Skip to content

පටුනට යන්න

දුක් වේදනාවලට දෙවි ඉඩහරින්නේ ඇයි?

දුක් වේදනාවලට දෙවි ඉඩහරින්නේ ඇයි?

බයිබලයෙන් පිළිතුරු සොයමු

දුක් වේදනාවලට දෙවි ඉඩහරින්නේ ඇයි?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. නපුරු දේවල ආරම්භය කුමක්ද?

ඒදන් උයනේදී යක්ෂයා මුල්ම බොරුව පැවසීමත් සමඟම නපුර හටගත්තා. විශ්වාසවන්ත දේවදූතයෙකුව සිටි ඔහු ‘සත්‍යයට ඇලී සිටියේ නැති’ නිසා යක්ෂයෙක් බවට පත් වුණා. (යොහන් 8:44) ඔහු උත්සාහ කළේ යෙහෝවා දෙවිට පමණක් අයිති නමස්කාරය තමාට ලබාගැනීමටයි. එය ඉටු කරගැනීමට ඔහු මුල්ම ස්ත්‍රිය වූ ඒවට බොරු කියා දෙවිට අකීකරු වීමට ඇයව පෙලඹෙව්වා. ඒව කී දේ පිළිගත් ඇගේ ස්වාමිපුරුෂයා වූ ආදම්ද දෙවිට අකීකරු වූ නිසා මුළු මිනිස් වර්ගයාම දුක් වේදනා සහ මරණය අද්දකින්න පටන්ගත්තා.—උත්පත්ති 3:1-6, 17-19 කියවන්න.

යක්ෂයා උත්සාහ කළේ දෙවි අසාර්ථක පාලකයෙක් කියා ඇඟවීමටයි. එදා සිට මේ දක්වා බොහෝදෙනෙක් දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කර යක්ෂයාගේ පැත්ත ගෙන තිබෙන නිසා ඔහු මේ ‘ලෝකයේ පාලකයා’ බවට පත් වී තිබෙනවා.—යොහන් 14:30; එළිදරව් 12:9 කියවන්න.

2. දේවදූතයන්ව හා මිනිසුන්ව දෙවි නිර්මාණය කළේ දෝෂ සහිතවද?

දේවදූතයන්ව සහ අපව දෙවි නිර්මාණය කළ ආකාරයේ කිසිම දෝෂයක් තිබුණේ නැහැ. එමනිසා දෙවිට සම්පූර්ණයෙන්ම කීකරු වීමේ හැකියාව අප සියලුදෙනාටම තිබෙනවා. (ද්විතීය කතාව 32:5) දෙවි අපට තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබෙන නිසා හරි දේ කරනවාද වැරදි දේ කරනවාද කියා තීරණය කිරීමේ හැකියාවත් අපට තිබෙනවා. එම නිදහස භාවිත කරන ආකාරයෙන් අප දෙවිට කොතරම් ප්‍රේම කරනවාද කියා පෙන්විය හැකියි.—යාකොබ් 1:13-15; 1 යොහන් 5:3 කියවන්න.

3. දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි?

ඔහු එසේ කර තිබෙන්නේ මිනිසුන්ට දෙවිගේ පාලනයෙන් තොරව සාර්ථක විය නොහැකි බව තේරුම් කර දීමටයි. (යෙරෙමියා 10:23) ගෙවී ගිය වසර 6,000 පුරා යුද්ධ, අපරාධ, අයුක්තිය සහ ලෙඩ රෝග නැති කර දැමීමට මිනිස් පාලකයන් අසමත් වීමෙන් පැහැදිලි වන්නේ පාලනය කිරීමට අයිතිය ඇති තැනැත්තා දෙවි බවයි.—දේශනාකාරයා 7:29; 8:9; රෝම 9:17 කියවන්න.

දෙවිගේ පාලනය පිළිගන්නා අය බොහෝ ආශීර්වාද අද්දකිනවා. (යෙසායා 48:17, 18) ළඟදීම දෙවි සියලුම මිනිස් පාලන නැති කර දමන අතර පොළොවේ ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ පාලනය පිළිගන්නා අයට පමණයි.—යෙසායා 2:3, 4; 11:9; දානියෙල් 2:44 කියවන්න.

4. දෙවි මෙතරම් කාලයක් යක්ෂයාගේ පාලනයට ඉඩහැරීමෙන් අපට ලැබී තිබෙන ප්‍රයෝජනය කුමක්ද?

කිසිම මිනිසෙක් දෙවිට විශ්වාසවන්තව සිටින්නේ නැහැ කියා යක්ෂයා චෝදනා කළා. ඒ නිසා යම් කාලයකට යක්ෂයාගේ පාලනයට ඉඩහැරීමෙන් අපි දෙවිට විශ්වාසවන්තව සිට ඔහුගේ පාලනය පිළිගන්නවාද නැත්නම් මිනිස් පාලනය පිළිගන්නවාද කියා ඔප්පු කිරීමට දෙවි අපට අවස්ථාව දී තිබෙනවා.—යෝබ් 1:8-11; හිතෝපදේශ 27:11 කියවන්න.

5. දෙවිගේ පාලනය පිළිගන්නා බව පෙන්විය හැක්කේ කෙසේද?

බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වලට එකඟව දෙවිට නමස්කාර කිරීමෙන් එය පෙන්විය හැකියි. (යොහන් 4:23) එමෙන්ම යේසුස් මෙන් අපත් දේශපාලනයට සහ යුද්ධවලට කිසි ලෙසකින්වත් හවුල් නොවිය යුතුයි.—යොහන් 17:14 කියවන්න.

යක්ෂයා ඔහුගේ බලය යොදාගෙන දෙවිගේ නීතිවලට පටහැනි දේවල් පොළොව පුරා පතුරුවා තිබෙනවා. අපි එවැනි දේවල් ප්‍රතික්ෂේප කරන විට මිතුරන් සහ නෑදෑයන් අපට බැණවැදීමට හෝ සමච්චල් කිරීමට ඉඩ තිබෙනවා. (1 පේතෘස් 4:3, 4) ඒ නිසා අපි මේ ප්‍රශ්න ගැන කල්පනා කර බැලීම ඉතා වැදගත්. මම ආශ්‍රය කරන්නේ දෙවිට ප්‍රේම කරන අයවද? දෙවිගේ ප්‍රඥාවන්ත උපදෙස් මම අදාළ කරගන්නවාද? එසේ කරනවා නම් යක්ෂයා නැඟූ චෝදනාව බොරුවක් බව ඔප්පු කිරීමට අපට හැකි වෙනවා.—1 කොරින්ති 6:9, 10; 15:33 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

ආදම් වැරදි තීරණයක් ගත්තා

[17වන පිටුවේ පින්තූරය]

අපේ පාලකයා ලෙස දෙවිව පිළිගන්නවාද නැද්ද යන්න අපි ගන්නා තීරණවලින් ඔප්පු වෙනවා