Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

මිනිස් ඇසුරට එතරම් ප්‍රිය නොකළ පංක් රොක් වාදකයෙක් මිනිසුන් ගැන සැලකිලිමත් කෙනෙක් වීමට පෙලඹුණේ ඇයි? සමලිංගික සේවනයේ යෙදුණු කෙනෙක් තම ජීවිතය වෙනස් කරගත්තේ ඇයි? බයිසිකල් ධාවන ශූරයෙක් තම ජීවිතය වෙනස් කරගෙන දෙවිට සේවය කරන්න තීරණය කළේ ඇයි? ඒ ගැන අපි ඔවුන්ගෙන්ම අසා දැනගමු.

“මම හැසිරුණේ හරිම නපුරු, අහංකාර, ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් විදිහටයි”—ඩෙනස් ඕබයිර්න්

උපත ලැබූ වසර: 1958

රට: එංගලන්තය

අතීතයේදී: පංක් රොක් වාදකයෙක්

මගේ අතීතය: මගේ තාත්තා අයර්ලන්ත ජාතිකයෙක්. මම හැදී වැඩුණේ කතෝලිකයෙක් විදිහට. මම පල්ලි යන්න එච්චර කැමැත්තක් දැක්වුවේ නැති වුණත් හුඟක් වෙලාවට තනියම පල්ලියට යන්න මට සිද්ධ වුණා. කොහොමවුණත් මම හැමදාම පරමණ්ඩලයේ යාච්ඤාව කිව්වා. සමහර දවස්වල රෑට මම ඇඳේ හාන්සි වෙලා පරමණ්ඩලයේ යාච්ඤාවෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඒ යාච්ඤාව වාක්‍යවලට කඩලා ඒ ගැන හිතලා තියෙනවා.

යෞවන වයසේදී මම රස්තෆාරියානු ආගමට බැඳුණා. ඒ වගේම නාට්සි විරෝධී දේශපාලන සංගමයටත් ලොකු කැමැත්තක් දැක්වුවා. පංක් රොක් සංගීතය මගේ ජීවිතයේ කොටසක් වුණ නිසා ඊටම ආවේණික කැරලිකාර හැසිරීම් රටාවකට මම හුරු වුණා. හැමදාම මරිජුවානා ගන්නත් හොඳටම මත්පැන් බොන්නත් පටන්ගත්තා. මම හිතුවේ ‘මොනවා වුණත් කමක් නැහැ’ කියලයි. මම මං ගැනවත් අනික් අය ගැනවත් කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ. කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් මගේ ඡායාරූපයක් ගන්නවාටවත් මම කැමති වුණේ නැහැ. ඇත්තටම ඒ දවස්වල මම හැසිරුණේ හරිම නපුරු, අහංකාර, ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් විදිහටයි.

වයස අවුරුදු 20දී විතර මට බයිබලය ගැන ඉගෙනගන්න ආශාවක් ඇති වුණා. ඒ කාලේ මත්කුඩු ජාවාරමකට හවුල් වෙලා හිරේ ගිය මගේ යාළුවෙක් හිරේදී බයිබලය කියවන්න පටන්ගෙන තිබුණා. අපි දෙන්නා එකතු වුණාම ආගම ගැන, පල්ලි ගැන වගේම යක්ෂයා ගැන බයිබලයේ තියෙන තොරතුරුත් සාකච්ඡා කළා. ඊටපස්සේ මම බයිබලයක් අරගෙන ඒක තනියම කියෙව්වා. මාස ගාණක් පුරා මායි මගේ යාළුවයි බයිබලය කියවලා සමහර දේවල් අවබෝධ කරගත්තා.

