Skip to content

පටුනට යන්න

බයිබලය ලියන්න පටන්ගත්තේ කොයි කාලයේද?

බයිබලය ලියන්න පටන්ගත්තේ කොයි කාලයේද?

බයිබලය ලියන්න පටන්ගත්තේ කොයි කාලයේද?

ශුද්ධ බයිබලය අද්විතීය පොතක්. බිලියන තුනකට වඩා අධික පිරිසක් එය සලකන්නේ පරිශුද්ධ පොතක් ලෙසයි. ලොව වැඩියෙන්ම බෙදාහරිනු ලබන පොත ලෙස සැලකෙන්නේද එයයි. මේ දක්වා බයිබලය (සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන්) භාෂා 2,400කට වඩා වැඩියෙන් පරිවර්තනය කර තිබෙන අතර එහි පිටපත් බිලියන හයක් පමණ මුද්‍රණය කර තිබෙනවා.

තිහාසයේ සිට මේ දක්වා වැඩිදෙනෙක් කියවා තිබෙන පොත බයිබලය වුණත් එහි පැරණි ගිවිසුම ලෙස හැඳින්වෙන මුල් කොටස ලියවුණේ කොයි කාලයේද යන්න ගැන විවිධ මතිමතාන්තර තිබෙනවා. ඒ පිළිබඳව පොත් පත්වල තිබෙන තොරතුරු හෝ රූපවාහිනි වැඩසටහන් හරහා විශාරදයන් පවසන විවිධ අදහස් ඔබේ අවධානයට ලක් වී ඇති. ඉන් කිහිපයක් සලකා බලන්න.

“බයිබලයේ පොත් වැඩි හරියක් ලියවුණේ ක්‍රිස්තු පූර්ව අටවෙනි හා හයවෙනි සියවස අතර කාලයෙයි. එනම් අනාගතවක්තෘ යෙසායාගේ හා යෙරෙමියාගේ කාලයෙයි.”

“ගෙවී ගිය වසර දෙසීය පුරාම බයිබල් විශාරදයන් විශ්වාස කළේ පැරණි ගිවිසුමේ වැඩි කොටසක් ලියවුණෙත් සංස්කරණය කළෙත් පර්සියානු හා ග්‍රීක පාලන සමය පැවති කාලයේ බවයි. (එනම් ක්‍රි.පූ. පස්වෙනි සියවසේ සිට දෙවෙනි සියවස අතර කාලයෙයි.)

“පැරණි ගිවිසුම අයත් වන්නේ ග්‍රීක පාලන සමයටයි. (ක්‍රි.පූ. දෙවෙනි හා පළවෙනි සියවස)

‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළින්’ කියා පිළිගන්නා කෙනෙක් බයිබලය ලියවුණු කාලය ගැන ඉහත සඳහන් පරස්පර විරෝධී අදහස් සැලකිය යුත්තේ කෙසේද? (2 තිමෝති 3:16) දැන් අපි සලකා බලන කරුණුවලින් ඊට පිළිතුර දැනගත හැකියි.

බයිබලයෙන්ම සපයන සාක්ෂි

විවිධ සිද්ධීන් හා ඒවා සිදු වූ කාල පිළිබඳ තොරතුරු රැසක් බයිබලයේ අඩංගු වෙනවා. ඒවා සලකා බැලීමෙන් ඔප්පු වෙන්නේ මීට වසර 3,500කට ඉහතදී එනම් මෝසෙස්ගේ සහ යොෂුවාගේ කාලයේදී බයිබලයේ මුල් පොත් ලියවී තිබෙන බවයි. * ඉන්පසු ක්‍රි.පූ. 11වෙනි සියවසේදී සාමුවෙල්, දාවිත්, සලමොන් හා වෙනත් ලේඛකයන්ද පැරණි ගිවිසුමට අයත් තවත් පොත් ලියා තිබෙනවා. ක්‍රිස්තු පූර්ව නවවෙනි සියවසේ සිට පස්වෙනි සියවස දක්වා කාලය තුළ පැරණි ගිවිසුමට අයත් ඉතුරු පොත් ටික ලියනු ලැබුවා.

