Skip to content

පටුනට යන්න

බාධක මැද ඉදිරියට යන සෙනඟක්

බාධක මැද ඉදිරියට යන සෙනඟක්

බාධක මැද ඉදිරියට යන සෙනඟක්

ගිම්හානය එළඹෙනවාත් සමඟම සොබා සෞන්දර්යයට ඇලුම් කරන රුසියානුවන් නිවාඩුව ගත කිරීම සඳහා ගස්වැල්වලින් ගහන පිටිසර පළාත්වලට යෑම සාමාන්‍ය දෙයක්. වෙහෙසකර නාගරික ජීවිතයෙන් මද විරාමයක් ගැනීමට එය ඔවුන්ට කදිම අවස්ථාවක්. ගෙවී ගිය වසර කිහිපය තුළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ගිම්හාන කාලයේදී එසේ පිටිසරබද පළාත්වලට ගොස් තිබෙනවා. නමුත් ඒ නිවාඩුවක් ගත කිරීමට නම් නොවෙයි. ඒ කුමක් සඳහාද කියා අපි දැන් බලමු.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ නමස්කාරයේ එක් අංගයක් වන සමුළු පැවැත්වීමට රුසියාවේ සිටින සාක්ෂිකරුවන් කල් වේලා ඇතුව ස්ථාන වෙන් කර තිබුණත් ඇතැම් අවස්ථාවලදී ඕතඩොක්ස් පූජකයන්ගේ හා බලධාරීන්ගේ බලපෑම නිසා ඒවා නොලැබී ගොස් තිබෙනවා. එවැනි අවස්ථාවල ඔවුන් සමුළු පැවැත්වීම සඳහා පිටිසරබද පිහිටි “වගාබිම්වලට” හෝ “වනාන්තරවලට” යනවා. වර්ෂ 2007 සිට 2009 දක්වා කාලය අතරතුරදී ඔවුන් ප්‍රදේශ 25ක එවැනි සමුළු 40ක් පමණ පවත්වා තිබෙනවා.

වසර ගණනාවක් පුරා රුසියාවේ පැවැත්වූ සමුළුවලට සහභාගි වුණු එක් සාක්ෂිකරුවෙක් මෙසේ පැවසුවා. “අපි ක්‍රීඩාංගන හා වෙනත් ශාලා කුලියට අරන් අපේ සමුළු පවත්වන අවස්ථාවලදී සාමාන්‍ය මිනිසුන්ට වගේම බලධාරීන්ට අපේ පිළිවෙළ හා පිරිසිදුකම හැබැහින්ම දකින්න ලැබුණා. ඒකෙන් අපේ සංවිධානය මොන වගේ එකක්ද කියලා ඔවුන්ට හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන් වුණා. ඒත් දැන් නම් අපි සමුළු පවත්වන්නේ කැලෑවල නිසා අපිව දකින්න ලැබෙන්නේ සතුන්ට විතරයි. විවිධ ජාතීන්වලට හා පසුබිම්වලට අයත් අය එක්ව යෙහෝවා දෙවිට නමස්කාර කරන ආකාරය දැකගන්න පොදු ජනයාට අවස්ථාව අහිමි වීම ඇත්තෙන්ම කනගාටුදායකයි!”

තවත් සාක්ෂිකරුවෙක් මෙවැනි දෙයක් පැවසුවා. “ඕනෑම අභියෝගයකට සාක්ෂිකරුවන් මුහුණ දෙන විදිහ හා ඔවුන්ගේ විශ්වාසය හා කැපවීම මෙවැනි අවස්ථාවක දැකීමට ලැබීම ඇත්තෙන්ම සතුටට හේතුවක්. ඒත් සමුළු පවත්වන්න වෙන් කරගත්ත තැන් නැති වුණාම ඒක අපිට ලොකු පීඩනයක්. මනා පිළිවෙළක් ඇතුව දෙවිට නමස්කාර කරන්න අපිට තියෙන නිදහස ඒකෙන් සීමා වෙනවා.”