ඒ දේවල් කීපයක් ගැන මම කියන්නම්. අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ. ක්‍රිස්තියානීන් දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට දේශනා කළ යුතුයි. ඔවුන් දේශපාලනය ඇතුළු මේ ලෝකයේ දේවලට සම්බන්ධ වීම සුදුසු නැහැ. අපි ජීවත් විය යුතු ආකාරය ගැන නිවැරදි ප්‍රතිපත්ති තිබෙන්නේ බයිබලයෙයි. ඒ තොරතුරුවලට අනුව බයිබලයේ සඳහන් තොරතුරු සත්‍යයයි කියලත් සැබෑ ආගමක් තියෙන්න ඕනෙ කියලත් අපි තේරුම්ගත්තා. හැබැයි ඒ ආගම හොයාගන්නේ කොහොමද? ක්‍රිස්තියානියයි කියාගන්නා ප්‍රසිද්ධ ආගම් ගැනත් ඔවුන් පවත්වන මංගල්‍යයන් ගැනත් ඔවුන් දේශපාලන කටයුතුවලට හවුල් වන විදිහ ගැනත් හිතුවම ඒ ආගම්වලට දෙවිගේ ඇනුමැතිය නැහැ කියලා අපිට තේරුණා. ඒ නිසා ඒ තරම් ප්‍රසිද්ධ නැති ආගම් අතරේ සැබෑ ආගම තියෙනවාද කියලා අපි හොයලා බැලුවා.

ඒ වගේ ආගම්වලට අයිති අයව මුණගැහිලා අපි සමහර දේවල් ගැන ඒ අයගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්නවලට බයිබලයේ සඳහන් පිළිතුරු අපි දැනගෙන හිටිය නිසා ඒ අය දෙන පිළිතුරු බයිබලයට එකඟද නැද්ද කියලා අපිට තේරුම්ගන්න පුළුවන් වුණා. ඒ හැම අවස්ථාවකදීම මම දෙවිට යාච්ඤා කරලා කිව්වා ‘සැබෑ ආගමට අයිති අයව මුණගැහුණොත් ආයෙත් වතාවක් ඒ අයව ගිහින් මුණගැහෙන්න මාව පොලඹවන්න’ කියලා. හැබැයි මාස ගාණක් පුරා අපි එක එක ආගම්වල අයගෙන් ප්‍රශ්න ඇහුවත් කිසිම කෙනෙක් නිවැරදි පිළිතුරු දුන්නේ නැහැ.

ඒත් අන්තිමේදී අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහුණා. අපි ඒ අයගෙනුත් ඒ ප්‍රශ්නම ඇහුවා. එතකොට ඒ අය අපේ ප්‍රශ්නවලට බයිබලයෙන්ම පිළිතුරු දුන්නා. ඒ නිසා අපි පිළිතුරු දැනගෙන හිටියේ නැති ප්‍රශ්න ගැනත් ඇහුවා. උදාහරණයකට දුම්පානය සහ මත්ද්‍රව්‍ය ගැනීම දෙවි අනුමත කරනවාද කියලා අපි ඇහුවා. ඒ ප්‍රශ්නවලටත් ඔවුන් බයිබලයෙන්ම පිළිතුරු දුන්නා. ඒ නිසා සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට යන්න අපි තීරණය කළා.

මම මිනිසුන් එක්ක කතා කරන්න කැමති නැති නිසා සාක්ෂිකරුවන් වැනි මිත්‍රශීලී අයගේ රැස්වීමකට යන එක මට ලේසි වුණේ නැහැ. කොහොමහරි දවසක් මම රැස්වීම්වලට ගියා. ඒත් සමහර සාක්ෂිකරුවන් මාව වරදවා තේරුම්ගත්තා කියලා මට දැනුණ නිසා ආයෙත් රැස්වීම්වලට යන්නේ නැහැ කියලා මම හිතුවා. හැබැයි සාක්ෂිකරුවන් සැබෑ ආගමට අයිති අය නම් ඔවුන්ව ආයෙත් හමු වෙන්න මාව පොලඹවන්න කියලා මම දෙවිට යාච්ඤා කළා. අන්තිමේදී ඒ අයත් එක්ක බයිබලය ඉගෙනගන්න මට ආශාවක් ඇති වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මත්කුඩු පාවිච්චි කරන එක වැරදියි කියලා දැනගත්තම මම ඉක්මනින්ම ඒක නතර කළා. හැබැයි දුම්පානය නතර කරන එක නම් මට ලේසි වුණේ නැහැ. ඒ නිසා මම දෙවිගෙන් උපකාර ඉල්ලලා යාච්ඤා කළා. ඊටපස්සේ යෙහෝවා දෙවිගේ උපකාරයෙන් මට පුළුවන් වුණා දුම්පානය නතර කරන්න. ඒකෙන් මම තේරුම්ගත්තා අපේ හිතේ තියෙන දේවල් ගැන දෙවිට යාච්ඤා කරන එක කොච්චර වැදගත්ද කියලා.

