Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

යුවළක් ලෙස දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන්න

යුවළක් ලෙස දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන්න

ෆ්‍රෙඩ්රික් *: “අපි විවාහ වුණ අලුත බයිබලය අධ්‍යයනය කරද්දී මගේ බිරිඳව හවුල් කරගන්න එක ලෙහෙසි වුණේ නැහැ. එයා සාකච්ඡාවට උනන්දුවෙන් හවුල් වෙයි කියලා මම හිතුවා. නමුත් එයාට එක දිගට ඉඳගෙන ඉන්න එකත් අමාරු වුණා. මම ප්‍රශ්න ඇහුවාම ඔව් හරි නැහැ හරි කියලා නිකන් ඉන්නවා. මම හිතපු විදිහට එයා පාඩමට හවුල් වුණේ නැහැ.”

ලීනා: “මම ෆ්‍රෙඩ්රික් එක්ක විවාහ වෙද්දී මට වයස අවුරුදු 18යි. අපි වරද්දන්නේ නැතුව බයිබලය අධ්‍යයනය කළා. නමුත් ඒ වෙලාවලදී ෆ්‍රෙඩ්රික් කළේ මගේ අඩුපාඩුකම් ගැනත් ඒවා හදාගන්න විදිහ ගැනත් කතා කරන එක විතරයි. ඒ නිසා මම ගොඩක් අධෛර්යය වුණා.”

ෆ්‍රෙඩ්රික් සහ ලීනාට තිබූ ප්‍රශ්නය කුමක් කියාද ඔබ සිතන්නේ? ඔවුන්ට තිබුණේ යහපත් අරමුණක්. ඔවුන් දෙදෙනාම දෙවිට ප්‍රේම කළා. ඒ වගේම එකට බයිබලය අධ්‍යයනය කිරීම වැදගත් කියා ඔවුන් දෙදෙනාම දැන සිටියා. ඔවුන් එක්ව බයිබලය අධ්‍යයනය කළත් ඔවුන් බලාපොරොත්තු වූ දේ ඉටු වුණේ නැහැ. ඊට හේතුව ඔවුන් දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් වර්ධනය කරගෙන නොතිබීමයි.

විවාහක යුවළක් දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් වර්ධනය කරගත යුත්තේ ඇයි? එසේ කරන විට ඔවුන්ට මුහුණ දීමට සිදු වන අභියෝග මොනවාද? ඒවා ජය ගන්න පුළුවන් කොහොමද? අපි දැන් ඒ ගැන සලකා බලමු.

දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් වර්ධනය කරගත හැකි අයුරු

දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් ඇති කරගන්නේ මොන වගේ අයද? ඒ, තමන්ගේ පව්කාර ආශාවලට අනුව ක්‍රියා නොකරන අයයි. නමුත් තමන්ගේ පව්කාර ආශාවන්වලට හසු වී සිටින අය ඔවුන් කැමති දේ කරමින් දෙවිගේ ප්‍රමිති ප්‍රතික්ෂේප කරනවා.—1 කොරින්ති 2:14; ගලාති 5:19, 20; යූද් 18, 19.

දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් දක්වන අය ඒ අනුව ජීවත් වෙන්න ආශාවක් දක්වනවා. ඔවුන් දෙවිව තමාගේ මිතුරා ලෙස සලකන අතර ඔහුගේ ගතිගුණ වර්ධනය කරගන්න වෑයම් කරනවා. (එෆීස 5:1) ඒ නිසා ඔවුන් අන් අය සමඟ ක්‍රියා කරන්නේ ප්‍රේමණීයව, කාරුණිකව සහ මෘදු ආකාරයෙනුයි. (නික්මයාම 34:6) දෙවිට කීකරු වීමට අපහසුයි කියා හැඟෙන අවස්ථාවලදීත් ඔවුන් දෙවිට කීකරු වෙනවා. (ගීතාවලිය 15:1, 4) වසර 35ක් පුරා විවාහ ජීවිතයක් ගත කරන කැනඩාවේ වෙසෙන ඩැරන් මෙසේ පවසනවා. “දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ආශාවක් දක්වන කෙනෙක් තමා කතා කරන ආකාරය හා ක්‍රියා කරන ආකාරය දෙවි සමඟ තියෙන බැඳීමට බලපාන්නේ කොහොමද කියලා නිතරම කල්පනා කරනවා.” ඩැරන්ගේ බිරිඳ වන ජේන් මෙසේ පවසනවා. “දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ආශාවක් දක්වන ස්ත්‍රියක් දෙවිගේ ගුණාංග ජීවිතයට අදාළ කරගන්න හැම වෙලාවේම වෑයම් කරනවා.”—ගලාති 5:22, 23.