රුසියාව සිසාරා පැවැත්වූ සමුළු

සමුළු පැවැත්වීමට වෙන් කරගත් ස්ථාන නොලැබී යාම නිසා සමුළු සංවිධානය කරන අයට දින කිහිපයක් ඇතුළතදී දහස් ගණනකට රැස් විය හැකි ස්ථාන සැලසුම් කිරීමට සිදු වී තිබෙනවා. උදාහරණයකට 2008දී චෙබොක්සාරිවල සාක්ෂිකරුවන් එවැනි දෙයකට මුහුණ දුන්නා. එමනිසා ඔවුන්ට සමුළුව පවත්වන්න සිද්ධ වුණේ බර්ච් ගස්වලින් වට වූ භූමි ප්‍රදේශයකයි. වොල්ගා ගඟ ගලා යන්නෙත් ඒ අසලින්මයි. ඒ සමුළුව සංවිධානය කිරීම එතරම් ලෙහෙසි කාර්යයක් වුණේ නැහැ. මන්ද එම සමුළුවට 1,930දෙනෙකුගේ පමණ පැමිණීම අපේක්ෂා කළ අතර ඉන් 1,700කට එම භූමි ප්‍රදේශයේම නවාතැන් පහසුකම් සැපයිය යුතු වුණා. වැසිකිළි පහසුකම්ද උණු වතුර සහිත නාන කාමරද විදුලියද ආහාරද ලබා දිය යුතු වුණා.

ඒ කාර්යය සාර්ථක කරගැනීමට සාක්ෂිකරුවන් 350දෙනෙක් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට ඉදිරිපත් වුණා. ඔවුන් අතර විදුලි කාර්මිකයන්, ජල නළ කාර්මිකයන් හා වඩුවන් සිටියා. ඒ අතරින් 14දෙනෙක් දින දහයක් පුරා එම ස්ථානයේම නතර වී වැඩ කළා. එක පිරිසක් ලී ඉරමින් කණු සිටුවමින් කූඩාරම්, නාන කාමර සහ වැසිකිළි තැනුවා. තවත් පිරිසක් අවශ්‍ය දේවල් මිල දී ගැනීමට විටින් විට නගරයට ගියා. ආහාර ගබඩා කිරීමට කිසිම පහසුකමක් නොතිබූ නිසා පැමිණෙන අයට අවශ්‍ය හැම ආහාර වේලක්ම එම ස්ථානයේම පිළියෙල කිරීමට සැලසුම් යෙදුවා. කෑම පිළියෙල කිරීම සඳහා යම් අයව ගෙන්වාගැනීමට එම භූමි ප්‍රදේශය භාරව සිටි බලධාරීන් කටයුතු කළා. සමුළුවට පැමිණි අයගෙන් 500දෙනෙක් කූඩාරම් රැගෙන පැමිණියා. තවත් 150දෙනෙක් ඒ අවටින් ගෙවල් කුලියට ගත්තා. තවත් 15දෙනෙක් නිදාගත්තේ මඩුවක තිබුණු පිදුරු ගොඩක් මතයි. ඉතුරු අය සහෝදරයන් ඉදි කළ කුඩා කූඩාරම්වල නතර වුණා.

සමුළුව ආරම්භ කළ දවසේ වර්ණවත් ප්ලාස්ටික් පුටු පිළිවෙළට තබා තිබූ ආකාරය දෙසට සමුළුවට පැමිණි අයගේ නෙත් ඇදී ගියා. ඉදිරියෙන්ම රුසියානු භාෂාවෙන් හා චූවාෂ් භාෂාවෙන් කතා ඉදිරිපත් කිරීම සඳහා වේදිකා දෙකක් සාදා තිබුණා. මේ සමුළුව සාර්ථක කරගැනීමට සියලුදෙනාගෙන්ම ලැබුණු නොමද සහයෝගය හැමෝම පාහේ අගය කළා. කෑම පිළියෙල කිරීම සඳහා ගෙන්වාගනු ලැබූ කෙනෙක් ඒ ගැන මෙසේ පැවසුවා. “මම මගේ ඇස් දෙකෙන්ම දැක්කේ නැත්නම් මේ තරම් විනීත, කාර්යක්ෂම මිනිසුන් ඉන්න සංවිධානයක් තියෙනවා කියලා මම විශ්වාස කරන එකක් නැහැ.” සමහර අය මෙම සමුළුව සමාන කළේ පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් පැවැත්වූ පැල් උත්සවයටයි.