මම සාක්ෂිකරුවන්ගේ රැස්වීමට මුල්ම වතාවට ගියේ කොණ්ඩේ නිල් පාටින් ඩයි කරගෙන කූරු කූරු හිටින විදිහට හදාගෙනයි. කාලෙකට පස්සේ මම කොණ්ඩේ තැඹිලි පාටින් ඩයි කරගත්තා. මම ඇන්ද කලිසම් සහ ලෙදර් ජැකට්වල එක එක දේවල් ලියලා තිබුණා. ඒ දේවල් සුදුසු නැහැ කියලා සාක්ෂිකරුවන් මට කාරුණිකව පෙන්නලා දුන්නත් මම වෙනස් වෙන්න කැමති වුණේ නැහැ. කොහොමවුණත් 1 යොහන් 2:15-17 දක්වා සඳහන් වෙලා තියෙන මේ වදන් මගේ හිතට තදින්ම කාවැදුණා. “මේ ලෝකයටවත් මෙහි තිබෙන දේවලටවත් ඇල්මක් නොදක්වන්න. යමෙක් මේ ලෝකයේ තිබෙන දේවලට ඇල්මක් දක්වනවා නම් පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත.” මම අඳින පළඳින විදිහෙන් දෙවිට වඩා මේ ලෝකෙට ප්‍රේම කරනවා කියලා ඇඟවෙන බව මම තේරුම්ගත්තා. ඒ නිසා මම අවශ්‍ය වෙනස්කම් කළා.

මම රැස්වීම්වලට සහභාගි වෙනවාට කැමති සාක්ෂිකරුවන් විතරක් නෙවෙයි. හෙබ්‍රෙව් 10:24, 25 සඳහන් වෙන විදිහට දෙවිත් ඒ දේ මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා මම දැනගත්තා. හැම රැස්වීමකටම යන්න පටන්ගත්තට පස්සේ මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න මම තීරණය කළා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: යෙහෝවා දෙවි ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න අපිට අවස්ථාව දීලා තියෙන එක මම හුඟක් අගය කරනවා. දෙවිගේ දයාව හා සැලකිල්ල අද්දැකලා තියෙන මට දෙවිව අනුකරණය කරමින් යේසුස්ව ආදර්ශයට ගන්න ලොකු පෙලඹීමක් ඇති වෙලා තියෙනවා. (1 පේතෘස් 2:21) අද මම ප්‍රේමණීය මෙන්ම අන් අය ගැන සැලකිල්ල දක්වන කෙනෙක් විදිහට ජීවත් වෙනවා. මගේ බිරිඳටත් පුතාටත් මම සලකන්නේ හරිම ආදරෙන්. ඒ වගේම යෙහෝවා දෙවිට සේවය කරන සෙසු අයටත් මම ආදරෙන් සලකනවා. ඇත්තටම අන් අයගේ ගෞරවය දිනාගෙන එකිනෙකාට ප්‍රේම කරන්න මට පුළුවන් වෙලා තියෙන්නේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන නිසයි.

“සාක්ෂිකරුවන් මට ගෞරවයෙන් සැලකුවා”—ග්වාඩාලූප් බිල්යාරේයාල්

උපත ලැබූ වසර: 1964

රට: මෙක්සිකෝව

අතීතයේදී: සමලිංගික සේවනයේ යෙදුණා

මගේ අතීතය: අපේ පවුලේ දරුවෝ හත්දෙනයි. අපි හැදී වැඩුණේ මෙක්සිකෝවේ හර්මොසිලො කියන නගරයේ දිලිඳු පළාතකයි. මගේ පුංචි කාලේදිම තාත්තා නැති වුණ නිසා අපිව බලාගන්න අම්මා රස්සාවක් කළා. නැතිබැරිකම නිසා මම ගමන් බිමන් ගියේ සෙරෙප්පු දෙකක්වත් නැතුවයි. වියහියදම් පියවගන්න පොඩි කාලෙම මමත් රස්සාවකට ගියා. ඒ පළාතේ ඉන්න හුඟක් අය වගේ අපිත් පුංචි ගේක එකට ජීවත් වුණේ තෙරපිලා වගෙයි.

හුඟක් වෙලාවට අපිව බලාගන්න අම්මා ගෙදර හිටියේ නැති නිසා වයස අවුරුදු හයේදී අවුරුදු 15ක පිරිමි ළමයෙකුගේ අතින් මාව ලිංගික අතවරයට ලක් වුණා. ඒක සෑහෙන කාලයක් පුරා සිද්ධ වුණා. ඒ නිසා ලිංගික කාරණා ගැන මම හිතුවේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහටයි. පිරිමි කෙනෙක් තවත් පිරිමි කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදි නැහැ කියලා මට හිතුණා. වෛද්‍යවරුන්ගේ සහ පූජකයන්ගේ උපදෙස් පැතුවම ඒ අය කිව්වේ ඕක සාමාන්‍ය දෙයක් නිසා භය වෙන්න එපා කියලයි.

වයස අවුරුදු 14දී මම තීරණය කළා සමලිංගිකයෙක් විදිහට ජීවත් වෙන්න. අවුරුදු 11ක් පුරා පිරිමි අය කීපදෙනෙක් එක්ක මම එකට ජීවත් වුණා. ඊටපස්සේ මම කොණ්ඩ සැකසුම් පාඨමාලාවක් හදාරලා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගියා. ඒත් මට කිසිම සතුටක් දැනුණේ නැහැ. මාව සමාජයෙන් කොන් වුණා. මට තේරුණා මං ගත කරන ජීවිතය හරි නැහැ කියලා. ‘මේ ලෝකේ කොහේ හරි තැනක හොඳයි කියලා කියන්න පුළුවන් මිනිස්සු ඉන්නවද’ කියලා මම නිතරම කල්පනා කළා.

මම හුඟක් වෙලාවට මගේ අක්කගේ ජීවිතය ගැනත් හිතලා තියෙනවා. අක්කා සාක්ෂිකරුවන්ගෙන් බයිබලය ඉගෙනගෙන බව්තීස්ම වුණ කෙනෙක්. බයිබලයේ තියෙන සමහර දේවල් අක්කා මට කියලා දුන්නත් මම ඒවා ගණන්ගත්තේ නැහැ. ඒත් අක්කා එයාගේ විවාහ ජීවිතය සාර්ථකව ගත කරන එක මම අගය කළා. එයයි මස්සිනයි හරිම ආදරෙන් එකිනෙකාට ගෞරව කරමින් ජීවත් වෙනවා. කාලයක් ගියාට පස්සේ මමත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මුලින්ම මම එච්චර උනන්දුවකින් බයිබලය පාඩම් කළේ නැතත් මම ටිකෙන් ටික වෙනස් වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: දවසක් සාක්ෂිකරුවන්ගේ ආරාධනාවක් පිට මම ඒ අයගේ රැස්වීමකට ගියාම ඒ අය මාව සාදරයෙන් පිළිගත්තා. හුඟක් වෙලාවට සමාජයේ මිනිසුන් මාව කොන් කරලා මට විහිළු කළත් සාක්ෂිකරුවන් මට ගෞරවයෙන් සැලකුවා. ඒ වගේ දෙයක් මම ජීවිතේටවත් අද්දැකලා තිබුණේ නැහැ.

සාක්ෂිකරුවන්ගේ සමුළුවකට ගිය වෙලාවක මගේ අක්කා වගේම එයාලත් කොච්චර හොඳ අවංක සෙනඟක්ද කියලා මම දැක්කා. මම හොය හොය හිටිය හොඳයි කියලා කියන්න පුළුවන් අය මේ අය වෙන්න බැරිද කියලා මට හිතුණා. එයාලා අතර තියෙන ප්‍රේමය සහ එකමුතුකමත් හැම ප්‍රශ්නෙකටම පිළිතුරු දෙන්න එයාලා බයිබලය පාවිච්චි කරන විදිහත් දැක්කම මට පුදුම හිතුණා. ඒ අය එච්චර ලස්සන ජීවිතයක් ගත කරන්නේ බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගන්න නිසයි. එයාලා වගේ වෙන්න නම් මමත් මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන කියලා මට දැනුණා.

