Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඊශ්‍රායෙල්වරුන්ට ආහාර ලෙස වටුවන් ලබා දීමට දෙවි තීරණය කළේ ඇයි?

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටව ආ පසු දෙවි ඔවුන්ට දෙවතාවක්ම ආහාරයට ගැනීම සඳහා වටුවන්ව ලබා දුන්නා.—නික්මයාම 16:13; ගණන් කතාව 11:31.

මේ කුඩා කුරුල්ලා අඟල් හතක් පමණ දිගයි. ඒ වගේම ග්‍රෑම් 100ක් පමණ බරයි. සංක්‍රමණික කුරුලු විශේෂයක් වන උන් විශාල රංචු පිටින් මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර වෙරළ ප්‍රදේශය සහ සීනායි අර්ධද්වීපය හරහා පියාඹනවා. ශීත කාලය උන් ගත කරන්නේ උතුරු අප්‍රිකාවේ හා අරාබියෙයි. නමුත් උන් බිත්තර දමන්න බටහිර ආසියානු රටවලට සහ යුරෝපයට පැමිණෙනවා. උන් එහි මාස හයක් පමණ ගත කරනවා.

උන් සංක්‍රමණය කරන ආකාරය ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “සුළඟ හමන දිශාව ප්‍රයෝජනයට ගන්නා උන් වේගයෙන් පියාඹනවා. නමුත් සුළඟ හමන දිශාව වෙනස් වුවහොත් හෝ දිගු වේලාවක් එක දිගට පියෑඹීම නිසා වෙහෙසට පත් වුවහොත් උන් බිමට වැටී වැටුණු තැන්වලම වැතිරී සිටිනවා.” උන් එසේ දවසක් හෝ දෙකක් වැතිර සිටිනවා. එවැනි අවස්ථාවලදී දඩයක්කරුවන්ට උන්ව පහසුවෙන්ම අල්ලාගැනීමට හැකියි. විසිවන ශතවර්ෂයේ මුල් කාලයේදී ඊජිප්තුව වසරකට වටුවන් මිලියන තුනක් පමණ ආහාර වෙනුවෙන් අපනයන කළ බව වාර්තා වෙනවා.—එම විශ්වකෝෂය The New Westminster Dictionary of the Bible.

ඊශ්‍රායෙල්වරුන්ට වටුවන්ව ලැබුණේ වසන්ත කාලයේයි. සාමාන්‍යයෙන් උන් එම කාලයේදී පියාසර කරන්නේ සීනයි ප්‍රදේශය හරහායි. ඒ වුණත් “තද සුළඟක් හමන්න” සලස්වා ඊශ්‍රායෙල්වරුන් සිටි කඳවුරු ප්‍රදේශයට උන්ව ගසාගෙන යන්න සැලැස්සුවේ යෙහෝවා දෙවියි.—ගණන් කතාව 11:31.

යොහන් 10:22හි සඳහන් “කැප කිරීමේ උත්සවය” කියා හැඳින්වූයේ කුමන උත්සවයටද?

යෙහෝවා දෙවි මුහුන් නොදැමූ රොටි උත්සවය, පෙන්තකොස්ත උත්සවය සහ අස්වැන්න නෙළීමේ උත්සවය පවත්වන්න කියා යුදෙව්වන්ට අණ කර තිබුණා. වසන්ත කාලයේ මුල හා අවසානයේදී මෙන්ම සරත් කාලයේදී ඔවුන් එම උත්සව තුන පැවැත්වුවා. කෙසේවෙතත් යොහන් 10:22හි සඳහන් උත්සවය පැවැත්වූයේ ‘ශීත කාලයේයි.’ ක්‍රිස්තු පූර්ව 165දී යෙරුසලමේ දේවමාලිගාව නැවත කැප කිරීම සැමරීම සඳහා යුදෙව්වන් එම උත්සවය වාර්ෂිකව පැවැත්වුවා. කිස්ලෙව් මාසයේ 25වෙනිදා සිට දවස් අටක් පුරා ඔවුන් එය සැමරුවා. එම උත්සවය ඇරඹුණේ කොහොමද?

හතරවන ඇන්ටියෝකස් රජු ක්‍රි.පූ. 168දී යුදෙව්වන්ගේ නමස්කාර ක්‍රමය හා චාරිත්‍ර සම්පූර්ණයෙන්ම නැති කිරීමේ අරමුණින් යෙරුසලමේ පිහිටි දේවමාලිගාවේ පූජාසනය මත බොරු නමස්කාරය වෙනුවෙන් තවත් පූජාසනයක් ගොඩනැඟුවා. ඔහු ඒ මත ග්‍රීකවරුන් නමස්කාර කළ සියුස් දෙවියාට පූජා ඔප්පු කළා.

එයට අකමැති වූ මකබිවරුන් ඊට විරුද්ධව නැඟී සිටියා. යුදෙව්වරුන්ගේ නායකයෙක් වන යූදස් මකබියස්, ඇන්ටියෝකස් සමඟ සටන් කර යෙරුසලම නැවත අල්ලාගෙන පූජාසනය කඩා දමා නැවත අලුත් එකක් ගොඩනැඟුවා. ඇන්ටියෝකස්, දේවමාලිගාවේ තිබූ පූජාසනය මත පූජාසනයක් ගොඩනඟා හරියටම වසර තුනකට පසු යූදස් නැවත දේවමාලිගාව පවිත්‍ර කර එය යෙහෝවා දෙවිට කැප කළා. එදා සිට සෑම වසරකම දෙසැම්බර් මාසයේදී (කිස්ලෙව් මාසයේදී) යුදෙව්වන් “කැප කිරීමේ උත්සවය” පවත්වනවා. එය හනූකා උත්සවය ලෙසද හඳුන්වනවා.

[14වන පිටුවේ පින්තූරය]

යූදස් මකබියස්ගේ රූපය ඇතුළත් කාසියක්

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the book Scripture Natural History. Illustrated. 1876