Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

රූප නමස්කාර කළ කාන්තාවක් එය අත්හැරියේ ඇයි? ෂින්ටෝ පූජකයෙක් ක්‍රිස්තියානියෙක් බවට පත් වුණේ ඇයි? කාත් කවුරුත් නැහැ යන හැඟීම නිසා අධෛර්යයට පත්ව සිටි කාන්තාවක් ඉන් ගොඩ ආවේ කෙසේද? ඒ ගැන ඔවුන්ම පවසන දේවල් දැන් අපි සලකා බලමු.

“මම දැන් රූපවලට නමස්කාර කරන්නේ නැහැ.”—අබා ඩාන්සූ

උපත ලැබූ වසර: 1938

රට: බෙනින්

අතීතයේදී: රූපවලට නමස්කාර කළ කෙනෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ සොචාහුවේ කියන ගමෙයි. ඒ ගම තිබුණේ වැවක් ළඟයි. ගමේ හිටිය සමහර අය ගවයන්, එළුවන්, බැටළුවන්, ඌරන් සහ කුරුල්ලන්ව ඇති කළා. තවත් අය ධීවරයන්. අපේ ගමේ මිනිසුන් එහේ මෙහේ ගියේ බෝට්ටුවලිනුයි. සමහර ගෙවල් ගඩොල්වලින් හදලා තිබුණත් ගොඩක් ගෙවල් හදලා තිබුණේ ලී සහ පිදුරු පාවිච්චි කරලයි. ගමේ මිනිස්සු හුඟක් දුප්පත් වුණත් හැමෝම වගේ සමඟියෙන් හිටියා.

මම පොඩි කාලේ මගේ තාත්තා මාවයි මගේ අක්කවයි කන්‍යාරාමයක නතර කළා. එහෙදී අපිට ඒ අයගේ සම්ප්‍රදායික වත්පිළිවෙත් ඉගැන්නුවා. මම ලොකු වුණාට පස්සේ යොරුබාවරුන් නමස්කාර කළ ඩුඩුආ දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. ඒ දෙවිට නමස්කාර කරන්න මම වෙනම තැනක් හදාගත්තා. හැමදාම අල වර්ග, පාම් තෙල්, ගොළුබෙල්ලන්, කුකුළන් සහ පරෙවියන් වගේ විවිධ සතුන්ව මම පූජා කළා. ඒ දේවල්වලට මට ලොකු වියදමක් දරන්නත් සිද්ධ වුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: එකම සැබෑ දෙවි වන්නේ යෙහෝවා බවත් ඔහු රූප නමස්කාරය හෙළා දකින බවත් මම බයිබලයෙන් ඉගෙනගත්තා. (නික්මයාම 20:4, 5; 1 කොරින්ති 10:14) ඒ නිසා අපේ ගෙදර තිබුණු රූප නමස්කාරයට සම්බන්ධ හැම දෙයක්ම මම විසි කරලා දැම්මා. පේන බලන්න යන එකත් මම නැවැත්තුවා. ඒ වගේම ආගමික හා අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍රවලට හවුල් වෙන එකත් මම නතර කළා.

හැට ගණන්වල හිටිය මට ඒ වගේ වෙනසක් කරන එක ලේසි වුණේ නැහැ. මගේ යාළුවන්, නෑදෑයන් සහ අසල්වැසියන් මට හොඳටම දොස් කිව්වා. මට විහිළුත් කළා. හැබැයි දිගටම හරි දේ කරන්න මට උදව් කරන්න කියලා මම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. බයිබලයේ හිතෝපදේශ 18:10හි සඳහන් මේ වදන් පෙළ මට ලොකු ශක්තියක් වුණා. “යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමෙනුත් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. ඇත්තටම සාක්ෂිකරුවන් හරිම ප්‍රේමණීය සෙනඟක්. ඒ අය බයිබලයේ තියෙන ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න ගන්න උත්සාහය දකිද්දී මට පුදුමත් හිතුණා. මේක තමයි සැබෑ ආගම කියලා මට හොඳටම පැහැදිලි වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: බයිබල් ප්‍රතිපත්ති මගේ ජීවිතයට අදාළ කරගත්ත නිසා මගේ දරුවන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න මට පුළුවන් වුණා. ඇත්තම කියනවා නම් මට දැන් ලොකු සහනයක් දැනෙනවා. ඉස්සර මම රූපවලට නමස්කාර කරන කොට පූජා ඔප්පු කරන්න ලොකු වියදමක් දැරුවා. ඒත් ඒ කිසිම දෙයකින් මට සහනයක් ලැබුණේ නැහැ. හැබැයි මම දැන් රූපවලට නමස්කාර කරන්නේ නැහැ. ඒ වෙනුවට මම දැන් නමස්කාර කරන්නේ අපේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න හැකියාවක් තියෙන යෙහෝවා දෙවිටයි. (එළිදරව් 21:3, 4) ඒ නිසා මම ඉන්නේ හුඟක් සතුටින්. ඒ වගේම මට දැන් ලොකු ආරක්ෂාවක් දැනෙනවා.

