Skip to content

පටුනට යන්න

මිය ගිය අයට යළි ජීවිතය ලැබෙයිද?

මිය ගිය අයට යළි ජීවිතය ලැබෙයිද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

මිය ගිය අයට යළි ජීවිතය ලැබෙයිද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. මිය ගිය අය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිද?

බෙතානියේ ජීවත් වූ ලාසරුස් මිය ගියා. ඉන් දින හතරකට පසු එහි පැමිණි යේසුස්, ලාසරුස්ගේ සහෝදරියන් දෙදෙනා වූ මාර්තා සහ මරියා සමඟ ලාසරුස්ගේ සොහොන් ගෙය වෙත ගියා. ඉන් අනතුරුව ඔහු ලාසරුස්ට යළි ජීවිතය ලබා දුන්නා. ඒ මොහොතේ මාර්තා හා මරියා මොන තරම් සතුටු වෙන්න ඇද්ද?—යොහන් 11:20-24, 38-44 කියවන්න.

මිය ගිය අයට යම් කාලයකදී යළි මේ පොළොවේ ජීවත් වෙන්න ලැබෙන බව මාර්තා විශ්වාස කළා. මාර්තා පමණක් නොව පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ද එය විශ්වාස කළා.—යෝබ් 14:14, 15 කියවන්න.

2. මිය ගිය අයගේ තත්වය කුමක්ද?

මිනිසුන් තුළ හෝ සතුන් තුළ ආත්මයක් නැහැ. සියලුම ජීවින්ට ජීවත් වීමට හැකියාව තිබෙන්නේ ජීව බලය නිසයි. (දේශනාකාරයා 3:19; උත්පත්ති 7:21, 22) දෙවි, මිනිසාව නිර්මාණය කළේ දූවිල්ලෙන්. (උත්පත්ති 2:7; 3:19) මිනිසුන් මිය යන විට මොළයේ ක්‍රියාකාරිත්වය නතර වන නිසා කිසිම දෙයක් ගැන කල්පනා කරන්න ඔවුන්ට බැහැ. එමෙන්ම ඔවුන්ට කිසිම දෙයක් දැනෙන්නේද නැහැ. උදාහරණයකට, ලාසරුස්ට නැවත ජීවිතය ලැබුණු පසු මිය ගොස් සිටි දින හතර තුළ තමාට සිදු වූ කිසිම දෙයක් ගැන ලාසරුස් නොපැවසුවේ ඒ නිසයි.—ගීතාවලිය 146:4; දේශනාකාරයා 9:5, 10 කියවන්න.

ඉන් පැහැදිලි වෙන්නේ මිය ගිය අය දුක් නොවිඳින බවයි. එසේනම් මිය ගිය පව්කාරයන්ව දෙවි අපායට දමා වධ වේදනා පමුණුවනවා යන ඉගැන්වීම බොරුවක්. එය දෙවිට නින්දා කිරීමක්. ඇත්තෙන්ම මිනිසුන්ව ගින්නෙන් පිලිස්සීම යන සිතුවිල්ල පවා යෙහෝවා දෙවි පිළිකුල් කරනවා.—යෙරෙමියා 7:31 කියවන්න.

3. මිය ගිය අය සමඟ කතා කළ හැකිද?

මිය ගිය අයට කතා කරන්න බැහැ. (ගීතාවලිය 115:17) නමුත් භූතයන් මිය ගිය අයගේ කටහඬින් මිනිසුන්ට කතා කරනවා. (2 පේතෘස් 2:4) ඒ නිසා මිය ගිය අය නොපෙනෙන ආත්ම හැටියට ජීවත් වෙනවා කියා මිනිසුන් සිතනවා. ඇත්තෙන්ම, මිය ගිය අය සමඟ කතා කිරීම යෙහෝවා දෙවි හෙළාදකිනවා.—ද්විතීය කතාව 18:10, 11 කියවන්න.

4. නැවත ජීවිතය ලැබෙන්නේ කාටද?

පාරාදීස පොළොවේදී මිය ගිය මිලියන ගණනකට නැවත ජීවිතය ලැබෙනවා. යෙහෝවා දෙවි ගැන නොදැන වැරදි කළ අයත් ඒ අය අතර සිටිනවා.—ලූක් 23:43; ක්‍රියා 24:15 කියවන්න.

ඔවුන්ට දෙවි ගැන සත්‍යය දැනගන්නත් යේසුස්ට කීකරු වෙන්නත් අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 20:11-13) ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන අයට පොළොව මත සදාකාලයටම ජීවත් වීමට අවස්ථාව ලැබෙන අතර දෙවිට අකීකරු වෙන අය සදහටම විනාශ වෙනවා. ඔවුන් විනාශ වීමට පෙර විනිශ්චයට ලක් වෙන නිසා ඔවුන්ගේ නැවත නැඟිටීම “විනිශ්චයක් සඳහා නැවත නැඟිටීමක්” වෙනවා.—යොහන් 5:28, 29 කියවන්න.

5. එවැනි බලාපොරොත්තුවක් දීමෙන් යෙහෝවා දෙවි ගැන හෙළි වන්නේ කුමක්ද?

නැවත නැඟිටීම පිළිබඳ බලාපොරොත්තුවක් අපට තිබෙන්නේ දෙවි අප වෙනුවෙන් ඔහුගේ පුත්‍රයාගේ ජීවිතය දුන් නිසයි. ඔහු මිනිසුන්ට කොතරම් ප්‍රේම කරනවාද කියා ඉන් පැහැදිලි වෙනවා.—යොහන් 3:16; රෝම 6:23 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 6වන සහ 7වන පරිච්ඡේද බලන්න.

[16වන පිටුවේ පින්තූරය]

ආදම්ව නිර්මාණය කළේ දූවිල්ලෙන්