ඒත් ඒක කරන්න නම් මං මුළුමනින්ම වෙනස් පුද්ගලයෙක් වෙන්න ඕන කියලා මට තේරුණා. මොකද මම කතා කළේ, හැසිරුණේ, ඇන්දේ, කොණ්ඩෙ සැකසුවේ, ජීවත් වුණේ ගෑනු කෙනෙක් විදිහටයි. නරක යාළුවන්ගෙන් ඈත් වෙන්නත් මට සිද්ධ වුණා. මම ජීවිත රටාව වෙනස් කරගන්න හදන කොට මගේ පරණ යාළුවෝ මෙහෙම කිව්වා. “ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? බයිබලය පාඩම් කරන එක නතර කරලා හිටියා වගේම ඉන්න. ඒක තමයි ඔයාට හොඳ.”

මට කරන්න අමාරුම වුණේ සමලිංගික ඇසුර නතර කරන එකයි. ඒත් මට ඒක කරන්න පුළුවන් කියලා 1 කොරින්ති 6:9-11 දක්වා සඳහන් මේ වදන් කියෙව්වට පස්සේ මට තේරුණා. ‘අධර්මිෂ්ඨ අයට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව ඔබ දැන සිටියේ නැද්ද? කිසි ලෙසකින්වත් මුළා නොවන්න. වේශ්‍යාකම් කරන අයටවත් රූප වන්දනාවේ යෙදෙන අයටවත් අනාචාරයේ හැසිරෙන අයටවත් සමලිංගික පුරුෂයන්ටවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙමින් සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත. ඇත්තෙන්ම ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ. නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත.’ නරක ජීවිත ගත කළ අයට වෙනස් වෙන්න දෙවි අතීතයේදී උදව් කළා නම් ඔහු මටත් උදව් කරයි කියලා ඒකෙන් මම දැනගත්තා. ජීවිතේ වෙනස් කරගන්න අවුරුදු ගාණක් පුරා මට ලොකු සටනක් කරන්න සිද්ධ වුණා. එහෙම කරන්න මට ලොකු ශක්තියක් වුණේ සාක්ෂිකරුවන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම් සහ සැලකිල්ලයි.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: අද මම විවාහ වෙලා සන්තෝෂයෙන් ජීවත් වෙනවා. මායි මගේ බිරිඳයි අපේ පුතාට බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න නිතරම උගන්වනවා. මේ වෙන කොට මම සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවක වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන නිසා බයිබලයේ තියෙන දේවල් අනික් අයට උගන්වන්න මට අවස්ථාව තියෙනවා. මම මගේ ජීවිතේ වෙනස් කරගත්ත එක ගැන අම්මා කොච්චර සතුටු වුණාද කියනවා නම් ඇයත් සාක්ෂිකාරියක් වුණා. ඒ වගේම අනාචාර ජීවිතයක් ගත කරමින් හිටිය මගේ නංගි කෙනෙකුත් සාක්ෂිකාරියක් වුණා.

මට වෙනස් වෙන්න එපා කියලා කිව්ව සමහර අයත් දැන් මම හොඳ ජීවිතයක් ගත කරනවා කියලා තේරුම් අරන් තියෙනවා. ඉස්සර මම සමලිංගික ජීවිතයෙන් මිදෙන්න වෛද්‍යවරුන්ගේ උපකාර පැතුවත් ඔවුන් මට දුන්නේ හොඳ උපදෙස් නෙවෙයි. ඒත් යෙහෝවා දෙවි මට ඇත්තටම උදව් කළා. ඒ කාලයේ මට මාවම එපා වෙලා තිබුණත් යෙහෝවා දෙවි මට ආදරෙන් සහ ඉවසීමෙන් උදව් කළා. ඒ තරම් ප්‍රේමණීය බුද්ධිමත් දෙවි කෙනෙක් මගේ යහපත ගැන හිතලා මට උදව් කරනවා කියලා දැනුණම ජීවිතය මුළුමනින්ම වෙනස් කරගන්න මම පෙලඹුණා.

“ඒ කිසිම දේකින් මට තෘප්තියක් ලැබුණේ නැහැ. මට දැනුණේ හිස්බවක් විතරයි.”—කසුහිරෝ කුනිමෝචි

