“අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය”
දෙවිට ළං වෙන්න
“අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය”
“මම නම් කවදාවත් හිතුවේ නැහැ යෙහෝවා දෙවි මට සමාව දෙයි කියලා. මට මේ වේදනාව දිගටම දරාගන්න සිදු වෙයි කියලයි මම හිතුවේ.” එසේ පැවසුවේ තමන් අතින් සිදු වූ වරදක් ගැන පසුතැවිලි වූ කාන්තාවක්. යම් දෙයක් ගැන කෙනෙකුගේ හිත වද දෙන විට එය මහත් බරක් සේ දැනිය හැකියි. කෙසේවෙතත් තම වැරදි ගැන පසුතැවිලි වන අයට බයිබලය තුළින් සහනයක් ලබාගන්න පුළුවන්. ඒ ගැන ගීතාවලිය 103:8-14 දක්වා ඇති තොරතුරු සලකා බලමු.
එම ගීතිකාව රචනා කළේ දාවිත් රජයි. “යෙහෝවා දෙවි දයාන්විත” බවත් ‘අප අතින් සිදු වන වැරදි ඔහු සැමදා මතකයේ තබාගන්නේ නැති’ බවත් ඔහු හොඳින්ම දැන සිටියා. (ගීතාවලිය 103:8-10) ඇත්තෙන්ම දෙවි අප කරන වැරදිවලට සමාව දුන් පසු ඒවා නැවත කිසිදා මතකයට නඟන්නේ නැහැ. දැන් අපි දාවිත් පැවසූ දේ සලකා බලමු.
“ඔහු කෙරෙහි ගරුබියක් දක්වන අයට ඔහු පෙන්වන ප්‍රේමය අතිමහත්ය. එය අහසත් පොළොවත් අතර තිබෙන පරතරය තරම් මහත්ය.” (ගීතාවලිය 103:11) පොළොව සහ අහස අතර කොපමණ දුරක් තිබෙනවාද කියා අපට හිතාගන්නවත් බැහැ. ඒ හා සමානව යෙහෝවා දෙවි අපට මොන තරම් ප්‍රේම කරනවාද කියා අපට හිතාගන්නවත් බැහැ. එවැනි ප්‍රේමයක් දෙවි පෙන්වන්නේ ඔහු කෙරෙහි “ගරුබියක්” දක්වන අයටයි. ගරුබිය කියන්නේ “දෙවිට ඇති අධිකාරිය තේරුම්ගෙන ඔහුට දක්වන ගැඹුරු ගෞරවය” කියා එක් විශාරදයෙක් පැවසුවා.
“බස්නාහිර නැඟෙනහිරෙන් බොහෝ ඈත්ව තිබෙන්නා සේ ඔහු අපේ වැරදිද අපෙන් දුරස් කරන්නේය.” (ගීතාවලිය 103:12) අපේ වැරදි අපෙන් දුරස් කරනවා කීමෙන් අදහස් කරන්නේ දෙවි අපට සමාව දුන් පසු නැවත ඒවා මතක් නොකරන බවයි.
“පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබිය ඇති අයට දයාව දක්වන්නේය.” (ගීතාවලිය 103:13) දාවිත්ටත් දරුවන් සිටි නිසා පියෙකුට තම දරුවන් ගැන හැඟෙන ආකාරය ඔහු හොඳින්ම දැන සිටියා. පියෙක් නිතරම තම දරුවන්ට ආදරයෙන් සලකනවා. විශේෂයෙන්ම දරුවන් යම් වේදනාවකින් සිටින විට ඔහු ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. දාවිත් ඉහත සඳහන් කරන්නේ අපගේ ප්‍රේමණීය ස්වර්ගික පියා වන යෙහෝවා දෙවිද ඔහුගේ දරුවන් වන අපට බොහෝ සෙයින් ප්‍රේම කරන බවයි. තමන් අතින් සිදු වූ වරදක් ගැන පසුතැවිලි වන “තැළුණාවූ බිඳුණාවූ” හදවතක් ඇති අය ගැන ඔහු විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.—ගීතාවලිය 51:17.
පව්කාරකම උරුම කරගත් මිනිසුන්ට සමාව දීමට යෙහෝවා දෙවි පෙලඹෙන හේතුව දාවිත් ඊළඟට මෙසේ සඳහන් කරනවා. “ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:14) අපව දූවිල්ලෙන් සෑදූ බවත් අප අතින් වැරදි සිදු වන බවත් අපට කළ හැකි දේවලට සීමා තිබෙන බවත් යෙහෝවා දෙවි දන්නවා. ඒ නිසා අවංකව පසුතැවිලි වන අයට ‘සමාව දීමට යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටිනවා.’—ගීතාවලිය 86:5.
යෙහෝවා දෙවිගේ ප්‍රේමය ගැන දාවිත් පැවසූ දේ සලකා බැලූ විට ඔබට දෙවි ගැන හැඟුණේ කුමක්ද? පසුතැවිලි වෙන කෙනෙකුට යෙහෝවා දෙවි ඕනෑම අවස්ථාවක සමාව දීමට කැමැත්තෙන් සිටින බව මෙම ලිපියේ මුලින් සඳහන් කළ කාන්තාව හොඳින් අවබෝධ කරගත්තා. ඉන්පසු ඇයට දැනුණු ආකාරය ගැන ඇය මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවි එක්ක තිබුණු මගේ මිත්‍රත්වය නැවත ශක්තිමත් කරගන්න පුළුවන් කියලා තේරුණාම මට ලොකු සහනයක් දැනුණා. මට දැනුණේ ලොකු බරකින් මම නිදහස් වුණා වගෙයි.” * යෙහෝවා දෙවි ගැන තවදුරටත් ඉගෙනගෙන ඔහුගේ ප්‍රේමය හා කරුණාව අද්දකින්න ඔබත් කැමතිද? ඔබ එසේ කළොත් ඔබටත් මහත් සහනයක් ලබන්න පුළුවන්.
අගෝස්තු මාසයට නියමිත බයිබල් කියවීම:
▪ ගීතාවලිය 87 සිට 118 දක්වා
[පාදසටහන]
^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළ යෙහෝවාට ළං වන්න නමැති පොතේ “‘සමාව දීමට සූදානම්’ දෙවි කෙනෙක්” යන මාතෘකාවෙන් යුත් 26වෙනි පරිච්ඡේදය බලන්න.
[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“යෙහෝවා දෙවි එක්ක තිබුණු මගේ මිත්‍රත්වය නැවත ශක්තිමත් කරගන්න පුළුවන් කියලා තේරුණාම මට ලොකු සහනයක් දැනුණා. මට දැනුණේ ලොකු බරකින් මම නිදහස් වුණා වගෙයි.”