Skip to content

පටුනට යන්න

අතීතයේ සායම් සහ රෙදි සාදාගත් ආකාරය

අතීතයේ සායම් සහ රෙදි සාදාගත් ආකාරය

අතීතයේ සායම් සහ රෙදි සාදාගත් ආකාරය

විවිධ විලාසිතා, විවිධ වර්ණ සහ ඒ ඒ කාලවල අය ඇඳ සිටි ඇඳුම් ගැන තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා.

බයිබලය ලිවීමේ අරමුණ වුණේ අතීතයේ පැවති විලාසිතා ගැන දැනුවත් කිරීම නොවෙයි. නමුත් එවැනි තොරතුරු නිසා බයිබලයේ සඳහන් වාර්තා වඩාත් නිවැරදිව අවබෝධ කරගත හැකියි.

ආදම් සහ ඒව මුලින්ම ඇඳුම් සාදාගත්තේ අත්තික්කා කොළ එකට අමුණාගෙන බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් පසුව දෙවි ඔවුන්ට යම් කාලයක් භාවිත කළ හැකි “දිග සම් වස්ත්‍ර” සාදා දුන්නා.—උත්පත්ති 3:7, 21.

පුරාණ ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයා ලෙස සේවය කළ පුද්ගලයාගේ ඇඳුම් පිළිබඳ විස්තරයක් බයිබලයේ නික්මයාම 28 සහ 39වන පරිච්ඡේදවල සඳහන් වෙනවා. එම ඇඳුම්වලට ලිනන්වලින් සෑදූ යට ඇඳුම්, සුදු සළුවක්, වියන ලද ඉණපටියක්, අත් නැති වස්ත්‍රයක්, ළයවැස්මක්, හිස්වැස්මක් සහ රනින් සාදන ලද තහඩුවක් ඇතුළත් වුණා. එම ඇඳුම් සෑදීමට වටිනා අමුද්‍රව්‍ය යොදාගත් බව බයිබලයේ සඳහන් වෙනවා. එවැනි වටිනා ඇඳුමක් ඇඳ සිටි පුද්ගලයාගේ පෙනුම කොයි වගේ තිබෙන්න ඇද්ද!—නික්මයාම 39:1-5, 22-29.

අනාගතවක්තෘවරයෙක් වූ එලියා නමැති පුද්ගලයා ඇඳ සිටි ඇඳුම ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ඔහු ලෝම වස්ත්‍රයක් ඇඳ, ඉණ වටේ හම් පටියක් බැඳගෙන සිටියා.’ එලියා ඇඳ සිටි ඇඳුම ගැන විස්තර කළ සැණින් ඔහු කවුද කියා හඳුනාගැනීමට බොහෝදෙනෙකුට හැකි වුණා. ඉන් වසර සිය ගණනකට පසු ජීවත් වූ පුද්ගලයෙක් වන යොහන් බව්තීස්ත, එලියා විය යුතුයි කියා සමහරුන් සිතුවා. ඒ, ඔහු එලියා ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි නිසා විය හැකියි.—2 රාජාවලිය 1:8; මතෙව් 3:4; යොහන් 1:21.

සායම් සහ රෙදි පිළි විවිධ රෙදි වර්ග, ඒ සඳහා යෙදූ සායම්, රෙදි විවීම, ගෙතීම සහ මැසීම වැනි බොහෝ තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා. * එහි වැඩිපුරම සඳහන් වන්නේ නිවෙස්වල ඇති කළ සතුන්ගේ ලොම්වලින් සහ හණ පැළෑටියෙන් සාදන රෙදි පිළි ගැනයි. ආබෙල් ‘බැටළුවන් ඇති කළ කෙනෙක්’ කියා බයිබලයේ සඳහන් වෙනවා. සමහරවිට ඔහු එසේ කළේ ලොම් ලබාගැනීමට විය හැකියි. (උත්පත්ති 4:2) බයිබලයේ අනර්ඝ ලිනන් (හණ) රෙදි ගැන සඳහන් මුල්ම අවස්ථාව වන්නේ පාරාවෝ රජ විසින් යෝසෙප්ට ලිනන්වලින් මැසූ ඇඳුම් ලබා දුන් අවස්ථාවයි. ඒ ක්‍රිස්තු පූර්ව 18වන සියවසේදියි. (උත්පත්ති 41:42) කපු රෙදි ගැන බයිබලයේ සඳහන් නොවුණත් මැද පෙරදිග රටවල සිටි ජනයා අතීතයේ කපු රෙදි භාවිත කළා.

ලොම් සහ හණ ඉතා අනර්ඝ අමුද්‍රව්‍යයන් ලෙස පුරාණයේ සැලකුවා. ඒවායින් විවිධ ගනකම්වලින් යුත් නූල් සාදාගත්තා. සමහර අවස්ථාවලදී නූල් සායම් කරන අතර තවත් අවස්ථාවලදී රෙදි සායම් කරනවා. ඇඳුම් මසන්නේ එම රෙදි යොදාගෙනයි. සමහර රෙදි සාදන විට විවිධ පාටවලින් යුත් නූල් යොදාගෙන විවිධ මෝස්තර නිර්මාණය කරනවා. ඒ ආකාරයට නිපදවූ රෙදිවලින් සාදන ඇඳුම්වල වටිනාකම ඉහළයි.—විනිශ්චයකරුවෝ 5:30.

නිල්, දම් සහ තද රතු රෙදි ගැන බයිබලයේ නිතර නිතර සඳහන් වෙනවා. ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ඇඳුමේ “වාටියට ඉහළින් නිල් පාට පටියක්” ඇල්ලිය යුතු වුණා. එමගින් ඔවුන්ට දෙවි සමඟ ඇති මිත්‍රත්වය මතක් කරගැනීමට හැකි වුණා. (ගණන් කතාව 15:38-40) ශුද්ධ කූඩාරමේ හා දේවමාලිගාවේ විවිධ සැරසිලි සහ එහි සේවය කළ උත්තම පූජකයාගේ ඇඳුමේ පාට ගැන සඳහන් කරන විට නිල් සහ දම් වර්ණ දෙකට විශේෂ තැනක් හිමි වුණා.

ශුද්ධ කූඩාරමේ හා දේවමාලිගාවේ භාවිත කළ රෙදි වර්ග යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා මුලින්ම තිබුණේ ශුද්ධ කූඩාරමයි. පසුව ඒ සඳහා දේවමාලිගාවක් ගොඩනැඟුවා. දෙවිට නමස්කාර කිරීමේ කේන්ද්‍රස්ථාන වූ ඒවා සෑදිය යුතු ආකාරය ගැන බොහෝ විස්තර බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට ශුද්ධ කූඩාරමේ ආවරණය සහ තිර සඳහා භාවිත කළ යුතු රෙදි සහ පාට සම්බන්ධ විස්තරවලට අමතරව ඒවා වියන ආකාරය, මසන ආකාරය, සායම් කරන ආකාරය හා මෝස්තර දමන ආකාරය එහි සඳහන් වුණා.

යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා භාවිත කළ ශුද්ධ කූඩාරමට අවශ්‍ය දේවල් සෑදීමට විවිධ දක්ෂතා ඇති බෙසලෙල් සහ ඔහොලියාබ් ඇතුළු තවත් පිරිසක් ඉතා වැදගත් කාර්යයක් ඉටු කළා. ඒ සඳහා ඔවුන්ට දෙවිගේ මඟ පෙන්වීම සහ උපකාර ලැබුණා. (නික්මයාම 35:30-35) බයිබලයේ නික්මයාම 26වන පරිච්ඡේදයේ ශුද්ධ කූඩාරම ගොඩනැඟිය යුතු ආකාරය හා ඒ සඳහා භාවිත කළ යුතු ද්‍රව්‍යයන් ගැන නිශ්චිත විස්තර සඳහන් වුණා. උදාහරණයකට එහි ආවරණය ‘ලිනන් නූල්, නිල් පැහැති නූල්, රත්නිල් පැහැගැන්වූ ලොම්, තද රතු පැහැති නූල්’ යොදා සාදන ලෙස එහි සඳහන් වුණා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් වී පැමිණෙන විට ඒ රෙදි රැගෙන ආවා විය හැකියි. ශුද්ධ කූඩාරමේ තිබූ “අතිශුද්ධස්ථානය හා ශුද්ධස්ථානය” වෙන් කරන තිර රෙද්ද අලංකාර වර්ණවලින් සාදා තිබූ අතර එහි කෙරුබ්වරුන්ගේ රූප මසා තිබුණා. (නික්මයාම 26:1, 31-33) සලමොන් රජු විසින් ගොඩනැගූ දේවමාලිගාවේ භාවිත කළ රෙදි වර්ග පිළිබඳවද එවැනිම විස්තර බයිබලයේ සඳහන් වෙනවා.—2 ලේකම් 2:1, 7.

පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් රෙදි සාදන්නත් ඒවායේ විවිධ නිර්මාණ කරන්නත් උනන්දු වූ බව අප මෙතෙක් කළ සාකච්ඡාවෙන් පැහැදිලි වෙනවා. ඔවුන් නිකම්ම රෙදි සාදනවා වෙනුවට විවිධ වර්ණ, මෝස්තර සහිත විලාසිතා නිර්මාණය කළා. විවිධ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ඇඳුම් සහ උත්සවවලට සරිලන ඇඳුම්ද ඔවුන් සතුව තිබුණා.

“කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයක” ඊශ්‍රායෙල්වරු පදිංචිව සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (නික්මයාම 3:8; ද්විතීය කතාව 26:9, 15) ඔවුන් යෙහෝවා දෙවිට කීකරුව සිටි තාක්කල් සන්තෝෂයෙන් හා සෑහීමට පත් වී ජීවත් වීමට හැකි වුණා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යූදා සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ. සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.”—1 රාජාවලිය 4:25.

[පාදසටහන]

^ 7 ඡේ. ඒ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා මෙහි ඇති කොටු බලන්න.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ලොම් සහ ලිනන්

අතීතයේ ජනයා මූලිකවම බැටළුවන්ව ඇති කළේ කිරි සහ ලොම් ලබාගැනීම සඳහායි. බැටළුවන් කිහිපදෙනෙක් සිටින පවුලකට එම බැටළුවන්ගෙන් ලැබෙන ලොම් ඔවුන්ගේ ඇඳුම් සඳහා ප්‍රමාණවත් වුණා. බැටළුවන් බොහෝදෙනෙකු සිටින කෙනෙක් වැඩිපුර ලොම් ප්‍රමාණය විකුණුවා. පුරාණයේ සිටි අයගේ රාජකාරියට බැටළුවන්ගේ ලොම් කැපීමත් අයත් වුණා. (උත්පත්ති 31:19; 38:13; 1 සාමුවෙල් 25:4, 11) සමහර නගරවල සහ ගම්වල රෙදි නිෂ්පාදනය කරන අය සංගම් පිහිටුවාගෙන තිබුණා.

අතීතයේ සිටි බොහෝදෙනා කැමැත්තක් දැක්වුවේ හණ පැළෑටියෙන් සාදන ලද ලිනන් රෙදිවලින් මැසූ ඇඳුම්වලටයි. (නික්මයාම 9:31) ඒවා සාදාගන්නේ හොඳින් වැඩුණු හණ ගසක නටුව අව්වේ වේලා ඉන්පසු එය වතුරේ පොඟවාගැනීමෙනුයි. එසේ කරන්නේ එය මෘදු කරන්නයි. නැවත එය වියළාගැනීමෙන් පසු යමකින් තළා කෙඳි වෙන් කරගන්නවා. එම කෙඳි එකතු කර නූල් සාදාගන්නවා. රජ පවුල්වල අය සහ උසස් නිලධාරීන් ලිනන් රෙදිවලින් සෑදූ ඇඳුම්වලට ප්‍රිය කළා.

[පින්තූරය]

වියලන ලද හණ පැළෑටි (පොඟවන්න කලින්)

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

නූල් සෑදීම

හණ, බැටළුවන්ගේ ලොම්, එළුවන්ගේ ලොම් වැනි දෑ එතරම් ශක්තිමත් නැහැ. ඒවා එතරම් දිගත් නැහැ. ඒ නිසා ඒවා යම් ප්‍රමාණයක් එකට එතීමෙන් ගනකමකින් යුත් නූල් සාදාගත හැකි අතර ඒවායේ දිගද වැඩි කරගත හැකියි. “ගුණවත් බිරිඳක්” ගැන විස්තර කරන විට බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “ඇය නූල් ඔතන යන්ත්‍රය එක අතකින්ද නූල් ගොතන යන්ත්‍රය අනික් අතින්ද අල්ලාගනී.” (හිතෝපදේශ 31:10, 19) හණ හෝ ලොම් යොදාගෙන නූල් සාදාගන්නා ආකාරය එම පදයේ විස්තර කරනවා. ඒ සඳහා යොදාගන්නේ කුඩා කෝටු දෙකක්.

මුලින්ම එක කෝටුවක එනම්, නූල් ඔතන යන්ත්‍රයට හණ කෙඳි හෝ ලොම් ඔතාගන්නවා. එය එක් අතකින් අල්ලාගෙන අනික් කෝටුවට එනම්, නූල් ගොතන යන්ත්‍රයට එය ගනකමට ඔතනවා. නූල් ගොතන යන්ත්‍රයේ යම් බරකින් යුක්ත රවුම් තැටියක් තිබෙනවා. ඉක්මනින් නූල් ගොතාගැනීමට එය උපකාරයක්. සෑහෙන්න දිගකින් යුත් නූල් ප්‍රමාණයක් සාදාගැනීමට මේ ක්‍රියාවලිය නිසා හැකි වෙනවා.

[28, 29යන පිටුවල කොටුව⁄පින්තූර]

සායම් කිරීම

සමහර අවස්ථාවලදී නූල් සායම් කරන අතර තවත් අවස්ථාවලදී රෙදි සායම් කරනවා. අවශ්‍ය වන්නේ තද පාටක් නම් ඒවා කිහිපවිටක්ම සායම්වල පොඟවනවා. සායම් වර්ග ඉතා මිල අධික නිසා සායම්වල පෙඟවූ රෙදි හෝ නූල් මිරිකන විට ඉන් ඉවත් වන සායම්ද වෙනමම භාජනයකට එකතු කර ප්‍රයෝජනයට ගන්නවා. සායම් කිරීමෙන් පසු රෙදි හෝ නූල් වේළාගන්නවා.

පුරාණයේදී කෘත්‍රිම සායම් වර්ග තිබුණේ නැහැ. ඒ නිසා සායම් සාදාගත්තේ සතුන් හා පැළෑටිවලිනුයි. උදාහරණයකට, ආමන්ඩ් කොළවලින් හෝ දෙළුම් ගෙඩියේ පොතුවලින් කහ පාට සායම් සාදාගත්තා. කළු පාට සායම් සාදාගත්තේ දෙළුම් ගහේ පොත්තෙනුයි. මණ්ඩා යන නමින් හඳුන්වන පැළෑටි වර්ගය හෝ කුඩා කෘමි විශේෂයක් යොදාගෙන රතු පාට සායම් සාදාගත්තා. නිල් සායම් සෑදුවේ ඉන්ඩිගෝ මලෙනුයි. මුහුදු බෙල්ලන් වර්ග කිහිපයකින් දම්, නිල් සහ රතට හුරු දම් පාට සාදාගත්තා.

කබායක් වැනි ඇඳුමක් තද පාටින් සායම් කරන්න මුහුදු බෙල්ලන් 10,000ක් පමණ අවශ්‍ය වුණා. බැබිලෝනියේ රජ කෙනෙක් වන නැබෝනිඩස්ගේ කාලයේ දම් පාටින් සායම් කළ ලොම්වලින් සෑදූ ඇඳුමක වටිනාකම වෙනත් පාටකින් සායම් කළ ඇඳුමක වටිනාකමට වඩා 40 ගුණයකින් වැඩියි. අතීතයේ තීර් නගරය මිල අධික දම් පාට සායම් සෑදීමට ප්‍රසිද්ධ වී තිබූ නිසා එම සායම් වර්ගය ටිරේනියන් දම් ලෙස හැඳින්නුවා.

[පින්තූර]

මුහුදු බෙල්ලෙකුගේ කටුවක්

ක්‍රිස්තු පූර්ව දෙවන හෝ තුන්වන සියවසට අයත් දම් පාට සායම් සාදන භාජනයක්

[හිමිකම් විස්තර]

The Tel Dor Project

[29වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රෙදි විවීම

රූපයේ පෙනෙන පරිදි ආධාරකයක් මත ඉහළ සිට පහළට සිටින සේ නූල් තබාගන්නවා. එම නූල් අතරින් හරස් අතට තවත් නූල් යැවීමෙන් රෙදි සාදාගන්නවා. එය සිදු කරන්නේ පැදුරු වියන ආකාරයටයි.

රෙදි විවීම සඳහා යොදාගන්නා සමහර ආධාරක සිරස් අතට තබන අතර තවත් ඒවා තිරස් අතට තබනවා. සිරස් අතට තබා ඇති ආධාරක යොදා රෙදි විවීම සිදු කරන විට ඒ සඳහා භාවිත කරන නූල් අග යම් බරක් එල්ලනවා. ඒ සඳහා භාවිත කළ උපකරණ ඊශ්‍රායෙලයේ බොහෝ ප්‍රදේශවලින් සොයාගෙන තිබෙනවා.

අතීතයේ සිටි බොහෝදෙනා තමන්ට අවශ්‍ය රෙදි සාදාගත්තේ නිවසේදීමයි. සමහරුන් විකිණීම සඳහාද රෙදි විවීම සිදු කළා. සමහර ප්‍රදේශවල සිටි බොහෝදෙනා රෙදි විවීම රැකියාවක් ලෙස කළ නිසා පසු කාලයේදී එම ප්‍රදේශ ඒ සඳහා ප්‍රසිද්ධ වුණා. ඊට එක් උදාහරණයක් 1 ලේකම් 4:21හි සඳහන් වෙනවා. එහි පවසන්නේ එක් ‘පෙළපතක් සිහින් රෙදි වියන්නන් ලෙස ප්‍රසිද්ධව සිටි බවයි.’

[26, 27යන පිටුවල පින්තූරය]

‘නිල් පැහැති නූල් සහ රත්නිල් පැහැගැන්වූ ලොම්.’—නික්මයාම 26:1.