උපත ලැබූ වසර: 1951

රට: ජපානය

අතීතයේදී: බයිසිකල් ධාවන ශූරයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ ෂිසුඔකා කියන නගරයේ පුංචි ගෙදරකයි. අපේ පවුලේ දරුවෝ අටදෙනයි. අපේ තාත්තට බයිසිකල් වැඩපොළක් තිබුණා. පුංචි කාලේ ඉඳලම බයිසිකල් තරඟ පෙන්නන්න තාත්තා මාව එක්කගෙන ගිය නිසා බයිසිකල් ධාවකයෙක් වෙන්න මටත් ආශාවක් ඇති වුණා. මම ටිකක් ලොකු වුණාට පස්සේ තාත්තා මහන්සි වෙලා බයිසිකල් ධාවකයෙක් වෙන්න මාව පුහුණු කළා. උසස් පෙළ හැදෑරුව කාලේදී වාර්ෂිකව පවත්වන ජාතික මලළ ක්‍රීඩා තරඟාවලියේ මම පිට පිටම තුන් වතාවක් ජයග්‍රහණ හිමි කරගත්තා. වෙහෙස නොබලා පුහුණුවීම්වල යෙදුණු මට වයස අවුරුදු 19දී දක්ෂ බයිසිකල් ධාවකයෙක් වෙන්න පුළුවන් වුණා.

මගේ ලොකුම ආශාව වුණේ ජපානයේ අංක එකේ බයිසිකල් ධාවකයා වෙලා හුඟක් මුදල් උපයන්නයි. එතකොට මගේ පවුලේ අයව හොඳට බලාගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඒ නිසා මම වෙහෙස නොබලා පුහුණුවීම්වල යෙදුණා. සමහර වෙලාවට පුහුණුවීම්වලදී හරි, ධාවන තරඟයකදී හරි මම වෙහෙසට පත් වුණාම ‘මං ඉපදිලා ඉන්නේ බයිසිකල් ධාවකයෙක් වෙන්නයි. ඒ නිසා මං කොහොමහරි මේක කරනවා’ කියලා මටම කියාගත්තා. මගේ උත්සාහය සාර්ථක වුණා. දක්ෂ බයිසිකල් ධාවකයෙක් විදිහට මගේ මුල්ම අවුරුද්දෙම අලුත් බයිසිකල් ධාවකයන් අතරේ මට පළමු ස්ථානය ලැබුණා. දෙවෙනි අවුරුද්දේ, ජපානයේ අංක එකේ ධාවකයා තෝරන තරඟයට සහභාගි වෙන්නත් මම සුදුසුකම් ලැබුවා. අවස්ථා හයකදීම මම ඒ තරඟයේ දෙවෙනි ස්ථානයට ආවා.

මම නිතරම ජයග්‍රහණය ලැබුව නිසා “ටොකායිවල ශක්තිමත් පාද හිමි කෙනා” විදිහට මාව හඳුන්වන්න පටන්ගත්තා. ඒ කාලේ මම හුඟක් තරඟකාරි වුණ හින්දා තරඟ අතරවාරයේ හැසිරුණේ අනික් අය ගැන කිසිම සැලකිල්ලක් නැතුවයි. ඒ නිසා සමහරු මට භය වුණා. සල්ලි වැඩි වැඩියෙන් ලැබෙන කොට මම හිතෙන හිතෙන හැම දෙයක්ම ගත්තා. මිල අධික ව්‍යායාම් උපකරණ තිබුණු කාමරයක් එක්ක ලොකු ගෙයකුත් පිටරටින් ගෙන්නුව මිල අධික මෝටර් රථයකුත් සල්ලිවලට ගත්තා. ඒ වගේම අනාගතේ ගැන හිතලා ඉඩකඩම් සහ කොටස් වෙළඳපොළේ කොටස් පවා මිල දී ගත්තා.

ඒත් ඒ කිසිම දේකින් මට තෘප්තියක් ලැබුණේ නැහැ. මට දැනුණේ හිස්බවක් විතරයි. පොඩි දේවලදී පවා මගේ බිරිඳ එක්කත් දරුවන් එක්කත් මට කේන්ති ගියා. ඒ නිසා මම කේන්තියෙන්ද ඉන්නේ කියලා දැනගන්න ඒ අය නිතරම භයෙන් මගේ මූණ දිහා බැලුවා.