එස්තර් පොත හැරෙන්න පැරණි ගිවිසුමට අයත් අනික් සියලුම පොත්වල අත්පිටපත් මළ මුහුද ආශ්‍රිතව සොයාගත් ලියවිලි අතර තිබෙනවා. ඒ පැරණි ලියවිලි පර්යේෂණය කර ඒවා කාබන් 14 පරීක්ෂණයටද ලක් කිරීමෙන් හෙළි වී තිබෙන්නේ ඒ අතර වූ පැරණිතම ලියවිලි ක්‍රි.පූ. 200ත් 100ත් අතර කාලයට අයත් බවයි.

විවේචකයන්ගේ අදහස්

බයිබලය ලියවුණේ කුමන කාලයේද යන්න ගැන බයිබලයේම තිබෙන සාක්ෂි ඇතැම් අය පිළි නොගන්නේ එය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් බව එහිම සඳහන් වී තිබෙන නිසයි. උදාහරණයකට මහාචාර්ය වෝල්ට සී. කේයිසර් ඔහුගේ පොතේ ලියා තිබෙන මේ අදහස සලකා බලන්න. “බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බව එහි සඳහන් වන නිසාත් එහි ආශ්චර්යවත් ක්‍රියා මෙන්ම දෙවි කෙනෙකු ගැන සඳහන් වන නිසාත් එය විශ්වාස කරන්න බැහැ.” එවැනි විශාරදයන් කියා සිටින්නේ විවේචනාත්මක ඇසකින් එහි ඇති තොරතුරු කියවිය යුතු බවයි.—එම පොත The Old Testament Documents.

බයිබලය ඈත අතීතයේ ලියවුණු බව පිළි නොගැනීමට ඔවුන් ඉදිරිපත් කරන තවත් හේතුවක් බලමු. ඈත අතීතයේදී මිනිසුන් පුරුදු වී සිටියේ සොබාදහමට වැඳුම්පිදුම් කිරීමටයි. ඉන්පසු දෙවි දේවතාවුන් රැසකට වන්දනාමාන කිරීම ඇරඹුණා. එක දෙවි කෙනෙකුට නමස්කාර කිරීමේ සිරිත ඇරඹුණේ ඉන් අනතුරුවයි. බයිබලයේ මුල් පොත්වල එක දෙවි කෙනෙකුට පමණක් නමස්කාර කිරීමට දිරිගන්වා තිබෙන නිසා ඒවා ලියවී තිබෙන්නේ එතරම් ඈත කාලයක නොවෙයි කියා ඔවුන් තර්ක කරනවා.

බයිබලය සෑම අතින්ම පුළුල් ලෙස පර්යේෂණයට ලක් වෙමින් තිබෙන පොතක්. උදාහරණයකට, එය ලියා තිබෙන ආකාරය, එහි ඇති වාර්තාවල නිවැරදිභාවය මෙන්ම එහි ඇති සමහර තොරතුරු මිනිසුන් සාමාන්‍යයෙන් විශ්වාස කරන දේවලට සම්බන්ධ වන ආකාරය ගැන විවිධ විවේචන තිබෙන බව පැරණි ගිවිසුම සම්බන්ධයෙන් මෑතකදී පළ වූ එක් ශබ්දකෝෂයක සඳහන් වී තිබෙනවා.

බොහෝ විශාරදයන් මහාචාර්ය ආර්. ඊ. ෆ්‍රයිඩ්මන් ලියූ මේ අදහසට එකඟ වෙනවා. “අතීතයේ සිටි ලේඛකයන් කවි, වාර්තා සහ නීතිමය තොරතුරු ඇතුළත් ලියවිලි සකස් කළා. වසර සිය ගණනාවක් පුරා සැකසූ එවැනි ලියවිලි එකතු කරගත් අය ඒ ඇසුරින් බයිබලය සකස් කළා.”

බයිබලය සම්බන්ධයෙන් තිබෙන විවේචනාත්මක අදහස් ගැන විස්තර කර තිබෙන එක් පොතක මෙසේ සඳහන් වී තිබෙනවා. “බයිබලය පිළි නොගන්නා බොහෝ විශාරදයන් තම තමන්ගේ අදහස් උසස් කොට සැලකුවත් ඔවුන් එකිනෙකා දරන අදහස් අතර කිසි එකඟතාවක් නැහැ.”—Faith, Tradition, and History.