කොහොමවුණත් දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට ආශාවක් ඇති කරගැනීමට කෙනෙක් විවාහ වෙන්නම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සෑම කෙනෙකුම දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් විය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 17:26, 27.

එකමුතු වී වැඩ කරන්න

යුවළක් ලෙස එකමුතු වී දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් ඇති කරගන්න වෑයම් කළ යුත්තේ ඇයි? එහි වැදගත්කම දැනගන්න මේ උදාහරණය සලකා බලන්න. ඉඩමක හවුල් අයිතිකරුවන් වන ගොවියන් දෙදෙනෙක් එම ඉඩමේ එළවළු වගා කරන්න තීරණය කරනවා. එක් අයෙකුට අවශ්‍ය වන්නේ වසරේ යම් නිශ්චිත කාලයක වගා කරන්නයි. අනික් කෙනාට අවශ්‍ය වන්නේ වෙනත් කාලයක වගාව ආරම්භ කරන්නයි. යම් නිශ්චිත පොහොර වර්ගයක් භාවිත කිරීමට කෙනෙක් කැමති වුණත් පොහොර දැමීම අවශ්‍ය නොවන බව අනික් කෙනා දැඩිව පවසනවා. සෑම දිනකම වගාවට සාත්තු කිරීමට එක් කෙනෙකුට අවශ්‍යයි. අනික් කෙනාට අවශ්‍ය වෙන්නේ වගාවට කිසිම සාත්තුවක් නොකර පල ලබාගන්නයි. මෙවැනි තත්වයක් යටතේදී වුවත් වගාවෙන් යම් අස්වැන්නක් ලබාගත හැකියි. නමුත් දෙදෙනා එකතු වී කළ යුතු දේ ගැන එකඟතාවයකින් වැඩ කිරීමෙන් ඊට වඩා වැඩි පලදාවක් ලබාගත හැකියි.

භාර්යාව හෝ ස්වාමිපුරුෂයා දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් ඇති කරගත් විට දෙදෙනා අතර ඇති බැඳීම යම් දුරකට වර්ධනය විය හැකියි. (1 පේතෘස් 3:1, 2) නමුත් දෙදෙනාම එකතු වී දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට උත්සාහ දැරීමෙන් හා එකිනෙකාට සහයෝගය දැක්වීමෙන් ඊට වඩා බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. එකමුතු වී වැඩ කිරීම තුළින් මොන තරම් ප්‍රයෝජන ලැබෙනවාද කියා ප්‍රඥාවන්ත රජ කෙනෙක් වූ සලමොන් මෙසේ පැවසුවා. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි.”—දේශනාකාරයා 4:9, 10.

යුවළක් ලෙස දෙවිගේ ප්‍රමිතිවලට කීකරු වීමට ඔබට දැඩි ආශාවක් තිබෙනවා විය හැකියි. නමුත් ආශාව පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ක්‍රියා කිරීමත් අවශ්‍යයි. එසේ ක්‍රියා කරද්දී ඇති වන අභියෝග දෙකක් සහ එම අභියෝග ජය ගත හැකි ආකාර දැන් අපි බලමු.

පළමුවන අභියෝගය:

අපිට වෙලාවක් නැහැ. “රෑ හත වෙද්දී මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මං වැඩ කරන තැනට එනවා. අපි ගෙදර ආවට පස්සේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි දෙන්නා එකතු වෙලා බයිබලය අධ්‍යයනය කරන්න ඕනේ කියලා දැනගෙන හිටියත් ගෙදර වැඩ නිසා ඒක එච්චර ලේසි නැහැ” කියා මෑතකදී විවාහ වූ සූ නමැති සහෝදරිය පැවසුවා.

විසඳුමක්: තත්වයට අනුව හැඩගැසෙන්න. සහයෝගය දක්වන්න. “උදෙන්ම නැඟිටලා බයිබලයෙන් කොටසක් කියවලා ඒ ගැන සාකච්ඡා කරන්න මමයි මගේ මහත්තයයි තීරණය කළා. ඒ වගේම ගෙදරදොරේ වැඩවලට මගේ මහත්තයා මට උදව් කළා. ඒ නිසා අපි දෙන්නට එකට බයිබලය ගැන සාකච්ඡා කරන්න වෙලාව තියෙනවා” කියා සූ සඳහන් කරනවා. ඇගේ පුරුෂයා වන එඩ් මෙසේ පවසනවා. “අපි අතර ගැටලුවක් මතු වෙද්දී ඒක විසඳගන්න පුළුවන් වුණේ අපි දෙන්නා එකතු වෙලා බයිබලය ගැන සාකච්ඡා කරන නිසයි කියලා මට තේරුණා. ප්‍රශ්න ගැටලු ඉක්මනින් විසඳගන්න පුළුවන් නිසා දැන් අනවශ්‍ය පීඩනයක් දැනෙන්නේ නැහැ.”