“පොඩි කාලේ ඉඳලම මම හෙව්ව සැබෑ දෙවිව මට හම්බ වුණා!”—ෂින්ජී සාටෝ

උපත ලැබූ වසර: 1951

රට: ජපානය

අතීතයේදී: ෂින්ටෝ පූජකයෙක්

මගේ අතීතය: මම හැදී වැඩුණේ ෆුකෝකා කියන නගරයේයි. මගේ අම්මයි තාත්තයි ආගම දහමට හරිම ළැදියි. ඒ නිසා පොඩි කාලේ ඉඳලම ෂින්ටෝ දෙවිවරුන්ට නමස්කාර කරන්න ඒ අය මාව පුහුණු කළා. පොඩි කාලේ ඉඳලම දෙවිට සේවය කරන්නත් මනුෂ්‍යයන්ට උපකාර කරන්නත් මට ලොකු උවමනාවක් තිබුණා. මට මතකයි දවසක් අපේ පංතියේ ගුරුතුමා ළමයින්ගෙන් ඇහුවා ලොකු වුණාට පස්සේ කවුරු වෙන්නද කැමති කියලා. හැමෝම වගේ කිව්වේ විද්‍යාඥයන් වගේ උසස් අය වෙන්න කැමතියි කියලයි. ඒත් මම කිව්වේ මං කැමති දෙවිට සේවය කරන්න කියලා. එතකොට හැමෝම මට හිනා වුණා.

පාසැල් අධ්‍යාපනය ඉවර කළාට පස්සේ මම ෂින්ටෝ පූජකයෙක් වෙන්න ඉගෙනගන්න පටන්ගත්තා. එහෙදී මම දැක්කා ෂින්ටෝ පූජකයෙක් නිතරම වගේ කලු පාට කවරයක් තියෙන පොතක් කියවනවා. දවසක් එයා මගෙන් ඇහුවා “මේ පොත මොකක්ද කියලා ඔයා දන්නවාද?” එතකොට මම කිව්වා “මේක බයිබලයක්නේ.” ඊටපස්සේ එයා මට කිව්වා “ෂින්ටෝ පූජකයෙක් වෙන්න කැමති හැමෝම මේ පොත කියවන්න ඕනේ” කියලා.

එදාම මම බයිබලයක් අරගෙන ඒක මගේ පුස්තකාලයේ හොඳට පෙනෙන තැනකින් තිබ්බා. ඒ වගේම මම ඒක හොඳින් පරෙස්සම් කළා. ඒත් මට ගොඩක් වැඩ තිබුණු නිසා ඒක කියවන්න වෙලාවක් ලැබුණේ නැහැ. මගේ පුහුණුව ඉවර වුණාට පස්සේ පොඩි කාලේ ඉඳලා තිබුණු මගේ සිහිනේ සැබෑ වුණා. මම ෂින්ටෝ පූජකයෙක් වුණා.

හැබැයි ෂින්ටෝ පූජකයන් අතරින් හුඟදෙනෙක් මිනිස්සු ගැන එතරම් සැලකිල්ලක් දැක්වුවේ නැහැ කියලා මට තේරුණා. ඒ වගෙම ඔවුන්ට දෙවියන් ගැන දැඩි විශ්වාසයක් තිබුණෙත් නැහැ. එක පූජකයෙක් මට මෙහෙම කිව්වා “ඔයාට හොඳ තැනකට එන්න ඕනෙ නම් දාර්ශනික අදහස් විතරක් කතා කරන්න. ආගමික විශ්වාසයන් ගැන නම් කතා කරන්න එපා.” මේ හැම දේකින්ම මට තේරුණා ෂින්ටෝ පූජකයෙක් වෙලා මම කරන්න බලාපොරොත්තු වුණ කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ කියලා.