රුසියාවේ තවත් ප්‍රදේශවල සමුළු පැවැත්වීම සඳහා වෙන් කරගත් ස්ථාන අවසන් මොහොතේ නොලැබීම නිසා එක් දවසක් ඇතුළත සියලුම දේවල් සැලසුම් කිරීමට සහෝදරයන්ට සිදු වුණා. නිෂ්නි නොව්ගොරොද් නගරයේ සිටි සාක්ෂිකරුවන්ද එවැනි දෙයකට මුහුණ දුන්නා. එමනිසා සමුළු පැවැත්වීමට ඔවුන් පෞද්ගලික ඉඩමක් ලබාගත්තා. ඉන්පසු එම ඉඩමේ ගස් කපා එය එළි පෙහෙළි කරන්නත් පළිබෝධ නාශක ඉස කෘමීන්ව පලවාහරින්නත් ඔවුන් දිවා රෑ නොබලා වෙහෙසුණා. සිකුරාදා උදෑසනින්ම සමුළුව සඳහා සහෝදරයන් පැමිණෙන විට ප්ලාස්ටික් පුටු 2,000ක්, වැසිකිළි 10ක්, මූණ කට සේදීමට සින්ක්, වේදිකාවක්, ජෙනරේටරයක් හා ශබ්ද විකාශන යන්ත්‍ර වැනි සියලුම දේවල් සූදානම් කළා. ඒ වෙනුවෙන් වැඩ කළ අය ගැන එක් සහෝදරයෙක් මෙසේ අදහස් දැක්වූවා. “දිවා රෑ නොබලා වෙහෙසී වැඩ කළ සහෝදරයන් ඔවුන් කළ දේවල් ගැන පොඩ්ඩක්වත් උදම් ඇනුවේ නැහැ. සමුළුව අතරවාරයෙත් ඔවුන් අනික් අයට උදව් කළා. ඒ අය ඒ හැම දෙයක්ම කළේ සමුළුවට එන අයට වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නයි.”

තවත් සහෝදරයෙක් මෙවැනි දෙයක් සඳහන් කළා. “පොඩි කාලයක් ඇතුළත අපිට හැම දෙයක්ම සැලසුම් කරන්න සිද්ධ වුණ නිසා හැමෝම එකා මෙන් වැඩ කළා. මීට කලින් අපි කවදාවත් එළිමහනක මේ වගේ සමුළුවක් පවත්වලා තිබුණේ නැහැ. ඒ වුණත් සමුළු අතරවාරයේ කිසිම බාධාවක් ඇති නොවීම සඳහා සහෝදරයන් හැම දෙයක් ගැනම හිතලා වැඩ කළා. අපිට දැනුණේ යෙහෝවා දෙවි මේ වැඩේ ඉක්මනින් කරන්න අපිට ශක්තිය දුන්නා කියලයි. ඒ නිසා අපි කොච්චර වැඩ කළත් අපිට මහන්සියක් දැනුණේ නැහැ.”

දෙවිගේ බලය ලැබී

දුෂ්කරතා අද්දකිමින් සමුළු සංවිධානය කරන්න සිදු වීමෙන් සහෝදරයන් අතර තිබූ එකමුතුකම තවත් වැඩි වූ අතර දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය පැහැදිලිව අද්දකින්නත් හැකි වී තිබෙනවා. මදකට ස්මොලෙන්ස්ක් නගරයේ සිටි සාක්ෂිකරුවන් අද්දුටු දේ සලකා බලන්න. ඔවුන් සමුළුවට පැමිණෙන අයට නතර වෙන්න නවාතැන් කුලියට ගෙන තිබුණත් සමුළුවට කලින් දිනයේදී ඒවා අවලංගු වුණා. ඒ ගැන එක් සාක්ෂිකරුවෙක් පැවසුවේ මෙයයි. “පාන්දර එකට විතර බස් කිහිපයකින් අපේ සහෝදරයන් ආවාම එයාලාට ඉන්න දෙන්න අපිට තැනක් තිබුණේ නැහැ. ඒ වේලාවේ මට මොකුත්ම කරකියාගන්න බැරුව හොඳටම ඇඬුණා. ඊටපස්සේ මම ඒ ගැන යෙහෝවා දෙවිට යාච්ඤා කළා. පැයකට විතර පස්සේ හිතුව නැති විදිහට හැමෝටම නතර වෙන්න තැන් හොයාගන්න අපිට පුළුවන් වුණා. ඒ වේලාවේ මට දැනුණේ පුදුමාකාර සතුටක්. යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ කෙනෙකුව අත්හරින්නේ නැහැ කියලා එදා මම පෞද්ගලිකව අද්දැක්කා.” කැලෑබද තැනක පැවැත්වූ තවත් සමුළුවකට පැමිණි සහෝදර සහෝදරියන්ටත් ඒ හා සමාන දෙයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අයටත් නතර වෙන්න තැන් නොතිබූ නිසා සහෝදරයන් ඒ ගමේ අයගෙන් නවාතැන් පහසුකම් ඉල්ලා සිටියා. සාක්ෂිකරුවන් ගැන ඒ ගමේ අයට හොඳ පැහැදීමක් තිබූ නිසා ඔවුන් නිවාස 2,000ක් සහෝදරයන් වෙනුවෙන් ලබා දෙන්න කැමති වුණා.