ටික කාලෙකට පස්සේ මගේ බිරිඳ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. එයා කිව්වා එයාට සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට යන්න ඕන කියලා. ඒ නිසා පවුලේ හැමෝම එකතු වෙලා දවසක රැස්වීමකට යමු කියලා මම එයාට කිව්වා. මට තාම මතකයි බයිබලය ගැන කියලා දෙන්න වැඩිමහල්ලෙක් විදිහට සේවය කළ සහෝදරයෙක් එක රෑක අපේ ගෙදරට ආව හැටි. මම බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මගේ හිතට හොඳින් කාවැදුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මට කවදාවත් එෆීස 5:5 සඳහන් මේ වදන් අමතක වෙන්නේ නැහැ. ‘වේශ්‍යාකම් කරන කෙනෙකුටවත් අපවිත්‍ර ක්‍රියා කරන කෙනෙකුටවත් කෑදරකමින් කටයුතු කරන කෙනෙකුටවත් (එනම් රූප වඳින්නෙකුටවත්) ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් ලැබෙන්නේ නැහැ.’ ඒක කියෙව්වට පස්සේ මට තේරුණා බයිසිකල් ධාවන තරඟවලින් මුදල්වලට තියෙන කෑදරකම හුඟක් වැඩි කරනවා කියලා. ඒ නිසා යෙහෝවා දෙවිව සතුටු කරන්න නම් මම බයිසිකල් ධාවන තරඟවලින් ඉවත් වෙන්න ඕන කියලා මට තේරුණා. ඒත් ඒක කරන්න එච්චර ලේසි වුණේ නැහැ.

බයිසිකල් ධාවකයෙක් විදිහට මගේ සාර්ථකම අවුරුද්ද අවසන් වුණාට පස්සේ තව තවත් ඉදිරියට යන්න මට ආශාවක් ඇති වුණා. ඒත් වෙන කිසිම දේකින් අද්දකින්න බැරි සහනයක් සහ සැනසීමක් බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලැබෙනවා කියලා මට තේරුණා. මම බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තට පස්සේ ධාවන තරඟවල යෙදුණේ තුන් වතාවක් විතරයි. ඒත් ධාවන තරඟවලින් අයින් වෙන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ. ඒ කාලේ මට දැනුණේ මගේ ජීවිතේ එක තැන නතර වෙලා තියෙනවා වගෙයි. නෑදෑයොයි තාත්තයි මම බයිබලය පාඩම් කරනවාට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසා මම කොච්චර මානසිකව වැටුණද කියනවා නම් අන්තිමේදී ලෙඩ වෙලා බඩවැල්වල තුවාලත් හැදුණා.

ඒ අසීරු කාලයේ ශක්තිමත්ව ඉන්න මට පුළුවන් වුණේ බයිබලය දිගටම අධ්‍යයනය කරලා සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගිය නිසයි. ඒකෙන් දෙවි කෙරෙහි මට තිබුණු විශ්වාසය වැඩි වුණා. මගේ යාච්ඤාවලට සවන් දෙන්න කියලා මම යෙහෝවා දෙවිට කන්නලව් කළා. එක දවසක් මගේ බිරිඳ මට කිව්වා සතුටෙන් ඉන්න එයාට ලොකු ගෙයක් ඕන නැහැ කියලා. ඒක ඇහුවම මට දැනුණේ ලොකු සහනයක්. ඊටපස්සේ ටිකෙන් ටික මම හිටිය තත්වෙන් ගොඩ ආවා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: “නොකඩවා දෙවිගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එවිට ඔබට අවශ්‍ය ඒ සියලු දේම ඔබට දෙනු ලැබෙයි” කියලා මතෙව් 6:33 සඳහන් යේසුස්ගේ වදන් කොච්චර ඇත්තද කියන එක මම අද්දැකලා තියෙනවා. මොකද මේ දක්වා අපිට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය සියලුම දේවල් ඒ විදිහටම ලැබිලා තියෙනවා. මම දැන් උපයන්නේ බයිසිකල් ධාවකයෙක් විදිහට ඉපයූ මුදලින් 30න් එකක් විතරයි. ඒත් ගෙවී ගිය අවුරුදු 20 පුරාම අපිට කිසිම දේකින් අඩුවක් තිබිලා නැහැ.

යෙහෝවා දෙවිගේ සේවකයන් එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කිරීමෙන් ලැබෙන සතුට මට වෙන කිසිම දේකින් ලබාගන්න බැහැ. දැන් මම ජීවත් වෙන්නේ හරිම සතුටෙන්. මගේ පවුල් ජීවිතයත් හුඟක් සාර්ථකයි. මේ වෙනකොට මගේ පුතාලා තුන්දෙනත් ලේලිලා තුන්දෙනත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා.