Skip to content

පටුනට යන්න

‘එකිනෙකාට ප්‍රේම කරනවා’

‘එකිනෙකාට ප්‍රේම කරනවා’

‘එකිනෙකාට ප්‍රේම කරනවා’

“මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහන් 13:34, 35.

ඉන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් ඔහුගේ ගෝලයන්ට ප්‍රේම කළ ආකාරයට ඔවුන්ද එකිනෙකාට ප්‍රේම කළ යුතු බව ඔහු පැවසුවා. යේසුස් කිසිදු භේදයකින් තොරව ඔවුන්ට ප්‍රේම කළා. (යොහන් 4:7-10) ඔහු තම කාලය, ශක්තිය හා විවේකය ඔවුන් වෙනුවෙන් කැප කළේ ප්‍රේමය නිසයි. (මාක් 6:30-34) තම ජීවිතය පූජා කිරීමෙන් ඔහු එය විශිෂ්ට ආකාරයකින් පෙන්නුවා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “උතුම් එඬේරා මමයි. මම මගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙනවා.”—යොහන් 10:11.

මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් එකිනෙකාව ඇමතුවේ ‘සහෝදරයා’ සහ “සහෝදරිය” ලෙසයි. (ෆිලෙමොන් 1, 2) ‘යුදෙව්වන් හා ග්‍රීකයන් අතර කිසි වෙනසක් නැති බවත් සියල්ලන්ගේ ස්වාමීන් එක් කෙනෙක්’ බවත් තේරුම්ගත් ඔවුන් ඕනෑම ජාතියක කෙනෙකුව ක්‍රිස්තියානි සභාවට පිළිගත්තා. (රෝම 10:11, 12) මුල් ක්‍රිස්තියානීන් එකිනෙකාට ප්‍රේම කළ බව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ සිදු වූ දෙයකින්ද පැහැදිලියි. යෙරුසලමේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ‘තමන් සතු ඉඩම්ද වෙනත් දේවල්ද විකුණා, ඉන් ලැබූ මුදල එකිනෙකාගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා සියල්ලන් අතරේ බෙදුවා.’ ඔවුන් එසේ කළේ අලුතෙන් බව්තීස්ම වූ අයට යෙරුසලමේම රැඳී සිට ‘යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක්’ දීමට අවස්ථාව සලසා දීම සඳහායි. (ක්‍රියා 2:41-45) යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණයෙන් අවුරුදු 200කට පමණ පසුව පවා මිනිසුන් ක්‍රිස්තියානීන් ගැන මෙසේ පැවසූ බව ටර්ටූලියන් සඳහන් කරනවා. ‘ඔවුන් එකිනෙකාට මොන තරම් ප්‍රේම කරනවාද! එකිනෙකා වෙනුවෙන් මැරෙන්න වුණත් ඔවුන් සූදානම්.’

අද දින එය පිළිපදින්නේ කවුද? එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “වෙනත් ආගම්වල සිටින අය එල්ල කරන පීඩාවලට වඩා ක්‍රිස්තියානීන්ට පීඩා කරන්නේ ඔවුන් අතරම සිටින අයයි.” ක්‍රිස්තියානීන් අතර ජාති භේද බහුලව තිබෙන බව එක්සත් ජනපදයේ මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. පල්ලිවල තිබෙන ඉගැන්වීම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නිසා උපකාර අවශ්‍ය අවස්ථාවලදී සෙසු සාමාජිකයන්ට උපකාර කිරීමට ඔවුන්ට හැකි වී නැහැ.—එම පොත The History of the Decline and Fall of the Roman Empire (1837).

වර්ෂ 1997දී සාක්ෂිකරුවන්ගේ සහන සේවා කණ්ඩායමක් කොංගෝවල පැවති යුද්ධය නිසා පීඩාවට පත් සාක්ෂිකරුවන් සහ අනිකුත් අය සඳහා ආහාර, ඇඳුම් සහ බෙහෙත් රැගෙන ගියා. ඒ සඳහා යුරෝපයේ සිටි සාක්ෂිකරුවන් ලබා දුන් භාණ්ඩවල එකතුව ඩොලර් මිලියන ගණනක්. වර්ෂ 2004දී ෆෝලොරීඩාවලට මාස දෙකක් ඇතුළත හතර වතාවක් සුළිසුළංවලින් බලපෑම් එල්ල වුණා. ඒ අවස්ථාවලදී හදිසි සහන සේවා කමිටුවේ සභාපති ඔවුන්ට ලැබුණු සහනාධාර නිසියාකාරව බෙදී ගොස් තිබුණාද කියා සොයා බැලුවා. එය සංවිධානාත්මක ලෙස සිදු කර තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් බව දුටු ඔහු සාක්ෂිකරුවන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දුන්නා.