Skip to content

පටුනට යන්න

දෙවිට ළං වෙන්න

අමිහිරි මතකයන් අමතක වන කාලයක්

අමිහිරි මතකයන් අමතක වන කාලයක්

සමහර මතකයන් හරිම මිහිරියි. හිතමිතුරන් සමඟ ගත කළ සොඳුරු අවස්ථා ගැන සිහි කරන විට අපේ හදවත් ප්‍රීතියෙන් ඉපිල යනවා. නමුත් අපේ සිතට වේදනා ගෙන දෙන අමිහිරි මතකයන්ද නැතුවා නොවෙයි. අමිහිරි මතකයන් නිසා ඔබත් දුක් විඳිනවාද? එසේනම් ‘මේ මතකයන් නිසා හැමදාමත් මට දුක් විඳින්න වෙයිද’ කියා ඔබ කල්පනා කරනවා ඇති. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?යෙසායා 65:17 කියවන්න.

මිනිසුන්ගේ මතකයේ රැඳෙන අමිහිරි අද්දැකීම්වලට බලපාන ප්‍රධාන හේතුව දෙවි ඉවත් කරනවා. ඔහු එය කරන්නේ කොහොමද? අද පවතින දුෂ්ට සමාජය සම්පූර්ණයෙන්ම නැති කර දමා ඒ වෙනුවට යහපත් සමාජයක් බිහි කිරීමෙනුයි. ඒ ගැන යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි.” ඉන් අදහස් කළේ කුමක්ද කියා තේරුම්ගැනීමෙන් ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව සිටින්න අපට හැකියි.

“අලුත් අහසක්” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අලුත් අහස මගින් පොළොවේ විශාල වෙනසක් සිදු කරන බවත් ඒ කාලයේදී ධර්මිෂ්ඨකම රජයන බවත් බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 21:1-4; 2 පේතෘස් 3:13) රාජ්‍යයක් හෝ ආණ්ඩුවක් යන අදහස දීමටත් “අහස” යන වචනය යොදාගෙන තිබෙනවා. (යෙසායා 14:4, 12; දානියෙල් 4:25, 26) ඒ අනුව “අලුත් අහසක්” කීමෙන් අදහස් කරන්නේ පොළොවට යහපත් කාලයක් උදා කර දෙන අලුත් ආණ්ඩුවක් බව පැහැදිලියි. එවැනි කාලයක් උදා කළ හැක්කේ දෙවිගේ රාජ්‍යයට පමණයි. යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවෙත් එම රාජ්‍යය ගැන යාච්ඤා කරන්න කියායි. අනාගතයේදී එම රාජ්‍යය මගින් මුළු පොළොව පුරාම දෙවිගේ කැමැත්ත ඉටු කරනවා.—මතෙව් 6:9, 10.

“අලුත් පොළොව” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? බයිබලයේ “පොළොව” යන වචනය සමහර අවස්ථාවලදී භාවිත කර තිබෙන්නේ මිනිසුන් ගැන ඇඟවීමටයි. (ගීතාවලිය 96:1) දෙවිගේ රාජ්‍යය මගින් පොළොව පාලනය කරන කාලයේදී පොළොව පුරා ධර්මිෂ්ඨ මිනිසුන් සිටින බව බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 26:9) ඒ අනුව පොළොව යන වචනය යොදාගෙන තිබෙන්නේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වන ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් ඇඟවීමටයි.

ළඟදීම යෙහෝවා දෙවි අලුත් අහසක් සහ අලුත් පොළොවක් ගැන දී තිබෙන පොරොන්දුව ඉටු කරනවා. * ඒ කාලයේදී කිසි මිනිසෙකුට අමිහිරි මතකයන් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැහැ. ඔවුන් සෑම දවසක්ම ඉතා සතුටින් ගත කරනවා. ඒ කාලය ගැන ඔබට සිතින් මවාගන්න පුළුවන්ද?

අමිහිරි මතකයන් නිසා අද අප දුක් වින්දත් යෙහෝවා දෙවි දී තිබෙන මෙම පොරොන්දුව අපට මහත් සහනයක් නොවෙයිද! “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.” එම පොරොන්දුව ඉටු වන කාලයේදී අපේ අමිහිරි මතකයන් ක්‍රමානුකූලව මතකයෙන් ගිලිහී යනවා. එවැනි කාලයක ජීවත් වෙන්න ඔබ කැමතිද? එසේනම් එම පොරොන්දුව දී තිබෙන යෙහෝවා දෙවිට ළං වෙන්න පුළුවන් කොහොමද කියා දැනගැනීමට පියවර නොගන්නේ ඇයි?

මාර්තු මාසයට නියමිත බයිබල් කියවීම:

යෙසායා 63-66 සිට යෙරෙමියා 1-16 දක්වා

[පාදසටහන]

^ 5 ඡේ. දෙවිගේ රාජ්‍යය හා ඒ තුළින් ඉටු වන දේවල් ගැන දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 3, 8 සහ 9වන පරිච්ඡේද බලන්න.

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සියලු අමිහිරි මතකයන් නැති කරන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා