Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

මේ ලෝකය ගින්නෙන් විනාශ වෙයිද?

මේ ලෝකය ගින්නෙන් විනාශ වෙයිද?

▪ වර්ෂ 2011 ඔක්තෝබර් 21වෙනි දින ලෝකය විනාශ වන බව ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන්විදුලි නිවේදකයෙක් වන හැරල්ඩ් කැම්පිං පැවසුවා. වර්ෂ 2011 මැයි 21වෙනි දින විනිශ්චය දවස ආරම්භ වන බවත් දරුණු භූමිකම්පාවක් මුළු පොළොවටම බලපාන බවත් ඔක්තෝබර් 21වෙනි දින මුළු පොළොවම විනාශ වන බවත් ඔහු පැවසුවා. බොහෝදෙනෙක් ඔහු කී දේ විශ්වාස කළා. නමුත් ඒ කිසිම දෙයක් සිදු වුණේ නැහැ.

මේ පොළොව කවදාවත් විනාශ වෙන්නේ නැහැ. පොළොව නිර්මාණය කළ තැනැත්තා කිසි දිනක එවැනි දෙයක් සිදු වෙන්න ඉඩ දෙන්නේ නැති බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. “ඔබ පොළොව කිසිදා නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටෙව්වෙහිය.”—ගීතාවලිය 119:90.

නමුත් බයිබලය කියවන සමහර අය ඒ අදහස පිළිගන්න කැමති නැහැ. පොළොව ගින්නෙන් විනාශ වන බවට ඔවුන් දරන අදහස සනාථ කිරීමට 2 පේතෘස් 3:7, 10හි ඇති මෙම අදහස ඉදිරිපත් කරනවා. ‘දැන් පවතින අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහාය. එනම් විනිශ්චය සිදු වන දවස හා දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවස සඳහාය. නමුත් යෙහෝවා දෙවිගේ දවස සොරෙකු මෙන් පැමිණෙන්නේය. ඒ දවසේදී අහස මහත් ශබ්දයකින් නැති වී යයි. අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි. පොළොවද එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.’ එසේ පවසද්දී පේතෘස් අදහස් කළේ අහස හා පොළොව ගින්නෙන් විනාශ වන බවද?

නැහැ. පේතෘස් පැවසූ වචනවල නිවැරදි අදහස තේරුම්ගැනීමට එහි අවට පාඨ බයිබලයේ වෙනත් පොත්වල තිබෙන තොරතුරු සමඟ සසඳා බැලිය යුතුයි. පේතෘස් සඳහන් කරන අදහස වචනානුසාරයෙන් තේරුම්ගත් විට ඉන් අදහස් කරන්නේ ඉතා කුඩා ග්‍රහ වස්තුවක් වන පෘථිවියේ සිටින මිනිසුන්ගේ දුෂ්ටකම නිසා මුළු විශ්වයේම ඇති බිලියන ගණනක් තරු හා ග්‍රහලෝක ගින්නෙන් විනාශ වන බවයි. ඇත්තටම එවැනි දෙයක් සිදු වෙයි කියා කිසිසේත් සිතිය නොහැකියි. යෙහෝවා දෙවි විශ්වයේ නිර්මාතෘ ලෙස ඔහුගේ එක නිර්මාණයක් වන මිනිසාගේ දුෂ්ටකම නිසා ඔහුගේ අනික් සියලු නිර්මාණ විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ.

“මෘදු ගුණැති අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට පොළොව උරුම වෙයි” කියා යේසුස් පැවසුවා. අහසත් පොළොවත් ගින්නෙන් විනාශ වී යනවා නම් ඔහු එසේ පවසයිද? (මතෙව් 5:5; ගීතාවලිය 37:29) තම පවුලේ සියලුදෙනාගේ සන්තෝෂය වෙනුවෙන් ගොඩනැඟූ අලංකාර නිවස පියා විසින්ම විනාශ කරයිද? (ගීතාවලිය 115:16) කොහෙත්ම නැහැ. යෙහෝවා දෙවි විශ්වයේ නිර්මාතෘ පමණක් නොව ඉතාමත් ප්‍රේමණීය පියෙක්. ඒ නිසා මෙම අලංකාර නිවහන වන පොළොව විනාශ වීමට ඔහු කිසි දිනක ඉඩ දෙන්නේ නැහැ.—ගීතාවලිය 103:13; 1 යොහන් 4:8.

පේතෘස් “අහස” සහ “පොළොව” යන වචන භාවිත කළේ වෙනත් දෙයක් හඳුන්වා දීමටයි. පේතෘස් අහස කියා සඳහන් කළේ මිනිසුන්ව පාලනය කරන ආණ්ඩුවලටයි. ඔහු පොළොව යන වචනය භාවිත කර තිබෙන්නේ දුෂ්ට මිනිස් සමාජය හැඳින්වීමටයි. නෝවාගේ කාලයේ සිදු වූ ජලගැල්ම ගැනද ඔහු එහි සඳහන් කළා. (2 පේතෘස් 3:5, 6) ඒ ජලගැල්මෙන් විනාශ වුණේ දුෂ්ට මිනිසුන් පමණයි. ධර්මිෂ්ඨයන් වූ නෝවා සහ ඔහුගේ පවුලේ අය විනාශ වුණේවත් පොළොව විනාශ වුණේවත් නැහැ. ඒ අනුව මිනිස් ආණ්ඩු සහ හිතාමතා දිගින් දිගටම දුෂ්ටකම් කරන අය සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා. ඉන්පසු දෙවිගේ රාජ්‍යය මේ මුළු පොළොවම පාලනය කිරීමට නියමිතයි.—දානියෙල් 2:44.

එසේනම් මේ පොළොව කවදා හෝ විනාශ වෙයිද? කොහෙත්ම නැහැ. විනාශ වන්නේ මේ දුෂ්ට මිනිස් සමාජයයි. පොළොව සහ දෙවිගේ කැමැත්ත කරන සෙනඟ සදහටම පවතිනවා.—හිතෝපදේශ 2:21, 22.