බාහිර සාක්ෂි

බයිබලයේ මුල් පොත් ලියවුණේ දිරාපත් වී යන අමුද්‍රව්‍යවලයි. එමනිසා මෝසෙස්, යොෂුවා, සාමුවෙල් සහ දාවිත් වැනි අය ලියූ ලියවිලි හෝ ඒවායේ මුල් පිටපත් සොයාගැනීමට ලැබෙයි කියා සිතන්න බැහැ. නමුත් බාහිර සාක්ෂි සලකා බැලීමෙන් ඇතැම් විශාරදයන් හා ඉතිහාසඥයන් බයිබලය ලියවුණු කාලය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදි බව අවබෝධ කරගෙන තිබෙනවා. ඊට දායක වී තිබෙන සාක්ෂි කිහිපයක් දැන් සලකා බලමු.

මීට වසර 3,500කට කලින් එනම් මෝසෙස් හා යොෂුවා ජීවත් වූ කාලයේදී මැදපෙරදිග රටවල ලිඛිත වාර්තා තිබුණාද? ඔව්. උදාහරණයකට, මෙසපොතේමියාවේ හා ඊජිප්තුවේ සිටි ජනයා ඓතිහාසික, ආගමික, නීතිමය හා සාහිත්‍යමය තොරතුරු ලේඛනගත කර තිබෙනවා. එසේනම් මෝසෙස් ඇතුළු අනික් බයිබල් ලේඛකයන් තොරතුරු වාර්තා කළේ නැහැ කියා කිව හැකිද? එක් ශබ්දකෝෂයක ඊට පිළිතුරු මෙසේ සඳහන් වෙනවා. “ලෝකඩ යුගයේ [එනම් ක්‍රි.පූ. 1550-1200 අතර කාලයේ] ලිඛිත වාර්තා තිබුණේ නැහැ කියා සිතීමට කිසිම පදනමක් නැහැ. ඈත අතීතයේ එලෙස ලේඛන කටයුතු සිදු වුණා නම් මෝසෙස් විසින් ලියූ පොත් ඔහු විසින් නොලිව්වා කියා සිතීමට කිසිම පදනමක් නැහැ.” (Dictionary of the Old Testament: Pentateuch.)—නික්මයාම 17:14; 24:4; 34:27, 28; ගණන් කතාව 33:2; ද්විතීය කතාව 31:24.

බයිබල් ලේඛකයන් වෙනත් පැරණි ලියවිලිවලට යොමු දැක්වුවාද? බයිබලයේ ඇතැම් පොත්වල යම් ‘ලියවිලි’ සම්බන්ධයෙන් සඳහන් වී තිබෙනවා. ඒවා රජවරුන්ගේ පාලනයන් ගැන සඳහන් වාර්තා, පෙළපත් වාර්තා, ඓතිහාසික වාර්තා හෝ ගෝත්‍ර හා පවුල් වාර්තා විය හැකියි.—ගණන් කතාව 21:14; යොෂුවා 10:13; 2 සාමුවෙල් 1:18; 1 රාජාවලිය 11:41; 2 ලේකම් 32:32.

මළ මුහුදෙන් සොයාගනු ලැබූ බයිබල් පිටපත්වලට වඩා පැරණි පිටපත් මේ දක්වා සොයාගෙන නැත්තේ ඇයි? එක් සඟරාවක මෙසේ සඳහන් වෙනවා. “පැපිරස් කොළවල හෝ සත්ව සම්වල ලියූ ලියවිලි පලස්තීනය අවට ප්‍රදේශවල බොහෝවිට ඉතුරු වුණේ නැහැ. තෙතමනය නිසා ඒවා ඉක්මනින්ම විනාශ වුණා. ඒවා ආරක්ෂිතව තිබුණේ මළ මුහුද ආශ්‍රිත ප්‍රදේශ හා සමාන ශුෂ්ක ප්‍රදේශවල පමණයි. නමුත් මේ දක්වා පැරණි ලියවිලි සොයාගැනීමට නොලැබීමෙන් එවැනි ලියවිලි නොතිබුණ බව අදහස් වෙන්නේ නැහැ.” අතීතයේදී ලියවිලි මුද්‍රා කිරීම සඳහා භාවිත කළ මැටි මුද්‍රා සිය ගණනක් මේ වන විට සොයාගෙන තිබෙනවා. පැපිරස් කොළ සහ සත්ව සම්වල ලියූ ලියවිලි තෙතමනය නිසා හෝ ගින්නෙන් විනාශ වී ගියත් ඒවා මුද්‍රා කිරීමට භාවිත කළ මැටි මුද්‍රා ඉතුරු වී තිබෙනවා. ඒ මැටි මුද්‍රා ක්‍රි.පූ. නවවන හා පස්වන සියවස් අතර කාලයට අයත් වෙනවා.—එම සඟරාව Biblical Archaeology Review.

