Skip to content

පටුනට යන්න

දුගීකම නැති කිරීමට ගත් වෑයම්

දුගීකම නැති කිරීමට ගත් වෑයම්

දුගීකම නැති කිරීමට ගත් වෑයම්

දුගීකම මෙලොවෙන් තුරන් කිරීමට ගෙන තිබෙන සෑම වෑයමක්ම අසාර්ථක වී තිබෙනවා. ඊට එක් හේතුවක් වෙන්නේ පොහොසත් අය තමන්ගේ ධන සම්පත් අන් අය සමඟ බෙදාගැනීමට එතරම් උනන්දුවක් නොදැක්වීමයි. පුරාණයේ සිටි රජ කෙනෙක් වූ සලමොන් මෙසේ පවසා තිබෙනවා. “පීඩාවට ලක්වූවන්ගේ කඳුළු දුටිමි. එහෙත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත. ඔවුන්ට පීඩා කළ අය ඔවුන්ට වඩා බලවත් වූහ.”—දේශනාකාරයා 4:1.

අධිකාරියක් තිබෙන අයට මේ ලෝකයෙන් දුප්පත්කම නැති කිරීමට හැකි වෙයිද? ඊට පිළිතුර සලමොන් රජ පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. ‘ඒ සියල්ල සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය. එය නිෂ්ඵල උත්සාහයක් පමණි. ඇද දෙයක් කෙළින් කරන්න නොහැකියි.’ (දේශනාකාරයා 1:14, 15) දැන් අපි දුප්පත්කම නැති කිරීමට දරා තිබෙන වෑයම් කිහිපයක් සලකා බලමු.

සැලසුම් සාර්ථක වී තිබෙනවාද?

දහනවවන සියවසේදී වෙළඳාම සහ කර්මාන්ත නිසා රටවල් කිහිපයක් අධික ලෙස ධනවත් වුණා. ඒ නිසා එම රටවල සිටි ඇතැම් අය දුප්පත්කම නැති කිරීමට තමන්ට කළ හැක්කේ කුමක්ද කියා සොයා බැලුවා. ඒ සඳහා පොළොවේ තිබෙන සම්පත් සියලුම මිනිසුන් අතරේ සමසේ බෙදීමට හැකි වෙයිද යන ප්‍රශ්නය ගැන ඔවුන් කල්පනා කළා.

සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය වැනි සංකල්ප ක්‍රියාත්මක කළොත් රටක ඇති ධන සම්පත් සමසේ බෙදා දිය හැකි නිසා පන්ති භේදයෙන් තොර සමාජයක් බිහි කළ හැකියි කියා සමහර අය සිතුවා. එම සංකල්පය බොහෝදෙනා පිළිගත්තා. ඔවුන් සිතුවේ සෑම රටක්ම එම සංකල්පය ක්‍රියාත්මක කළහොත් දුප්පත් පොහොසත් භේදය නැති වෙයි කියායි. නමුත් පොහොසත් අය එම අදහසට කැමති වුණේ නැහැ. කෙසේවෙතත් ධනවත් රටවල් කිහිපයක් එම සංකල්පය පිළිගත් අතර තමන්ගේ රටේ ජනයාව ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීමට පොරොන්දු වුණා. තම රටින් දුගීකම තුරන් කර ඇති බව එම රටවල් පවසා සිටියා.

මිනිසුන් සමාජයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරයි කියා බලාපොරොත්තු වුණත් එය ඉටු වුණේ නැහැ. දුප්පතුන්ට උපකාර කිරීමේ වැඩ පිළිවෙළ නිසා ඇතැම් අය කම්මැළියන් බවට පත් වුණා. ඒ නිසා ඔවුන්ට උපකාර කිරීමට සමහර අය කැමති වුණේ නැහැ. කොහොමවුණත් පරාර්ථකාමී මිනිසුන් සිටින සමාජයක් බිහි කිරීමේ සමාජවාදී සංකල්පය සාර්ථක වුණේ නැහැ. ඊට හේතුව “කිසි පාපයක් නොකර සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියා බයිබලයේ සඳහන් වීමයි.—දේශනාකාරයා 7:20, 29.

දුප්පත්කම නැති කිරීමට මිනිසුන් දැරූ තවත් වෑයමක් සලකා බලමු. වෙහෙසී වැඩ කරනවා නම් පොහොසත් විය හැකියි යන ඇමරිකානු සංකල්පය ක්‍රියාත්මක කළොත් දුප්පත්කම නැති කළ හැකි බව බොහෝ අය විශ්වාස කළා. ඇමරිකා එක්සත් ජනපදය පොහොසත් රටක් බවට පත් වුණේ ඒ සංකල්පය නිසා බව පෙනෙන්න තිබෙනවා. ඒ නිසා බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යාපාර හා වෙළඳාම ගැන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන්ගත්තා. කෙසේවෙතත් හැම රටක්ම ධනවත් වුණේ එම සංකල්පය අනුගමනය කිරීම නිසා නොවෙයි. උදාහරණයකට, උතුරු ඇමරිකානු රටවල් ධනවත් වුණේ ඔවුන්ට ඇති තරම් ස්වාභාවික සම්පත් තිබීම සහ ජාත්‍යන්තර වෙළඳාමට පහසුවෙන්ම පිවිසීමට තිබූ හැකියාව නිසා මිස එම සංකල්පය අනුගමනය කිරීම නිසා නොවෙයි. කෙසේනමුත් සමහර රටවල් පොහොසත් වීමට දරන වෑයමේ ප්‍රතිඵලයක් ලෙස තවත් රටවල් දුගී බවට පත් වී තිබෙනවා. එම තත්වයෙන් ගොඩ එන්න දුප්පත් රටවලට උපකාර කිරීමට ධනවත් රටවල් පෙලඹෙයිද?

දුප්පත්කම නැති කිරීමට ගත් උත්සාහයක්

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූ පසු යුරෝපයේ සිටි ජනයා ආහාර හිඟයකට මුහුණ දුන්නා. ඒ නිසා එක්සත් ජනපදය තම ප්‍රතිපත්ති පිළිගන්නා රටවල කර්මාන්ත හා කෘෂිකර්මය දියුණු කිරීමට වසර හතරක් පුරා මූල්‍යමය ආධාර ලබා දුන්නා. මාෂල් සැලැස්ම ලෙස හඳුන්වන යුරෝපීය රටවල් නඟා සිටුවීමේ එම වැඩසටහන සාර්ථකත්වයක් ලැබූ බව පෙනෙන්න තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර යුරෝපයේ රටවල අන්ත දුගීකම අඩු වුණා. නමුත් එම සැලැස්මෙන් ලෝක ව්‍යාප්තව ඇති දුගීකම නැති කළ හැකිද?

එම වැඩසටහන සාර්ථක වූ නිසා එක්සත් ජනපදය ලෝකය පුරාම තිබෙන දුප්පත් රටවල කෘෂිකර්මය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ගමනාගමනය දියුණු කිරීමට ආධාර දුන්නා. එලෙස ආධාර කිරීමට ඔවුන් ඉදිරිපත් වුණේ තම වාසි ප්‍රයෝජනය සඳහා බව ඔවුන්ම පිළිගත්තා. එමෙන්ම වෙනත් ධනවත් රටවල්ද තමන්ගේ අදහස් දුප්පත් රටවල ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතුව එම රටවලට උදව් කළා. මාෂල් සැලැස්ම වෙනුවෙන් වියදම් කළ මුදලට වඩා වැඩි මුදලක් ඔවුන් ආධාර වශයෙන් ලබා දුන්නත් එම රටවලින් දුප්පත්කම නැති කරන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. සමහර රටවල් විශේෂයෙන්ම නැඟෙනහිර ආසියානු රටවල් ඒ නිසා ධනවත් වුණ බව ඇත්තයි. නමුත් වෙනත් බොහෝ රටවලින් දිලිඳුකම නැති කිරීමට හැකි වුණේ නැහැ. එම රටවල දරුවන්ගේ මරණ සංඛ්‍යාව අඩු වුණත් දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ යම් වැඩි වීමක් සිදු වුණත් ඔවුන් තවමත් සිටින්නේ අන්ත දුගී තත්වයකයි.

සාර්ථක නොවුණේ ඇයි?

යුද්ධයෙන් බැට කෑ ධනවත් රටවල් නඟා සිටුවීමට වඩා දුප්පත් රටවලින් දුප්පත්කම නැති කිරීමට වෑයම් කිරීම අපහසු දෙයක්. උදාහරණයකට, යුද්ධයට පෙර යුරෝපානු රටවල කර්මාන්ත, වෙළඳාම සහ ගමනාගමන පහසුකම් හොඳ තත්වයක තිබුණා. අවශ්‍යව තිබුණේ යුද්ධය නිසා බිඳ වැටුණු ආර්ථිකයට යම් සහයක් ලබා දීම පමණයි. නමුත් මහාමාර්ග, පාසැල් සහ රෝහල් දියුණු කිරීම වෙනුවෙන් දුප්පත් රටවලට ආධාර ලැබුණත් දුප්පත්කම නැති කිරීමට හැකි වී නැහැ. ඊට හේතුව ව්‍යාපාරික අවස්ථා හිඟ වීම, ස්වාභාවික සම්පත් නොමැති වීම හා ජාත්‍යන්තර වෙළඳාමට පහසුවෙන් පිවිසීමට හැකියාව නොතිබීමයි.

දුප්පත්කමට විසඳුම් සෙවීම පහසු නැහැ. උදාහරණයකට, දුප්පත්කම නිසා මිනිසුන්ට සනීපාරක්ෂාව වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැහැ. ඒ නිසා ඔවුන් නිතරම ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. එමෙන්ම ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට මුදල් යොදවන්න සිදු වෙන නිසා ඔවුන් තව තවත් දුප්පත් වෙනවා. ඒ වගේම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිහිටියන් වී ඔවුන්ට දරුවන් ලැබෙන විට එම දරුවන්ව රැකබලා ගැනීමට අවශ්‍ය මානසික හා ශාරීරික ශක්තිය ඔවුන්ට නැහැ. අනික් අතට ධනවත් රටවල් “ආධාර” ලෙස ඔවුන්ගේ අතිරික්ත ආහාර දුප්පත් රටවලට ලබා දෙන විට එම රටවල සිටින ජනයා ගොවිතැන අත්හරින්නත් ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වෙන්නත් පෙලඹෙනවා. ඒ නිසා දුප්පත්කම තවත් වැඩි වෙනවා. දුප්පත් රටවලට ආධාර ලැබෙන විට තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. එනම් ආධාර ලෙස ලැබෙන මුදල් සොරකම් කිරීමට මිනිසුන් පෙලඹීමයි. එය වංචනික ක්‍රියාවලට මඟ පාදනවා. එම වංචනික ක්‍රියා නිසා තවදුරටත් දුප්පත්කම වැඩි වෙනවා. විදේශ ආධාරවලින් දුප්පත්කම නැති කිරීමට නොහැකි වී තිබෙන්නේ දුප්පත්කම ඇති වීමට ප්‍රධාන හේතුවට ඒ තුළින් පිළියමක් නොලැබීම නිසයි.

දුප්පත්කමට හේතුව

අන්ත දුගීකමට හේතුව රටවල්, ආණ්ඩු හා පුද්ගලයන් තමන් ගැන පමණක් සිතා ක්‍රියා කිරීමයි. උදාහරණයකට, ඡන්දයෙන් තේරී පත් වූ ධනවත් රටවල ආණ්ඩු උත්සාහ කරන්නේ තම ඡන්ද දායකයන්ව සතුටු කිරීමටයි. ඒ නිසා ඔවුන් වෙනත් රටවලින් දුප්පත්කම නැති කිරීමට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ඡන්ද දායකයන් වන ගොවීන්ව ආරක්ෂා කිරීම සඳහා දුප්පත් රටවල අස්වැන්න තම රටට ගෙන්වාගැනීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ධනවත් රටවල ආණ්ඩු තම රටේ ගොවීන්ට ආධාර ලබා දෙනවා. එසේ කිරීම නිසා අස්වැන්න අඩු මිලකට විකිණීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. නමුත් දුප්පත් රටවල ආණ්ඩුවලට තම ගොවීන්ට ආධාර දීමට නොහැකි නිසා ඔවුන්ගේ අස්වැන්න අඩු මිලකට විකිණීමට හැකි වෙන්නේ නැහැ.

දුගීකමට හේතුව මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීම බව ඉහත තොරතුරුවලින් පැහැදිලි වෙනවා. “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියා බයිබලයේ සඳහන් වී තිබෙන්නේ ඒ නිසයි.—දේශනාකාරයා 8:9.

එසේනම් දුප්පත්කම මෙලොවින් තුරන් වෙයි කියා බලාපොරොත්තු විය හැකිද? මිනිසුන් තුළ ඇති ආත්මාර්ථකාමීත්වය නැති කිරීමට ආණ්ඩුවකට හැකිද?

[6වන පිටුවේ කොටුව]

දිලිඳුන්ට සහනයක් වූ නීති

යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට නීති මාලාවක් ලබා දුන්නා. එම නීතිවලට කීකරු වීමෙන් ඔවුන්ට බොහෝදුරට දුප්පත්කම නැති කරගැනීමට හැකියාව තිබුණා. එහි සඳහන් ලෙස පූජකයන් වන ලෙවීවරුන්ට හැර අන් සෑම කෙනෙකුටම ඉඩමක් උරුමයක් වශයෙන් ලැබුණා. යම් හේතුවක් නිසා එම ඉඩම තව කෙනෙකුට විකුණනු ලැබුවහොත් එය මිල දී ගත් තැනැත්තාට අයිති වෙන්නේ ටික කාලයකට පමණයි. වසර 50කට පසු ඉඩම් මිල දී ගත් අය ඒවා මුල් අයිතිකරුවන්ට ලබා දිය යුතුයි. (ලෙවී කතාව 25:10, 23) එම නීතිය දුප්පත් අයට මහත් සහනයක් වුණා.

ණය බරින් මිරිකී සිටින කෙනෙකුට ඉන් නිදහස් වීම සඳහා යම් සැලැස්මක්ද තිබුණා. එනම් වෙනත් පුද්ගලයෙකුට මෙහෙකාරකම් කිරීමට ඉදිරිපත් වෙමින් ඔහුගෙන් යම් මුදලක් ලබාගෙන අදාළ ණය ගෙවා දැමීමට එවැනි අයට අවස්ථාව තිබුණා. ඔහු මෙහෙකාරකමට ඉදිරිපත් වෙමින් ලබාගත් මුදල නැවත ගෙවීමට නොහැකි වුණත් හත්වෙනි අවුරුද්දේදී ඔහුගේ ස්වාමියා ඔහුව නිදහස් කළ යුතු වුණා. ඔහුව නිදහස් කරන විට ඔහුව හිස් අතින් නොයවා ධාන්‍ය සහ තම රැළේ සිටින සතුන් කිහිපදෙනෙක්ද ස්වාමියා ඔහුට ලබා දිය යුතුයි. එවිට එම මෙහෙකරුට නැවත ගොවිතැන් කිරීමට අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව දුප්පත් කෙනෙකුට මුදල් ණයට දෙන විට ඔහුගෙන් පොලියක් අය කිරීමට අවසර තිබුණේ නැහැ. එමෙන්ම දුප්පත් අයගේ ප්‍රයෝජනය සඳහා කෙතේ ධාන්‍ය කපන විට මායිමේ ඇති ධාන්‍ය ඉතුරු කරන්න කියා සඳහන් නීතියක්ද තිබුණා. ඒ නිසා කිසිම ඊශ්‍රායෙල්වරයෙකුට සිඟමන් යදින්න සිදු වුණේ නැහැ.—ද්විතීය කතාව 15:1-14; ලෙවී කතාව 23:22.

කොහොමවුණත් ඇතැම් ඊශ්‍රායෙල්වරුන් දෙවි පනවා තිබූ එම නීතිවලට කීකරු වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේම වාසි ප්‍රයෝජනය ගැන පමණක් සිතමින් ක්‍රියා කළා. (මතෙව් 22:37-40) ප්‍රතිඵලයක් ලෙස පිරිසක් ඉතා ධනවත් වූ අතර තවත් පිරිසක් දිලිඳුන් බවට පත් වුණා.