Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

යේසුස්, සාවුල්ට පැවසූ ලෙස ‘කෙවිටට පයින් ගැසීමෙන් අනතුරක්’ සිදු විය හැක්කේ කෙසේද?—ක්‍රියා 26:14.

නගුල භාවිත කිරීම සඳහා යොදාගත් සතුන්ව පාලනය කිරීමට ගොවීන් කෙවිටක් භාවිත කළා. එම කෙවිට අඩි අටක් පමණ දිගයි. එහි එක් කෙළවරක යකඩ උලක් සවි කර තිබුණා. එම උල යොදාගත්තේ සතාව පාලනය කිරීමටයි. නමුත් කෙවිටෙන් අනිද්දී ඌ කෙවිට තල්ලු කළොත් ඌට තුවාල වෙනවා. කෙවිටේ අනික් කෙළවරේ මුවහත් පැතලි යකඩයක් සවි කර තිබෙනවා. නගුලේ ඇති මඩ සහ වෙනත් දේවල් ඉවත් කිරීමට එම කොටස භාවිත කළා.

සමහර අවස්ථාවලදී කෙවිට ආයුධයක් ලෙසද යොදාගත්තා. ඊශ්‍රායෙලයේ සිටි යුධ සෙබළෙක් වූ ෂම්ගර් එක් අවස්ථාවක “උල් කළ කෙවිටකින්” පිලිස්තිවරුන් 600දෙනෙකුට පහර දී ඔවුන්ව මරා දැමුවා කියා බයිබලයේ වාර්තා වෙනවා.—විනිශ්චයකරුවෝ 3:31.

කෙවිට උපමාලංකාරයක් ලෙසද බයිබලයේ සඳහන් කර තිබෙනවා. උදාහරණයකට, ප්‍රඥාවන්තයන්ගේ වචන ‘කෙවිටක් හා සමානයි’ කියා එහි සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ නිවැරදි තීරණ ගැනීමට මඟ පෙන්වන්න ප්‍රඥාවන්ත මිතුරෙකුට හැකි බවයි.—දේශනාකාරයා 12:11.

යේසුස්ද, සාවුල්ට කතා කරන විට කෙවිට භාවිත කළේ උපමාලංකාරයක් ලෙසයි. සාමාන්‍යයෙන් කෙවිටට පයින් ගසන්නේ ස්වාමියාට කීකරු නොවන මුරණ්ඩු සතුන්. ක්‍රිස්තියානීන්ට පීඩා කළ සාවුල්ට යේසුස් පැවසුවේ “දිගින් දිගටම කෙවිටට පයින් ගැසීම” නතර කරන ලෙසයි. යේසුස්ගේ උපදෙස පිළිගත් සාවුල් ඔහුගේ ජීවිතය වෙනස් කරගෙන යේසුස්ගේ ගෝලයෙක් බවට පත් වුණා.

පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන් රාත්‍රියේදී වේලාව තීරණය කළේ කොහොමද?

▪ පළමු ශතවර්ෂයේ සිටි යුදෙව්වන් දහවල් කාලයේ වේලාව තීරණය කිරීමට හිරු තැටිය භාවිත කළා. නමුත් වලාකුළු නිසා හිරු නොපෙනී ගිය අවස්ථාවල හා රාත්‍රියේදී වේලාව තීරණය කිරීමට ඔවුන් භාවිත කළේ පෑතැටියයි. යුදෙව්වන්ට අමතරව පුරාණ ඊජිප්තුවරුන්, පර්සියානුවන්, ග්‍රීකයන් හා රෝමවරුන්ද එම ක්‍රමය භාවිත කළා.

මිෂ්නා හා තල්මුඩය නමැති ග්‍රන්ථවල පෑතැටිය ‘විවිධ නම්වලින් සඳහන් වී තිබෙනවා. සමහරවිට ඊට හේතුව විය හැක්කේ ඒවා විවිධ හැඩයෙන් හා විවිධ ක්‍රමවලින් සාදා තිබීමයි. නමුත් ඒ හැම එකකින්ම සිදු වෙන්නේ වතුර බින්දුවෙන් බින්දුව කාන්දු වීමයි. ග්‍රීක භාෂාවෙන් ඊට යොදා ඇති නමේ අර්ථයත් එයයි” කියා එක් විශ්වකෝෂයක සඳහන් වී තිබෙනවා.—The Jewish Encyclopedia.

පෑතැටියෙන් වේලාව තීරණය කළේ කොහොමද? ඒ සඳහා බඳුන් දෙකක් යොදාගත්තා. එක් බඳුනක පහළ සිදුරක් තිබූ අතර එම සිදුරෙන් වැටෙන වතුර බින්දු අනික් බඳුනට එකතු වෙනවා. එම බඳුන් දෙකේම මිනුම් සඳහන්ව තිබූ නිසා කුමන හෝ බඳුනක ඇති වතුර ප්‍රමාණයට අනුව කෙනෙකුට වේලාව තීරණය කිරීමට හැකි වුණා.

රාත්‍රී මුර සේවයේ යෙදෙන තම භටයන්ගේ සේවය අවසන් වන වේලාව හා ඊළඟ සෙබළා රාජකාරිය ඇරඹිය යුතු වේලාව තීරණය කිරීමට රෝම හමුදාව එම උපකරණය භාවිත කළා. එමෙන්ම ඒ බව දැනුම් දීමට ඔවුන් හොරණෑවක් පිම්ඹා. ඒ කාලයේ සිටි ජනයා රාත්‍රිය කොටස් හතරකට වෙන් කර තිබුණා. හොරණෑ හඬ ඇසෙන ඕනෑම කෙනෙකුට එම කාලවල් හතර ආරම්භ වන හා අවසන් වන වේලාව දැනගැනීමට හැකි වුණා.—මාක් 13:35.