“දුෂ්කරතා මැද පවා සමුළු පැවැත්වීමෙන් යෙහෝවා දෙවි මත රඳා සිටීම කොච්චර වැදගත්ද කියලා අපි ඉගෙනගත්තා” කියා එක් සාක්ෂිකරුවෙක් පැවසුවා. එය නොවෂාක්ටින්ස්ක් නගරයේ පැවැත්වූ සමුළුවක් අතරවාරයේදී සිදු වූ දෙයකින් පැහැදිලි වෙනවා. එදා ඕතඩොක්ස් පූජකයන් හා රෙපරමාදු ආගමිකයන් බාධා කිරීමේ අරමුණින් සමුළු භූමියට ඇවිත් මයික්‍රෆෝන යොදාගෙන ඔවුන්ගේ ආගමික ගීතිකා ගායනා කළා. ඒ අවස්ථාවේ පොලිසියෙන් එතැනට පැමිණ ඔවුන්ව නිශ්ශබ්ද කළා. එදින තද හිරු රශ්මිය තිබූ දිනයක් වූ නිසා සමුළුවට බාධා කිරීමට පැමිණි පිරිස අතර සිටි එක් කාන්තාවක් සිහිසුන්ව ඇද වැටුණා. එවිට සාක්ෂිකරුවන් ඇයව ඉක්මනින්ම ප්‍රථමාධාර අංශය වෙතට ගෙන ගොස් ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එසේ සාක්ෂිකරුවන් ඇයට පෙන්වූ කරුණාව ඇයට අදහාගත නොහැකි වුණා.

දුටු දෙයින් මවිත වී

රුසියාවේ ත්‍රස්තවාදී කලබල තිබෙන නිසා විශාල ජනකායක් එක් රැස් වන ඕනෑම අවස්ථාවක එය පොදු ජනයාගේ හා බලධාරීන්ගේ අවධානයට පහසුවෙන්ම ලක් වෙනවා. එමනිසා සාක්ෂිකරුවන් සමුළු පවත්වන විටත් පොලිසියෙන් පැමිණ ඒවා සෝදිසි කරනවා. වොල්ෂ්ස්කිවල කැලෑබද තැනක පැවැත්වූ සමුළුවක් සෝදිසි කිරීමටත් ත්‍රස්තවාදී මර්දන පොලිස් බලකායක් පැමිණියා. ඒ අතර සිටි එක් නිලධාරියෙකුගේ දුරකථනය සමුළු භූමියේදී නැති වුණා. එවිට සාක්ෂිකරුවන් ඔහුව නැති වූ භාණ්ඩ භාරගන්නා අංශය වෙතට ගෙන ගොස් එය ඔහුට සොයා දුන්නා. ටික වේලාවකින් ඔහුගේ වැඩ බලන නිලධාරියා ත්‍රස්තවාදයට සම්බන්ධ කිසිවක් එම සමුළුවේදී සිදු වෙනවාද කියා දැනගැනීමට ඔහුට ඇමතුමක් දුන්නා. එවිට ඔහු එම නිලධාරියාට මෙසේ පැවසුවා. “මෙහේ 5,000ක් විතර මිනිස්සු ඉන්නවා. ඒත් එක අන්තවාදියෙක්වත් නැහැ. මගේ දුරකථනය නැති වුණාම ඒකත් හොයලා දුන්නේ මෙයාලමයි.”