ෂින්ටෝ ආගම ගැන මම කලකිරුණා. ඒ නිසා පූජකයෙක් විදිහට වැඩ කරන ගමන් මම වෙනත් ආගම් ගැනත් හොයලා බැලුවා. හැබැයි ඒ එකකින්වත් මම හෙව්ව දේ ලැබුණේ නැහැ. ඒ නිසා මම තවත් අධෛර්යය වුණා. සත්‍ය ආගමක් නැහැ කියලයි මට හිතුණේ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: එක දවසක් මට බෞද්ධ කෙනෙක්ව මුණගැහුණා. එයා මට බයිබලය කියවන්න දිරිගැන්නුවා. ඊට අවුරුදු කිහිපයකට කලින් ෂින්ටෝ පූජකයෙකුත් ඒ දේ කරන්න මාව දිරිගැන්නුවා කියලා මට මතක් වුණා. ඒ නිසා බයිබලය කියවන්න මම තීරණය කළා. ඒක කියවන්න පටන්ගත්තාම මට කොච්චර ආස හිතුණාද කියනවා නම් සමහර දවස්වල රෑ එළි වෙනකම් මම බයිබලය කියෙව්වා.

බයිබලයෙන් කියෙව්ව දේවල් නිසා දෙවිට යාච්ඤා කරන්න මට ආස හිතුණා. මතෙව් 6:9-13හි සඳහන් වෙලා තියෙන යාච්ඤාව මම කටපාඩමින් කියන්න පටන්ගත්තා. ෂින්ටෝ ආගමේ වත්පිළිවෙත් කරන ගමන් හැම පැය දෙකකටම සැරයක් මම ඒ යාච්ඤාව කිව්වා.

මේ වෙන කොට මම විවාහ වෙලයි හිටියේ. මගේ නෝනට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙලා තිබුණා. ඒ නිසා ඔවුන් බයිබලයේ තියෙන දේවල් මිනිසුන්ට උගන්වනවා කියලා මම දැනගෙන හිටියා. මට බයිබලය ගැන හුඟක් ප්‍රශ්න තිබුණු නිසා සාක්ෂිකරුවෙක්ව හමු වෙලා මම ඒ ප්‍රශ්න ටික ඇහුවා. ඒ හැම ප්‍රශ්නයකටම එයා බයිබලයෙන් උත්තර දුන්නම මට හුඟක් පුදුම හිතුණා. එදා ඉඳන් මම දිගටම සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා.

ඒත් එක්කම වගේ මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙන්නත් පටන්ගත්තා. මම කලින් බැනලා එළවපු සාක්ෂිකරුවනුත් එතැන හිටියා. හැබැයි ඒ හැමෝම මාව ආදරයෙන් පිළිගත්තා.

ස්වාමිපුරුෂයෙක් විදිහට මම මගේ පවුලේ අයට ආදරයෙනුත් ගෞරවයෙනුත් සලකන එක දෙවි මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා මම ඉගෙනගත්තේ රැස්වීමට ගිය පස්සෙයි. ඒ වෙන කල් මම මගේ බිරිඳටත් දරුවන්ටත් වැඩි අවධානයක් දීලා තිබුණේ නැහැ. පූජකයෙක් විදිහට මම අනිත් අයට ඇහුම්කන් දුන්නත් මගේ බිරිඳට ඇහුම්කන් දීලා තිබුණේ නැහැ කියලා මට තේරුණා.

මට යෙහෝවා දෙවි ගැන ගොඩක් තොරතුරු ඉගෙනගන්න ලැබුණු නිසා දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න මට පුළුවන් වුණා. රෝම 10:13හි සඳහන් මෙම වදන් මගේ හිතට තදින්ම කා වැදුණා. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.” පොඩි කාලේ ඉඳලම මම හෙව්ව සැබෑ දෙවිව මට හම්බ වුණා!

ෂින්ටෝ ආගමෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න මට ලොකු උවමනාවක් තිබුණා. හැබැයි අනික් අය ඒ ගැන මොනවා හිතයිද කියලා මම කල්පනා කළා. කොහොමවුණත් සැබෑ දෙවි ඉන්නේ ෂින්ටෝ ආගමේ නෙමෙයි කියලා මට දැනගන්න ලැබුණොත් මම මේ ආගමෙන් ඉවත් වෙනවා කියලා කලින්ම තීරණය කරලයි තිබුණේ. ඒ නිසා 1989දී මම ෂින්ටෝ පූජකකමෙන් අයින් වුණා.

හැබැයි ඒක එච්චර ලේසි වුණේ නැහැ. මම ඒ වගේ තීරණයක් ගත්ත නිසා පූජකයෝ මට හොඳටම බැන්නා. ඒ අය උත්සාහ කළේ මාව දිගටම මෙතැන තියාගන්නයි. මට හුඟක් අමාරු වුණේ මගේ තීරණය ගැන දෙමාපියන්ට කියන එකයි. ඒ ගැන කියන්න ගෙදර යන අතරතුරේදී මම කීප සැරයක්ම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මම හුඟක් භයෙන් හිටිය නිසා මගේ මුළු ඇඟම පණ නැති වෙලයි තිබුණේ.

