Skip to content

පටුනට යන්න

ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කවුද?

ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කවුද?

ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ කවුද?

“මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.”—මතෙව් 24:14.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පොළොව පුරාම ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ සඳහා ඔවුන් යොදාගන්නා ක්‍රම කිහිපයක් සලකා බලන්න.

වචනයෙන්. ය්සුස් හා ඔහුගේ අනුගාමිකයන් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද මිනිසුන් වෙතට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (ලූක් 8:1; 10:1) මිලියන හතක් ඉක්මවා සිටින සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්තව ගෙයින් ගෙට ගොස් මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය ගැන කියා දෙනවා. එමෙන්ම ඔවුන් මඟ තොටේ හමු වන අයටත් ශුභාරංචිය පවසන අතර දුරකථනය මගින්ද එය ප්‍රකාශ කරනවා. ඒ සඳහා ඔවුන් පසුගිය වසරේදී පැය බිලියන එකහමාරකටත් වඩා වැඩි ප්‍රමාණයක් වැය කර තිබෙනවා.

දෙවිගේ රාජ්‍යය ගැන ප්‍රකාශ කරනවාට අමතරව යේසුස් “අණ කළ සෑම දෙයක්ම” ඔවුන් මිනිසුන්ට උගන්වනවා. (මතෙව් 28:20) එමෙන්ම ඔවුන් කිසිම අය කිරීමකින් තොරව බයිබල් පාඩම් මිලියන අටකට වඩා දැනට පවත්වමින් සිටිනවා.

මේ වන විට සාක්ෂිකරුවන් රටවල් 236ක මේ සේවයේ නිරත වෙන නිසා විවිධ පසුබිම්වලට අයත් මිනිසුන්ට දෙවිගේ රාජ්‍යය ගැන කියා දීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. උදාහරණයකට විවිධ ගම් හා නගරවලත් ඇමසන් හා සයිබීරියානු වනාන්තරවලත් අප්‍රිකානු කාන්තාරවල හා හිමාල කඳුවැටියෙත් ඔවුන් මේ සේවයේ නියැලෙනවා. ඒ සඳහා ඔවුන්ට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. එවැනි සේවයක් කිරීමට ඔවුන් පෙලඹී තිබෙන්නේ යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් ප්‍රේම කරන නිසයි.

පොත් පත් මාර්ගයෙන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි යන සඟරාව යොදාගන්නවා. දැනට එම සඟරාව භාෂා 185කින් මුද්‍රණය කෙරෙන අතර සෑම මාසයකම එහි පිටපත් මිලියන 42කට වැඩි ප්‍රමාණයක් බෙදාහරිනු ලබනවා. ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පිබිදෙව්! නමැති සඟරාවත් සාක්ෂිකරුවන් යොදාගන්නවා. එය භාෂා 83කින් මුද්‍රණය කෙරෙන අතර සෑම මාසයකම එහි පිටපත් මිලියන 40ක් බෙදාහරිනවා.

එමෙන්ම බයිබල් ඉගැන්වීම් ඇතුළත් පොත්, සඟරා, පත්‍රිකා සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය තැටි (CD, MP3, DVD) භාෂා 540කින් පමණ නිකුත් කර තිබෙනවා. පසුගිය වසර දහය තුළ පමණක් සාක්ෂිකරුවන් මුද්‍රණය කර තිබෙන සඟරා, පොත් පත් සහ නිකුත් කර ඇති CD තැටිවල සංඛ්‍යාව බිලියන 20කට වඩා අධිකයි. එය ලෝක ජනගහනය මෙන් තුන් ගුණයක්.

ඊට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ බයිබල් අනුවාද මුද්‍රණය කර තිබෙනවා. උදාහරණයකට ඔවුන් ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනය නමැති බයිබලය පරිවර්තනය කර තිබෙන අතර එය සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 96කින් ලබාගත හැකියි. මේ වන විට එහි පිටපත් මිලියන 166ක් බෙදාහැර තිබෙනවා.

රැස්වීම් මාර්ගයෙන්. සාක්ෂිකරුවන්ගේ නමස්කාර මධ්‍යස්ථානවල සතිපතා රැස්වීම් පැවැත්වෙනවා. එය නිකම්ම ආගමික මෙහෙයක් පමණක් නොවෙයි. ඒවා සංවිධානය කර තිබෙන්නේ බයිබලයේ සඳහන් දේවල් ඉගැන්වීම සඳහායි. එහිදී බයිබලය මත පදනම් විෂයන් ඔස්සේ කතා ඉදිරිපත් කරනු ලබන අතර මුරටැඹ සඟරාව හා සාක්ෂිකරුවන්ගේ වෙනත් ප්‍රකාශන යොදාගෙන බයිබලයේ සඳහන් යම් කාරණා සාකච්ඡා කරනවා. එමෙන්ම ශුභාරංචිය දක්ෂ ලෙස ජනයා අතරට රැගෙන යා හැකි ක්‍රම ගැනත් එහිදී ඉගෙනගත හැකියි.

ලොව පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් 1,07,000ක් තිබෙනවා. නමුත් රැස්වීම්වලදී ඒ හැම සභාවක්ම එක සතියක සාකච්ඡා කරන්නේ එකම තොරතුරුයි. ඔවුන් පවත්වන රැස්වීම්වලට ඕනෑම කෙනෙකුට පැමිණිය හැකියි. ඒ සඳහා ඔවුන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

යහපත් හැසිරීමෙන්. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන සාක්ෂිකරුවන් අන් අය තමන්ට සලකනවාට කැමති ආකාරයෙන්ම අනුන්ට සැලකීමට උපරිම වෑයමක් දරනවා. (මතෙව් 7:12) උරුම වී තිබෙන පව්කාර ස්වභාවය නිසා ඔවුන් අතිනුත් යම් වැරදි සිදු වුණත් අන් අයට ආදරයෙන් සලකන්න ඔවුන්ට හැකි උපරිමය ඔවුන් කරනවා. මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්නත් අවශ්‍යතා ඇති අයට උපකාර පිරිනමන්නත් ඔවුන් පෙලඹී තිබෙන්නේ ඒ නිසයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සාහ කරන්නේ මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මිස මිනිසුන්ගේ ආගම් වෙනස් කිරීමට නොවෙයි. යෙහෝවා දෙවි අපේක්ෂා කළ ප්‍රමාණයට ශුභාරංචිය ලොව පුරා ව්‍යාප්ත වූ පසු යේසුස් පැවසූ ලෙස අවසානය පැමිණෙනවා. එසේනම් අවසානය පැමිණි විට මේ පොළොවට හා මිනිසුන්ට සිදු වන්නේ කුමක්ද?

[7වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා ශුභාරංචිය දේශනා කරනවා