සෑම දිනකම එක්ව යාච්ඤා කිරීමටත් විනාඩි කිහිපයක් වෙන් කරන්න. එහි ඇති ප්‍රයෝජනය කුමක්ද? වසර 16ක් පුරා විවාහ ජීවිතයක් ගත කරන රයන් පැවසූ දේ බලන්න. “අපි දෙන්නා අතර ගොඩක් ප්‍රශ්න තිබුණා. නමුත් අපි හැම රාත්‍රියකම ඒ ගැන යාච්ඤා කරන්න කාලය හොයාගත්තා. දෙවිට යාච්ඤා කිරීමෙන් අපේ ප්‍රශ්න විසඳගෙන සන්තෝෂවත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා මම දැන් දන්නවා.”

මෙය අත්හදා බලන්න: සෑම දවසක් අවසානයේදී දෙවිට යාච්ඤාවෙන් පැවසිය හැකි, ඔබ දෙදෙනාට සිදු වූ යහපත් දේවල් සාකච්ඡා කරන්න. ඔබ දෙදෙනා මුහුණ දුන් අභියෝග ගැනත් දෙවිට පැවසිය යුත්තේ කුමන අභියෝග ගැනද කියාත් සාකච්ඡා කරන්න. මේ ගැන සැලකිලිමත් වෙන්න: එම කාලය තුළ එකිනෙකාගේ අඩුපාඩුකම් ගැන කතා කරන්න එපා. යාච්ඤා කරන විට ඔබ දෙදෙනා එකතු වී දියුණු කරගත යුතු පැති ගැන පමණක් සඳහන් කරන්න. ඔබ යාච්ඤා කළ දේට එකඟව ක්‍රියා කරන්න ඊළඟ දිනයේ සිට වෑයම් කරන්න.

දෙවන අභියෝගය: අපි කැමති දේවල් වෙනස්.

“මම පොත් කියවන්නත් අධ්‍යයනය කරන්නත් එච්චර ආස නැහැ” කියා ටෝනි පවසනවා. ඔහුගේ බිරිඳ නටලි මෙසේ පවසනවා. “පොත් පත් කියවන්නත් කියවපු දේවල් ගැන කතා කරන්නත් මම හරි ආසයි. අපි බයිබලය අධ්‍යයනය කරද්දී සමහර වෙලාවට මම කියවපු දේවල් ගැන ටෝනිට කියනවා. ඒත් එයා ඒ ගැන එච්චර උනන්දුවක් පෙන්වන්නේ නැහැ.”

විසඳුමක්: තරඟකාරී නොවන්න. විනිශ්චය නොකරන්න. සහයෝගයෙන් වැඩ කරන්න. ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ හැකියාවන් අගය කරන්න. එහි ඇති වැදගත්කම ගැන ටෝනි මෙසේ පවසනවා. “මගේ බිරිඳ බයිබලය ගැන කතා කරන්න ගොඩක් උනන්දු වුණා. සමහර වෙලාවට මට ඒක කරදරයක්. ඒ නිසා එයත් එක්ක බයිබල් විෂයන් ගැන කතා කරන්න මුලදී මම කැමති වුණේ නැහැ. ඒත් එයා එයාට තිබුණු උනන්දුව නැති කරගත්තේ නැහැ. ඒ නිසා දැන් අපි දෙන්නම එකට නිතිපතා බයිබලය අධ්‍යයනය කරනවා. ඒකෙන් දැන් මම ලොකු සතුටක් ලබනවා. ඒ වගේ සාකච්ඡා සුහදව සහ සාමකාමීව කරන්න දැන් අපිට පුළුවන්.”

එක්ව බයිබලය කියවන්න සහ අධ්‍යයනය කරන්න නිතිපතා කාලය වැය කිරීමෙන් ඔවුන්ගේ බැඳීම ශක්තිමත් වන බව බොහෝ යුවළයන් අවබෝධ කරගෙන තිබෙනවා. මේ අවවාදය සිතට ගන්න: බයිබලය අධ්‍යයනය කරන විට ඔබගේ සහකරුට හෝ සහකාරියට නොව ඔබට අදාළ කරගත හැකි කරුණු සාකච්ඡා කරන්න. (ගලාති 6:4) විවාහයේදී ඇති වන ගැටලු ගැන සාකච්ඡා කරන්න බයිබලය අධ්‍යයනය කරන කාලය වැය නොකර ඒ සඳහා වෙනත් වෙලාවක් යොදාගන්න. එසේ කිරීම වැදගත් වන්නේ ඇයි කියා අපි දැන් බලමු.

