රුසියාවෙන් ලිපියක්
අපේ වෙහෙස නිෂ්ඵල වුණේ නැහැ
අපි නැවතී සිටියේ සයිබීරියාවට නිරත දිගින් පිහිටි අල්ට්‍රේ නම් අලංකාරවත් ප්‍රදේශයේයි. ජනේලයෙන් බලද්දී පයින් ගස්වලින් පිරි වනාන්තරයක් සහ ඊට පිටුපසින් හිම වැටුණු කඳු මුදුන් පේනවා. අල්ට්‍රේ ප්‍රදේශය සමතලා භූමියක් නෙවෙයි. මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ ආසියානු සම්භවයක් ඇති ජන පිරිසක්. මෙය කඳුකර ප්‍රදේශයක් වුණත් මිනිසුන් ඔවුන්ගේ ජීවිත ගෙවන්නේ හරිම සතුටින්.
මායි මගේ බිරිඳයි මෑතකදී සංඥා භාෂාව ඉගෙනගත්තා. අපි දෙන්නා සංඥා භාෂාව කතා කරන සභා සහ කණ්ඩායම් හමු වෙන්න යනවා. මේ රටේ විවිධ ජන කොටස් 170ක් විතර ජීවත් වෙනවා. හැබැයි ඒ හැමෝම කතා කරන්නේ රුසියානු භාෂාව. අපිත් එක්ක ඉන්න බිහිරි අය කතා කළේ රුසියානු සංඥා භාෂාව. අපිට හමු වුණ හුඟදෙනෙක් එයාලගේ විස්තර අපිත් එක්ක කියනවා. ආගන්තුක සත්කාරය දක්වන්නත් එයාලා හරිම කැමතියි. අල්ට්‍රේවල ඉන්න අයත් ඒ වගේ.
කිලෝමීටර 250ක් විතර ඈතින් තියෙන පොඩි ගමක බිහිරි පුද්ගලයන් කිහිපදෙනෙක් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. එහේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුත් ඉන්නවා. නමුත් එයාලට සංඥා භාෂාව බැහැ කියලා අපි දැනගත්තා. ඒ නිසා ඒ අයව මුණගැහෙන්න යන්න අපි තීරණය කළා. යූරෙයි සහ ටාට්යාන යුවළත් අපි එක්ක එනවා කිව්වාම අපිට හරිම සතුටක් දැනුණා. අපි පොඩි වෑන් එකකට සංඥා භාෂාවෙන් තියෙන DVD කිහිපයක් සහ DVD යන්ත්‍රයක් දාගත්තා. ලොකු උණුවතුර බෝතලයක්, සැන්විච් ටිකක්, සොසේජස්, අලයි ගෝවයි දාලා හදපු පේස්ට්‍රි වගේ දේවල් අපි කෑමට අරගෙන ගියා. අපි යන පැත්තේ මැක්කො ඉන්න නිසා අපි අපේ ඇඟෙයි, ඇඳුම්වලයි, සපත්තුවලයි බෙහෙත් වගයක් ගාගත්තා.
අපි ගියේ ලස්සන කඳුකර ප්‍රදේශයක් හරහායි. ජස්මින් සහ ලයිලැක් මල්වල සුවඳ ඒ හැම තැනම පැතිරිලා තිබුණා. තණකොළ කමින් හිටිය මුව රංචුවක්වත් අපි දැක්කා. අල්ට්‍රේවල තියෙන ගෙවල් හදලා තියෙන්නේ ලීවලින්. වහලෙට දාලා තියෙන්නේ තහඩු. ගොඩක් ගෙවල් ළඟ තවත් පොඩි ගෙයක් හදලා තිබුණා. (පින්තූරය බලන්න) සමහර අය ඒ ගෙවල් ආවරණය කරලා තියෙන්නේ ගස්වල පොතුවලිනුයි. එයාලා ඒ ගෙවල්වලට කිව්වේ “අර්ල්” කියලා. මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසය වෙනකල් වැඩිදෙනෙක් ඉන්නේ ඒ ගෙවල්වලයි. පස්සේ අනික් ගෙදරට යනවා.
අපි එහාට ගියාට පස්සේ එහේ හිටපු සාක්ෂිකරුවන් අපිව ආදරයෙන් පිළිඅරගෙන බිහිරි යුවළක්ව මුණගැස්සුවා. අපිව දකිද්දී එයාලා හුඟක් සතුටු වුණා. අපි ආවේ කොහෙන්ද, අපි ආවේ ඇයි කියලා දැනගන්න ඒ පවුලට ලොකු වුවමනාවක් තිබුණා. එයාලා ගාව පරිගණකයක් තිබුණු නිසා අපි DVD තැටිය බෑග් එකෙන් එළියට ගත්ත ගමන් ඒක බලන්න එයාලට ඕන වුණා. එයාලා ඒක බැලුවේ හරිම උනන්දුවෙන්. අපි එතන ඉන්නවා කියලවත් ඒ අයට ගානක් වුණේ නැහැ. ඒක බලන ගමන් සමහර වෙලාවට ඒකෙ පෙන්නන සංඥා එයාලත් කරනවා. හරිම අමාරුවෙන් අපි ඒගොල්ලන්ගේ අවධානය ලබාගෙන DVD එකේ පාරාදීස පොළොව ගැන තියෙන මුල් දර්ශන ආයෙත් පෙන්නුවා. ඒ අතරමඟදී අපි ටිකක් DVD එක නවත්තලා ඒ වගේ ලස්සන කාලයක් දෙවි අපිට ලබා දෙනවා කියලත් හැමදාම ඒ කාලේ ජීවත් වෙන්න පුළුවන් කියලත් එයාලට කිව්වා. ඒ දේවල් දැනගන්න එයාලට තිබුණු උනන්දුව දැක්කම අපිත් දිරිගැන්වුණා. අපි එහෙන් පිට වෙන්න කලින් තවත් ගමක ඉන්න බිහිරි යුවළක් ගැන එයාලා අපිට කිව්වා.
කඳුකර ප්‍රදේශයක තිබූ වංගු සහිත පාරක් දිගේ අපි ඒ ගමට ඇතුල් වුණා. එහෙ හිටපු බිහිරි පවුල අපිට හම්බ වුණා. එහෙ හිටියේ ඒ යුවළයි එයාලගේ කුඩා දරුවයි ආච්චියි. අපි එන බව එයාලා දැනගෙන හිටියේ නැති වුණත් අපි ආපු එක ගැන එයාලා සතුටු වුණා. එයාලා හිටියේ “අර්ල්” කියලා හඳුන්වපු ගෙදරක. ඒ ගෙදර පුංචි දොරෙන් ඇතුල් වෙද්දී අපිට ලීවල සුවඳ දැනුණා. ඒ ගෙදර වහලේ හරි මැද හිලක් හදලා තිබුණා. ගෙදරට ආලෝකය ලැබුණේ ඒකෙනුයි. එයාලම හදපු කෑමකින් සහ තේවලින් අපිට සංග්‍රහ කළා. අපි එයාලගෙන් ඇහුවා දෙවිගේ මිතුරෙක් වෙන්න අපිට පුළුවන්ද කියලා. ඒ ගැන එයාලා කල්පනා කළා. පස්සේ ඒ ගෙදර හිටපු ආච්චි පොඩි කාලේ කෑම අරන් කන්දට ගිහින් ඒක දෙවියන්ට ඔප්පු කරපු හැටි අපිට විස්තර කළා. එයා හිනා වෙවී මෙහෙම කිව්වා. “ඒක චාරිත්‍රයක් නිසා කළා. ඒත් ඒක කළේ ඇයි කියලා මමවත් දැනගෙන හිටියේ නැහැ.”
අපි අහපු ප්‍රශ්නයට අදාළ DVD එකක් අපි එයාලට පෙන්නුවා. එයාලා ආසාවෙන් ඒක බැලුවා. තවත් දේවල් ඉගෙනගන්න එයාලා කැමති වුණා. ඒත් ඒක කරන්නේ කොහොමද? බිහිරි අයට SMS කියවන්න පුළුවන් වුණත් ඒ අයට දුරකතන නැති නිසා ඒක කරන්නත් බැහැ. ඒ නිසා ලියුම්වලින් තවත් තොරතුරු දැනුම් දෙන්නම් කියලා අපි එයාලට කිව්වා.
හවස් වේගෙන ආව නිසා අපි ආයෙත් අපේ ගෙදර යන්න පිටත් වුණා. අපිට මහන්සියක් දැනුණත් ලබපු අද්දැකීම් නිසා අපි හිටියේ හරිම සතුටින්. කාලයක් ගියාට පස්සේ අපි ඒ පවුල ගැන සහෝදරයන්ගෙන් ඇහුවා. ඒ පවුලේ ස්වාමිපුරුෂයා සති දෙකකට සැරයක් පාඩම කරන්න එනවා කියලත් රැස්වීම්වලට සහභාගි වෙනවා කියලත් සංඥා භාෂාව කතා කරන සහෝදරියක් එයාලට උදව් කරනවා කියලත් අපිට දැනගන්න ලැබුණා. අපේ වෑයමට ප්‍රතිඵල ලැබිලා තියෙනවා කියලා දැනගත්තාම අපිට දැනුණේ පුදුම සතුටක්.
අපි ගිය ඒ ගමන ගැන කල්පනා කරනකොට අපිට හිතුණේ අපි හරියට කඳු අතරේ සැඟවුණු නිධානයක් හොයන්න ගියා වගෙයි. හුඟක් මහන්සි වෙලා හෙව්වට පස්සේ ඒ වටිනා නිධානය අපිට හම්බ වුණා. අපිට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.