය කරන අය සිටිනවා.—කොලොස්සි 4:14.

නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි ප්‍රතිකාර ලබාගන්නේ නැහැ. උදාහරණයකට රුධිරය ශරීරගත කිරීම බයිබලයට පටහැනි දෙයක් නිසා ඔවුන් රුධිරය ලබාගන්නේ නැහැ. (උත්පත්ති 9:4; ලෙවී කතාව 17:1-14; ක්‍රියා 15:28, 29) එමෙන්ම ‘මන්තර ගුරුකම්වලට’ සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමවලින්ද ඔවුන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා.—යෙසායා 1:13; ගලාති 5:19-21.

බොහෝ වෛද්‍ය විශේෂඥයන් බයිබලයේ ඇති ප්‍රතිපත්තිවලට පටහැනි නොවන ප්‍රතිකාර ලබා දෙනවා. සාක්ෂිකරුවන් ලබාගන්නා එවැනි ප්‍රතිකාර ඇත්තෙන්ම බයිබලයට පටහැනි ප්‍රතිකාරවලට වඩා ඉතා සාර්ථකයි.

ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විවිධ අදහස් දැරිය හැකියි. සමහරවිට එක් රෝගියෙකුට හොඳ ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර ක්‍රමයක් තවත් රෝගියෙකුට සාර්ථක නොවෙන්න ඉඩ තිබෙනවා. එමනිසා රෝගය ඉතා නිවැරදිව හඳුනාගැනීම සඳහා හෝ සාර්ථක ප්‍රතිකාර ලබාගැනීම සඳහා වෙනත් වෛද්‍යවරුන්ගෙන්ද උපදෙස් ලබාගැනීම සුදුසුයි.—හිතෝපදේශ 14:15.

සෑම සාක්ෂිකරුවෙක්ම එකම විදිහේ ප්‍රතිකාර ක්‍රම තෝරාගන්නේ නැහැ. ඊට හේතුව බයිබලයට පටහැනි නොවන ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී එක් එක් කෙනාට බයිබල් ප්‍රතිපත්ති අනුව පුහුණු කර තිබෙන තම හෘදය සාක්ෂියට එකඟව තේරීමක් කිරීමට නිදහස තිබීමයි. (රෝම 14:2-4) එමනිසා සාක්ෂිකරුවන් ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී ඒ ගැන හොඳින් සිතා බලා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව පුහුණු කර තිබෙන තම හෘදය සාක්ෂියට එය එකඟද කියා සහතික කරගත යුතුයි.—ගලාති 6:5; හෙබ්‍රෙව් 5:14.

කොයිම අවස්ථාවකවත් ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී සාක්ෂිකරුවන් ඉක්මන් වන්නේ නැහැ. එය තේරුම්ගැනීමට මෙසේ සිතන්න. වාහනයක් පදවාගෙන යන රියදුරෙක් ඉදිරියෙන් හතරමං හන්දියක් තිබෙනවා දුටු විට ඔහු කරන්නේ කුමක්ද? ඉදිරියෙන් යන වාහනයක වේගයට සමාන වේගයෙන් තම වාහනය පදවමින් ඉදිරියට යයිද? නැහැ. තමා එසේ කළොත් ලොකු අනතුරක් වීමට ඉඩකඩ තිබෙන බව ඔහු දන්නවා. එමනිසා ඔහු සැලකිලිමත් රියැදුරෙක් ලෙස තම වාහනයේ වේගය අඩාළ කරමින් ආරක්ෂාසහිතව තම ගමන් මඟට පිවිසෙනවා. ඒ හා සමානව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමේදී ඉක්මන් වී හෝ වැඩිදෙනෙක් කරන නිසා ඒවා ලබාගන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන් ගැනීමට යන ප්‍රතිකාර ක්‍රම ගැන හොඳින් සිතා බලා ඒවා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟද කියා සොයා බලනවා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන නොමද සහයෝගය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බොහෝ සෙයින් අගය කරනවා. එවැනි අයගේ සහයෝගය නිසා රෝගී තත්වයන්ගෙන් යම් සහනයක් ලබාගැනීමට සාක්ෂිකරුවන්ට හැකි වී තිබෙනවා.