Skip to content

පටුනට යන්න

දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න

දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න

දෙවිට ළං වෙන්න

දෙවි ඔබෙන් බලාපොරොත්තු වන දේ ඉටු කරන්න

ජීවිතයේ සැබෑ සතුට අද්දකින්න පුළුවන් කොහොමද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? එම ප්‍රශ්නයට පිළිතුර දැනගැනීම සඳහා යෙහෝවා දෙවි ඔහුගේ වචනය වන බයිබලය තුළින් අපට උපකාර කර තිබෙනවා. පුරාණයේ සිටි සලමොන් රජු, දේශනාකාරයා 12:13හි පවසා තිබෙන දේ ගැන අපි දැන් සලකා බලමු.

සලමොන් රජු ඉතා ප්‍රඥාවන්ත, ඇති තරම් ධන සම්භාරයක් තිබූ කෙනෙක්. ඒ වගේම මිනිසුන් ධන සම්පත් සෙවීම සඳහා කොතරම් වෙහෙසෙනවාද කියා ඔහු දැක තිබුණා. (දේශනාකාරයා 2:4-9; 4:4) ඒ නිසා සැබෑ සතුට ලබාගැනීමට කළ යුත්තේ කුමක්ද කියා පැවසීමට ඔහුට ඕනෑ තරම් හේතු තිබුණා. අවසානයේදී ඔහු පැවසුවේ මෙසේයි. “සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” ඔහු පැවසූ දෙයින් අදහස් කළේ කුමක්ද කියා දැන් අපි බලමු.

‘දෙවිට ගරුබිය දක්වන්න.’ දෙවිට ගරුබිය දැක්වීම යන්නෙන් අදහස් වෙන්නේ දෙවිව අසතුටු කිරීමට තිබෙන අකමැත්තයි. කෙනෙක් දෙවිට ගරුබිය දැක්වීමට පෙලඹෙන්නේ ඔහු සැබවින්ම දෙවිට ප්‍රේම කරනවා නම් පමණයි. එවැනි කෙනෙක් දෙවි කැමති ආකාරයට ජීවත් වීමට උත්සාහ කරනවා.

“ඔහුගේ ආඥා පිළිපදින්න.” දෙවිට ගරුබිය දක්වන කෙනෙක් කැමැත්තෙන්ම දෙවිගේ ආඥා පිළිපදිනවා. ඕනෑම භාණ්ඩයක් නිසි ලෙස පරිහරණය කළ යුත්තේ කෙසේද කියා හොඳින්ම දන්නේ එය සෑදූ පුද්ගලයායි. ඒ හා සමානව අප ජීවත් විය යුතු සුදුසුම ආකාරය ගැන හොඳින්ම දන්නේ අපව නිර්මාණය කළ යෙහෝවා දෙවි පමණයි. දෙවි අපට ප්‍රේම කරන නිසා ඔහු කැමති වන්නේ අප සතුටින් සිටිනවා දකින්නයි. ඒ නිසා අපට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු සපයා තිබෙනවා. (යෙසායා 48:17) අප සැබවින්ම දෙවිට ප්‍රේම කරනවා නම් ඔහුගේ ආඥා පිළිපදින අතර ඒවා බරක් ලෙස සලකන්නේ නැහැ.—1 යොහන් 5:3.

“මිනිසාගේ යුතුකම එයයි.” අපට ජීවිතය දුන්නේ යෙහෝවා දෙවි නිසා අප ජීවත් විය යුත්තේ ඔහු කැමති ආකාරයටයි. (ගීතාවලිය 36:9) ඇත්තෙන්ම එය අපේ යුතුකමක් කියා පැවසිය හැකියි.

එසේනම් ජීවිතයේ සැබෑ සතුට අද්දැකීමට අප කළ යුත්තේ කුමක්ද? දෙවි අපගෙන් බලාපොරොත්තු වන ආකාරයට ජීවත් වීමයි. දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියාත් ඊට එකඟව ජීවත් වීමෙන් සැබෑ සතුට අද්දැකිය හැක්කේ කෙසේද කියාත් සොයා බැලීමට ඔබ කැමතිද? ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

නොවැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම

හිතෝපදේශ 22-31; දේශනාකාරයා 1-12වෙනි පරිච්ඡේදයේ සිට සලමොන්ගේ ගීතිකාව 1-8වෙනි පරිච්ඡේදය දක්වා