බයිබලයේ අත්පිටපත් ආරක්ෂා වුණේ කොහොමද? ඒ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “බයිබලයේ සඳහන් කතන්දර, ගීතිකා, නීති සහ අනාවැකි ඇතුළත් පොත් මේ දක්වා ආරක්ෂා වී තිබීමෙන් පැහැදිලි වන්නේ අතීතයේදී ඒවා නැවත නැවත පිටපත් කර තිබෙන බවයි. එසේ කළේ ඒවාවල අඩංගු කරුණු ඒ කාලයේ සිටි අය ප්‍රයෝජනයට ගත් නිසයි. එසේ නොවුණා නම් ඒවා බොහෝ වාරයක් පිටපත් කිරීමට කිසිවෙකු වෙහෙසෙන්නේ නැහැ.” (The Bible as It Was)—ද්විතීය කතාව 17:18; හිතෝපදේශ 25:1.

ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවස දක්වා වසර 1,500ක කාලයක් පුරා පැරණි ගිවිසුමට අයත් පොත් පිටපත් කර තිබෙන බව ඉන් පැහැදිලි වෙනවා. එසේ පිටපත් කිරීමේදී “අතීතයේදී පිළිගත් ක්‍රියාවලියක්ව තිබූ යල් පැන ගිය ව්‍යාකරණ හා අක්ෂර අලුත් කිරීම සිදු වුණා” කියා එක් පොතක පෙන්නුම් කරනවා. * ඒ නිසා ලියවිලිවල භාවිත කර තිබෙන අකුරුවල හෝ ඒවායේ රටාවල වෙනස්කම් තිබූ පමණින් ඒවා විවේචනයට ලක් කිරීම පදනම් විරහිතයි.—එම පොත On the Reliability of the Old Testament.

බයිබලය ලියවුණු කාලය

මෝසෙස්, යොෂුවා සහ සාමුවෙල් වැනි අය ලියූ ලියවිලි මේ දක්වා සොයාගැනීමට නොලැබීමෙන් බයිබලයේ මුල් පොත් ඈත අතීතයේදී ලියවුණේ නැහැ කියා පැවසීම නිවැරදිද? බොහෝ විශාරදයන් කියා සිටින්නේ එම ලියවිලි සොයාගැනීමට නොලැබීමෙන් ඒවා අතීතයේදී තිබුණේ නැහැ කියා පැවසීමට නොහැකි බවයි. ඇත්තෙන්ම දිරාපත් වී යන අමුද්‍රව්‍යය යොදාගෙන ලියන ලද ලියවිලි මේ දක්වා තිබෙයි කියා බලාපොරොත්තු විය හැකිද? ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන හදාරන පුරාවිද්‍යාඥයෙක් වන කේ. ඒ. කීචන් පවසා සිටියේ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර බිහි වීමට කලින් පැපිරස් කොළවල ලියූ සියලුම ලියවිලි පාහේ විනාශ වී ගිය බවයි.

බයිබලය විශ්වාසවන්ත පොතක් ලෙස පිළිගන්න කැමති අය තමන්ගෙන්ම මේ ප්‍රශ්නය අසාගැනීම සුදුසුයි. ‘යේසුස් පැරණි ගිවිසුම සැලකුවේ කෙසේද?’ එහි සඳහන් සියලුම තොරතුරු සහ විවිධ සිද්ධීන් සිදු වූ කාලවල් ගැන ඇති විස්තර ඉතා නිවැරදි බව අනිකුත් යුදෙව්වන් මෙන් ඔහුද පිළිගත්තා. නමුත් බයිබලයේ මුල් පොත් ලියූ බවට පිළිගන්නා ලේඛකයන් විසින්ම ඒවා ලිව්වා කියා ඔහු පිළිගත්තාද?

යේසුස් ‘මෝසෙස්ගේ ලියවිල්ල’ ගැනද සඳහන් කළා. (මාක් 12:26; යොහන් 5:46) උදාහරණයකට, මෝසෙස් ලියූ උත්පත්ති (මතෙව් 19:4, 5; 24:37-39); නික්මයාම (ලූක් 20:37); ලෙවී කතාව (මතෙව් 8:4); ගණන් කතාව (මතෙව් 12:5); ද්විතීය කතාව (මතෙව් 18:16) යන බයිබලයේ ඇති මුල් පොත් පහේ තිබෙන තොරතුරු ඔහු නිතර සඳහන් කළා. එමෙන්ම ‘මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත් ගීතාවලියෙත් මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතුයි’ කියාත් ඔහු පැවසුවා. (ලූක් 24:44) ඒ අනුව මෝසෙස් ඇතුළු වෙනත් බයිබල් ලේඛකයන් විසින් පැරණි ගිවිසුම ලිව්වා කියා යේසුස් පිළිගැනීමෙන් ඇඟවෙන්නේ එය ලියවුණු කාලය ගැන ඔහුට කිසි සැකයක් නොතිබුණ බවයි.

බයිබලය ලියවුණු කාලය ගැනත් ඒ සම්බන්ධයෙන් බයිබලයේ තිබෙන සාක්ෂි විශ්වාස කළ හැකිද කියාත් අපි මෙම ලිපියෙන් සලකා බැලුවා. ඊට අමතරව බයිබලය ලියූ කාලය සම්බන්ධයෙන් විශාරදයන්ගේ විවිධ අදහස්, ඒ සම්බන්ධයෙන් බයිබලයේ තිබෙන සාක්ෂි හා බාහිර සාක්ෂි මෙන්ම පැරණි ගිවිසුම යේසුස් සැලකුවේ කෙසේද යන කාරණා ගැනත් අපි මෙම ලිපියෙන් සලකා බැලුවා. ඒ ගැන ඔබේ නිගමනය කුමක්ද? යේසුස් පැවසූ ලෙස ඔබත් දෙවිගේ වචනය සත්‍යයයි කියා පිළිගන්නවාද?—යොහන් 17:17.

[පාදසටහන්වල]

^ 9 ඡේ. බයිබලයේ සඳහන් යම් දේවල් සිදු වූ කාලය නිශ්චය කරගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures 1වෙනි වෙළුමේ 447 සිට 467 දක්වා පිටු බලන්න.

^ 23 ඡේ. වර්ෂ 2007 මාර්තු 15 මුරටැඹ සඟරාවේ 18-20 දක්වා පිටුවල ඇති “දෙවිගේ වචනයේ පිටපත්කරුවෝ” යන ලිපිය බලන්න.

[20-23වන පිටුවල වගුව⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

(කාල රේඛාවේ පෙන්වා තිබෙන්නේ දළ වශයෙන් බයිබලයේ පොත් ලියවුණු වර්ෂයි)

ක්‍රි.පූ. 2000

1800

[පින්තූරය]

ඊජිප්තුවේ පිටපත්කරුවන් මෝසෙස් සිටි කාලයටත් කලින් ලියවිලි සම්පාදනය කළා

[හිමිකම් විස්තර]

© DeA Picture Library/​Art Resource, NY

1600

[පින්තූරය]

ක්‍රිස්තු පූර්ව 1513දී මෝසෙස් උත්පත්ති පොත ලියා අවසන් කළා. කාලයත් සමඟම ඒවා දිරාපත් වුණා

උත්පත්ති ක්‍රි.පූ. 1513

යොෂුවා

1400

1200

සාමුවෙල්

ක්‍රි.පූ. 1000

[පින්තූරය]

මැටි මුද්‍රා සිය ගණනක් සොයාගෙන තිබෙනවා

ක්‍රි.පූ. 900 හා 500 අතර කාලය

යෝනා

800

යෙසායා

600

යෙරෙමියා

දානියෙල්

[පින්තූරය]

නූලකින් ගැටගසා මැටි මුද්‍රාවක් තබා තිබෙන පැපිරස් ලියවිල්ලක්

ක්‍රි.පූ. 449 සිට

[හිමිකම් විස්තර]

Brooklyn Museum, Bequest of Theodora Wilbour from the collection of her father, Charles Edwin Wilbour

400

200

[පින්තූරය]

මළ මුහුදෙන් සොයාගත් ලියවිලි ලිනන් රෙදිවලින් ඔතා මැටි භාජනවල සුරක්ෂිතව තබා තිබුණා. දැනට සම්බ වී ඇති පැරණිතම බයිබල් අත්පිටපත් ඒවායි

ක්‍රි.පූ. 200 හා 100 අතර කාලය

[හිමිකම් විස්තර]

Shrine of the Book, Photo © The Israel Museum, Jerusalem