ගෙදර ගියාට පස්සේ පැය ගාණක් යන කල් මගේ තීරණය ගැන මම කිව්වේ නැහැ. හැබැයි අන්තිමට හුඟක් යාච්ඤා කරලා මං ඒ ගැන තාත්තට කිව්වා. මම ෂින්ටෝ ආගමෙන් ඉවත් වෙන්නේ සැබෑ දෙවි ගැන දැනගත්ත නිසයි කියලා තාත්තට පැහැදිලි කළා. හැබැයි තාත්තා නම් ඒ ගැන සතුටු වුණේ නැහැ. ඒ ගැන දැනගත්ත මගේ නෑදෑයනුත් මං ගත්ත තීරණය වෙනස් කරන්න උත්සාහ කළා. මට ඕන වුණේ නැහැ මගේ පවුලේ අයව රිද්දන්න. ඒත් යෙහෝවා දෙවිට සේවය කරන එක සුදුසුම දේ නිසා ඒ තීරණය ගත්තා. කාලයක් ගියාට පස්සේ මගේ පවුලේ අයත් මං ගත්ත තීරණය ගැන සතුටු වුණා.

ෂින්ටෝ ආගමේ දේවල් මගේ හිතේ මුල් බැහැලා තිබුණා. ඒ නිසා මම එතැනින් ඉවත් වුණත් මගේ මනස වෙනස් කරගන්න එක ලෙසි වුණේ නැහැ. ඒ මතක සටහන් හැම තැනම පේන්න තිබුණ නිසා ඒවා අමතක කරන්න මට අමාරු වුණා.

ඒ නිසා මම අපේ ගෙදර තිබුණ ෂින්ටෝ ආගමට සම්බන්ධ හැම දෙයක්ම පුච්චලා දැම්මා. ඒ වගේම හැම අවස්ථාවකම සාක්ෂිකරුවන්ව ආශ්‍රය කළ නිසා ඒ අය අතරින් සැබෑ මිතුරන්ව මට ලැබුණා. මගේ පැරණි මතකයන් අමතක කරලා දාන්න මේ හැම දෙයක්ම මට උදව් වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: ඉස්සර මගේ බිරිඳයි දරුවනුයි එක්ක මම කාලය ගත කළේ නැති නිසා ඒ අය හිටියේ හරිම දුකෙන්. එත් දැන් මම ඒ අයත් එක්ක කාලය ගත කරන නිසා අපි හැමෝම සතුටින් ඉන්නවා. මගේ බිරිඳ, පුතා, දුව, දුවගේ මහත්තයා, අපි හැමෝම එකතු වෙලා සතුටින් යෙහෝවා දෙවිට සේවය කරනවා.

පොඩි කාලේ ඉඳන් මට තිබුණ සිහිනය අද සැබෑ වෙලා තියෙනවා. සැබෑ දෙවිට සේවය කරන්නත් මිනිසුන්ට උපකාර කරන්නත් මට දැන් පුළුවන්. ඒ දේ කරන්න මට අවස්ථාව දුන්න එක ගැන මම යෙහෝවා දෙවිට අනේක වාරයක් ස්තුති කරනවා.

“මගේ ජීවිතයේ අඩුවක් තියෙනවා කියලා මට තේරුණා.”—ලිනෙට් හඋටිං

උපත ලැබූ වසර: 1958

රට: දකුණු අප්‍රිකාව

අතීතයේදී: කාත් කවුරුත් නැහැ යන හැඟීම නිසා දුක් විඳි කෙනෙක්

මගේ අතීතය: මම ඉපදුණේ පතල් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන ජර්මිස්ටන්වලයි. මගේ දෙමාපියන්ට මාව හදාගන්න වත්කමක් තිබුණේ නැති නිසා මං ඉපදිලා සති දෙකකට පස්සේ මාව වෙන යුවළකට දීලා තිබුණා. ඒ දෙන්නා මාව හරිම ආදරයෙන් හදා වඩා ගත්තා. හැබැයි ඒ අය මගේ ඇත්ත දෙමාපියන් නෙමෙයි කියලා දැනගත්තම මට ගොඩක් දුක හිතුණා. එයාලා මට ආදරයෙන් සැලකුවත් මගේ ජීවිතයට ලොකු අඩුවක් තියෙනවා කියලා මට දැනුණා.

මට වයස අවුරුදු 16දී විතර මම මගේ යාළුවන් එක්ක සමාජ ශාලාවලට යන්න පටන්ගත්තා. දුම්පානය කරන්නත් පුරුදු වුණා. දුම්වැටි වෙළඳ දැන්වීම්වල ඉන්න අය වගේ මගේ ඇඟ හදාගන්න මට ලොකු ආශාවක් තිබුණා. මට වයස අවුරුදු 19දී මම රැකියාවක් කරන්න පටන්ගත්තා. එතැනදී මම නරක යාළුවන්ව ආශ්‍රය කළා. මම අසභ්‍ය වචන කියන්නත් සති අන්තයන්වලදී ගොඩක් මත්පැන් බොන්නත් පටන්ගත්තා.

මම හැමදාම ව්‍යායාම් කළා. ඊට අමතරව සමහර ක්‍රීඩාවලත් නියැලුණා. මම පරිගණක අංශයෙන් කළ රැකියාවෙන් සාර්ථක වුණ නිසා බොහෝදෙනා අතර මම ප්‍රසිද්ධ වුණා. ඒ නිසා මට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා. මිනිස්සු හිතුවේ මම සන්තෝෂයෙන් ඉන්නවා කියලයි. ඇත්තම කියනවා නම් මට හැම දෙයක්ම තිබුණත් මගේ ජීවිතයේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා මට තේරුණා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මං බයිබලය ඉගෙනගන්න පටන්ගත්තාට පස්සේ මට තේරුණා යෙහෝවා දෙවි හරිම ප්‍රේමණීය කෙනෙක් කියලා. ඒ වගේම දෙවි බයිබලය අපට දීලා තියෙන්නේ ඔහු අපි ගැන සැලකිලිමත් වන නිසා කියලා මට තේරුණා. අපේ ජීවිතයට අවශ්‍ය හැම මඟ පෙන්වීමක්ම දෙවි බයිබලයට ඇතුළත් කරලා තියෙනවා. (යෙසායා 48:17, 18) ඒ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න නම් මගේ ජීවිතයේ යම් වෙනස්කම් කරන්න ඕනේ කියලා මම තේරුම්ගත්තා.

බයිබලයේ හිතෝපදේශ 13:20හි මෙහෙම කියනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” ඒ නිසා නරක යාළුවන්ව ආශ්‍රය කරන එක මම නතර කළා. ඊට පස්සේ සාක්ෂිකරුවන් අතරින් හොඳ මිතුරන්ව සොයා ගත්තා.

මම දුම්පානයට හුඟක් ඇබ්බැහි වෙලා හිටිය නිසා ඒක නතර කරන එක ලේසි වුණේ නැහැ. හැබැයි ඒක වැරදියි කියලා මම දැනගෙන හිටිය නිසා ඒක නතර කරන්න උපකාර ඉල්ලලා මම දෙවිට යාච්ඤා කළා. කොහොමහරි මම ඒක නතර කළාට පස්සේ මගේ බර කිලෝ 13කින් විතර වැඩි වුණා. ඒ බර අඩු කරගන්න මට අවුරුදු දහයක් විතර ගියා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: කලින්ට වඩා හොඳ ශරිර සෞඛ්‍යයක් දැන් මට තියෙනවා. ඉස්සර වගේ මම දැන් හුඟක් මුදල් හම්බ කරන්නවත් සමාජයේ උසස් තත්වයක් ලබාගන්නවත් උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මම දැන් බයිබලයේ තියෙන තොරතුරු අනිත් අයට කියලා දෙන නිසා සැබෑ සතුට අද්දකිනවා. යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න මගේ යාළුවෝ තුන්දෙනෙකුට උපකාර කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. දැන් ඒ තුන්දෙනත් දෙවිට සේවය කරනවා. මාව හදා වඩා ගත්ත දෙමාපියන් මිය යන්න කලින් බයිබලයේ සඳහන් වෙලා තියෙන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන එයාලට කියන්නත් මට අවස්ථාව ලැබුණා.

යෙහෝවා දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගත්ත නිසා මට කාත් කවුරුත් නැහැ යන හැඟීම නැති කරගන්න පුළුවන් වුණා. මට දැන් අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් ලෝකේ පුරාම ඉන්නවා.—මාක් 10:29, 30.

[12වන පිටුවේ පින්තූරය]

සාක්ෂිකරුවන් අතර මම ප්‍රේමය අද්දැක්කා

[13වන පිටුවේ පින්තූරය]

මම සේවය කළ ෂින්ටෝ සිද්ධස්ථානය