දෙවි ගැන ඉගෙනගැනීම සහ ඔහුගේ කැමැත්ත කිරීම යේසුස් කෑමට සමාන කළා. (මතෙව් 4:4; යොහන් 4:34) මේ ගැන සිතන්න. ඔබ ඔබගේ පවුලේ අය සමඟ කෑම කන අතරතුර ඔබේ තුවාලයක් පිරිසිදු කර බෙහෙත් දමනවාද? නැහැ. ඔබ එසේ කළොත් සියලුදෙනාටම කෑම අප්‍රිය වෙයි. ඒ හා සමානව බයිබලය ගැන සාකච්ඡා කරන්න වෙන් කළ වෙලාවේදී ඔබට තිබෙන පෞද්ගලික ප්‍රශ්න සාකච්ඡා කළොත් බයිබලය ගැන ඉගෙනගන්න ඔබේ සහකරුට හෝ සහකාරියට තිබෙන ආශාව නැති විය හැකියි. ඔබේ මනසට වධ දෙන ප්‍රශ්න තිබෙනවා නම් එය වෙනත් වෙලාවක සාකච්ඡා කරන්න.—හිතෝපදේශ 10:19; 15:23.

මෙය අත්හදා බලන්න: ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ යහපත් ගතිගුණ කිහිපයක් පොතක ලියන්න. බයිබලය ගැන සාකච්ඡා කරන ඊළඟ දවසේදී එම ගුණාංග ගැන සාකච්ඡා කරන්න. එම ගුණාංග ඔබ කොතරම් අගය කරනවාද කියාත් පවසන්න.

ඔබ නෙළාගන්නේ ඔබ වපුරන දේමයි

ඔබ දෙදෙනා එක්ව දෙවිගේ ප්‍රමිතිවලට ඇල්මක් වර්ධනය කරගනිද්දී සාමකාමී, ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට හැකියි. ‘කෙනෙක් තමා වපුරන දේ නෙළාගන්නා’ බව බයිබලයේද පවසනවා.—ගලාති 6:7.

මෙම ලිපියේ මුලින් සඳහන් කළ ෆ්‍රෙඩ්රික් සහ ලීනා ඉහත සඳහන් බයිබල් ප්‍රතිපත්තිය මොන තරම් සත්‍යයද කියා අවබෝධ කරගත්තා. මේ වන විට ඔවුන් විවාහ වී වසර 45ක් ගත වී තිබෙනවා. දෙවිගේ ප්‍රමිතිවලට කීකරු වීමට ආශාවක් ඇති කරගැනීමට ඔවුන් දෙදෙනා එක්ව ක්‍රියා කිරීම නිසා ඔවුන් බොහෝ ප්‍රයෝජන ලබා තිබෙනවා. ෆ්‍රෙඩ්රික් ඒ ගැන මෙසේ පවසනවා. “මං අහන ප්‍රශ්නවලට ලීනා උත්තර නොදී ඉන්න කොට ඉස්සර මම එයාට බැන්නා. ඒත් කාලයක් යද්දී මට තේරුණා මගේ පැත්තෙනුත් යම් අඩුවක් තියෙනවා කියලා.” ලීනා මෙසේ අදහස් දක්වනවා. “අපි දෙන්නා අතර ඇති වුණ ප්‍රශ්න විසඳගන්න අපිට පුළුවන් වුණේ අපි දෙන්නටම දෙවිත් එක්ක කිට්ටු මිත්‍රත්වයක් තිබුණු නිසයි. පහුගිය අවුරුදු ගණනාව පුරාම අපි දිගටම බයිබලය අධ්‍යයනය කළා. එකට යාච්ඤා කළා. ෆ්‍රෙඩ්රික් හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවා දකිද්දී එයා ගැන මට තියෙන ආදරය තවත් වැඩි වුණා.”

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

මේ ගැන හිතන්න

  • අපි දෙදෙනා අවසාන වතාවට එකට යාච්ඤා කළේ කවදාද?

  • බයිබලය හා සම්බන්ධ කාරණා කතා කිරීමට මගේ සහකරුව හෝ සහකාරියව දිරිගන්වන්න මට කරන්න පුළුවන් මොනවාද?