Skip to content

පටුනට යන්න

හොඳ මිතුරන්ව තෝරාගන්න පුළුවන් කොහොමද?

හොඳ මිතුරන්ව තෝරාගන්න පුළුවන් කොහොමද?

බයිබලයෙන් පිළිතුරු සොයමු

හොඳ මිතුරන්ව තෝරාගන්න පුළුවන් කොහොමද?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. හොඳ මිතුරන්ව තෝරාගැනීම වැදගත් වෙන්නේ ඇයි?

මිතුරන්ගෙන් කොන් වෙන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඒ නිසා ඔවුන් කරන දේවල්ම කිරීමට බොහෝ අය පෙලඹෙනවා. මිතුරන්ගෙන් අපිට විශාල බලපෑමක් ඇති වන නිසා මිතුරන්ව තෝරාගැනීමේදී අපි ඥානවන්ත විය යුතුයි.—හිතෝපදේශ 4:23; 13:20 කියවන්න.

පුරාණයේ සිටි දාවිත් මිතුරන් තෝරාගැනීමේදී ඥානවන්ත වුණා. ඔහු මිතුරන් ලෙස තෝරාගත්තේ දෙවිගේ කැමැත්ත කිරීමට තමාව දිරිගන්වන අයවයි. (ගීතාවලිය 26:4, 5, 11, 12) උදාහරණයකට ඔහු මිතුරෙකු ලෙස තෝරාගෙන සිටි යොනාතාන්, දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් ගොඩනඟා ගැනීමට ඔහුට උපකාර කළා.—1 සාමුවෙල් 23:16-18 කියවන්න.

2. දෙවිගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්ද?

යෙහෝවා දෙවි මුළු විශ්වයේම මහෝත්තම දෙවි වුණත් ඔහුගේ මිතුරෙක් වෙන්න ඔබට පුළුවන්. පුරාණයේ සිටි ආබ්‍රහම් දෙවිට විශ්වාසවන්තව සිටි නිසා දෙවි ඔහුව තමන්ගේ මිතුරෙක් ලෙස සැලකුවා. (උත්පත්ති 22:2, 9-12; යාකොබ් 2:21-23) ඔබත් යෙහෝවා දෙවිව විශ්වාස කරමින් ඔහුට කීකරු වෙනවා නම් ඔබටත් ඔහුගේ මිතුරෙක් වෙන්න පුළුවන්.—ගීතාවලිය 15:1, 2 කියවන්න.

3. හොඳ මිතුරන්ගෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

හොඳ මිතුරන් නිතරම හරි දේ කිරීමට ඔබට උපකාර කරනවා. (හිතෝපදේශ 17:17; 18:24) දාවිත්ට වඩා අවුරුදු 30කින් පමණ වැඩිමල් වූ යොනාතාන් ඒ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක්. රජු වීමට ඔහුට අයිතිය තිබුණත් දෙවි ඒ සඳහා දාවිත්ව තෝරාගෙන තිබෙන බව දැනගත් විට ඔහු දාවිත්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඔබ අඥාන ලෙස ක්‍රියා කරන විට දෙවිට ප්‍රේම කරන මිතුරන් ඔබව නිවැරදි කිරීමට පසුබට වෙන්නේ නැහැ. (ගීතාවලිය 141:5) හොඳ පුරුදු ඇති කරගැනීමටද ඔවුන් ඔබට උපකාර කරනවා.—1 කොරින්ති 15:33 කියවන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරින් ඔබට එවැනි මිතුරන්ව සොයාගත හැකියි. ඔවුන් රැස්වීම් පවත්වන ස්ථානයට යෑමෙන් ඔවුන්ව මුණගැසෙන්න ඔබට පුළුවන්. දෙවිව සතුටු කිරීමට ඔබ ගන්නා වෑයම සාර්ථක කරන්න ඔවුන් ඔබට උපකාර කරයි.—හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.

දෙවිට ප්‍රේම කරන මිතුරන් අතින් පවා වැරදි සිදු විය හැකියි. එවැනි අවස්ථාවලදී කලකිරෙන්න එපා. (දේශනාකාරයා 7:9, 20-22) ඔවුන් මුළු හදවතින්ම දෙවිට ප්‍රේම කරන නිසා ඔවුන්ව වටිනා මිතුරන් ලෙස සැලකිය හැකියි. ඒ නිසා ඔවුන් අතින් සිදු වන අඩුපාඩුකම්වලට වඩා ඔවුන්ගේ යහපත් ගතිගුණවලට අවධානය දීම ඉතා වැදගත්.—කොලොස්සි 3:13 කියවන්න.

4. මිතුරන් ඔබ කරන දේට විරුද්ධ වුණොත් කුමක් කළ හැකිද?

බයිබලය ගැන අධ්‍යයනය කරන විට මිතුරන් ඊට විරුද්ධ විය හැකියි. බයිබලයේ තිබෙන වටිනා මඟ පෙන්වීම් ගැනවත් ස්ථිර පොරොන්දු ගැනවත් ඔවුන් නොදැන සිටීම ඊට හේතු විය හැකියි. ඒ නිසා මිතුරන් ඔබට විරුද්ධ වුණොත් බයිබලයේ තිබෙන වටිනා ප්‍රතිපත්ති ගැන ඔවුන්ට පහදා දෙන්න.—කොලොස්සි 4:6 කියවන්න.

සමහරවිට බයිබලයේ සඳහන් ශුභාරංචිය ගැන මිතුරන් සමච්චල් කරයි. (2 පේතෘස් 3:3, 4) ඔබ හරි දේ කිරීමට වෑයම් කරන විට ඔවුන් ඔබට නින්දා කරන්නත් ඉඩ තිබෙනවා. (1 පේතෘස් 4:4) එවැනි තත්වයකදී ඔබ මිතුරෙක් වීමට කැමති වෙන්නේ ඔවුන්ටද නැත්නම් දෙවිටද කියා තීරණය කිරීමට ඔබට සිදු වෙනවා. ඔබ දෙවිගේ මිතුරෙක් වීමට තීරණය කළොත් ඔබ තෝරාගෙන තිබෙන්නේ ඉතා වටිනා මිතුරෙක්ව කියා පැවසිය හැකියි.—යාකොබ් 4:4, 8 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 12වන සහ 19වන පරිච්ඡේද බලන්න.