සාක්ෂිකරුවන්ගේ විනීතකම හා පිරිසිදුකම දැකීමෙන්ද බොහෝදෙනා පුදුමයට පත් වී තිබෙනවා. එක් සමුළුවකදී ආරක්ෂක නිලධාරියෙක් පැවසුවේ කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් සිටියත් එක ටොපි කොළයක්වත් බිම දැකගන්න නොලැබීම පුදුමයට කරුණක් කියායි. වෙනත් සමුළුවකත් ඒ හා සමාන දෙයක් සිදු වුණා. ඒ සමුළුව පැවැත්වූ ඉඩමේ අයිතිකරු සමුළුව සෝදිසි කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙකුව ගොඩනැඟිල්ලක තුන්වෙනි තට්ටුවට ගෙන ගොස් පහළින් සිටින සාක්ෂිකරුවන්ව පෙන්වමින් ඔහුට මෙසේ පැවසුවා. “මෙයාලා දිහා බලන්න. ඒගොල්ලන් කොච්චර පිළිවෙළට ඉන්නවාද!” සාක්ෂිකරුවන් මත්පැන් හෝ දුම්පානය නොකරන බව දැකීමෙන් හා ඉවතලන කැළි කසළ පවා එම ස්ථානයේ නොදමා නැවත නිවසට රැගෙන යන ආකාරය දැකීමෙන් එම පොලිස් නිලධාරියාද පුදුමයට පත් වුණා. ඔහු පැවසුවේ, “මේක නම් පාරාදීසයක් වගේ” කියායි.

දෙවිගේ සෙනඟ අතර තිබෙන එක්සත්කම

වනාන්තර ප්‍රදේශයක පැවැත්වූ එක් සමුළුවක් ගැන ගම්මුලාදෑනියෙක් මෙසේ පැවසුවා. “ඕගොල්ලන්ට ඇත්තටම ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා මට තේරුණා. ඔයාලට පුළුවන් මිනිසුන්ව පවා එක්සත් කරන්න.” රුසියාවේ ක්ලිනීන්ග්‍රෑඩ් සිට කම්චැට්කා දක්වා සිටින මුළු ජනතාවම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර තිබෙන එක්සත්කම දැක ප්‍රශංසනීය ලෙස කතා කර තිබෙනවා. ඇත්තෙන්ම කුමන හේතුවක් නිසා හෝ සාක්ෂිකරුවන්ගේ ආගමික වැඩසටහන්වලට බාධා පැමිණියත් රජයේ නිලධාරීන් හා මහජනයා කෙරෙහි ඔවුන්ට තිබෙන ගෞරවය කිසිදා වෙනස් වන්නේ නැහැ.

කොතරම් බාධා ආවත් රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එකට එකතු වී ඔවුන්ගේ නමස්කාර කටයුතුවල හවුල් වීමෙන් අපමණ සතුටක් ලබනවා. එමෙන්ම ‘දෙවිට පූර්ණ භක්තියක් ඇතුව ගෞරවනීය, සාමකාමී මෙන්ම සන්සුන් ජීවිතයක් ගත කිරීමට හැකි වන පිණිස රජවරුන් සහ උසස් නිලතල දරන සියලුදෙනා වෙනුවෙන්ද’ ඔවුන් යාච්ඤා කරනවා.—1 තිමෝති 2:2.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සමුළුවක් සාර්ථක කරගැනීමට ස්වේච්ඡාවෙන් සහය වූ සාක්ෂිකරුවෙක්

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

රුසියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ‘දෙවිට පූර්ණ භක්තියක් ඇතුව ගෞරවනීය, සාමකාමී මෙන්ම සන්සුන් ජීවිතයක්’ ගත කරනවා

[28වන පිටුවේ පින්තූර]

සමුළුව පැවැත්වීමට පෙර භූමිය පිරිසිදු කිරීමට හා සමුළුවට පැමිණෙන දහස් ගණනට කෑම පිළියෙල කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සාක්ෂිකරුවන්

[29වන පිටුවේ පින්තූර]

සමුළු වැඩසටහනෙන් සියලුදෙනාම ප්‍රයෝජන ගත් අතර ඔවුන් වෙහෙස නොබලා වැඩ කළ ස්වේච්ඡා සේවකයන්වත් අගය කළා