Skip to content

පටුනට යන්න

කොන් වූ සෙනඟකට ශුභාරංචිය

කොන් වූ සෙනඟකට ශුභාරංචිය

කොන් වූ සෙනඟකට ශුභාරංචිය

“ආගමික සිද්ධස්ථාන අළු දූලි වෙලා. පිළිම සුනුවිසුනු වෙලා. ශුද්ධ පොත් ගිනි තියලා. නමුත් දෙවිවරුන් ගැන ඔවුන්ට තිබූ විශ්වාසය නැති වෙලා නැහැ.”—වෝල්ටර් ක්‍රික්බර්ග් විසින් ලියූ Las antiguas culturas mexicanas නමැති පොත.

මෙක්සිකෝව ඇස්ටෙක් ගෝත්‍රිකයන්ගේ නිජ බිමයි. දහතුන්වන සියවසේ කුඩා ගෝත්‍රයක්ව සිටි ඔවුන් පසුව අධිරාජ්‍යයක් පාලනය කිරීමට තරම් බලවත් වුණා. ක්‍රිස්තු වර්ෂ 1521දී ස්පාඤ්ඤය විසින් ඇස්ටෙක් අධිරාජ්‍යයේ අගනුවර වන ටෙනොච්ටිට්ලාන් අල්ලාගත් විට එම අධිරාජ්‍යය බිඳ වැටුණා. කෙසේවෙතත් ඇස්ටෙක්වරු කතා කළ භාෂාව වන නහුවාට්ල් භාෂාව මෙක්සිකෝවේ ප්‍රාන්ත 15ක පමණ සිටින 15,00,000ක පමණ සෙනඟක් තවමත් කතා කරනවා. * පර්යේෂකයෙක් වන වෝල්ටර් ක්‍රික්බර්ග් ඉහත සඳහන් කළ ලෙස ඇස්ටෙක්වරුන්ගේ පුරාණ චාරිත්‍ර සමහරක්ද තවමත් පවතිනවා. ඔවුන් අතීතයේදී පැවැත්වූ චාරිත්‍ර මොනවාද?

අමුතුයි, ඒත් ප්‍රසිද්ධයි

මිනිසුන්ව පූජා කිරීම සම්බන්ධයෙන් ඇස්ටෙක්වරු ප්‍රසිද්ධියක් ඉසිලුවා. මිනිස් හදවත් සහ ලේ හිරු දෙවියන්ට පූජා නොකළොත් හිරු දෙවියන් මිය යයි කියා ඔවුන් සිතුවා. ඔවුන් ටෙනොච්ටිට්ලාන්වල සෑදූ දේවස්ථානය 1487දී කැප කළා. දින හතරක් පුරා පැවැත්වූ එම උත්සවයේදී මිනිසුන් 80,000කට වඩා වැඩි පිරිසක්ව පූජා කළ බව ස්පාඤ්ඤ පූජකයෙක් වන ඩීගෝ ඩ්‍යුරාන් පැවසුවා.

ස්පාඤ්ඤ ජාතිකයන් එම චාරිත්‍රය නිසා කම්පනයට පත් වුණත් ඇස්ටෙක්වරුන්ගේ චාරිත්‍ර බොහොමයක් කතෝලික පල්ලියේ චාරිත්‍රවලට සමාන බව තේරුම්ගත් විට ඔවුන් පුදුම වුණා. උදාහරණයකට ඇස්ටෙක්වරු බඩ ඉරිඟුවලින් ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සාදා පසුව ඒවා කෑවා. ඔවුන් කුරුසය භාවිත කළ අතර පාපෝච්චාරණය කිරීම හා ළදරු බව්තීස්මයද කළා. ඇස්ටෙක්වරු ටොනාට්සින් නමැති දේවතාවියට නමස්කාර කළා. ඇය කන්‍යාවක් වූ අතර “දේවමෑනියන්” ලෙසද ඇයව හැඳින්නුවා. ඔවුන් ආදරයට ඇයට පැවසුවේ “අපේ කුඩා මව” කියායි. සමහර අවස්ථාවලදී ඇස්ටෙක්වරු තමන් පූජා කළ මිනිසුන්ගේ මස් කෑවා.

ටොනාට්සින් දේවතාවියට නමස්කාර කළ කන්දේදී ඇස්ටෙක් ජාතිකයෙකුට ග්වාඩලුප් කන්‍යාව දර්ශනය වූ බව සඳහන් වෙනවා. එම සිදුවීමෙන් පසු එනම්, 1531න් පසු ඇස්ටෙක්වරු කතෝලික ආගම වැලඳගැනීමට පෙලඹුණා. ටොනාට්සින්ට අයත් දේවස්ථාන භූමියේ ග්වාඩලුප් කන්‍යාවටත් දේවස්ථානයක් ඔවුන් ඉදි කළා. වර්තමානයේදී නහුවාට්ල් භාෂාව කතා කරන මෙක්සිකානුවන් සිය දහස් ගණනක් සෑම වසරකම දෙසැම්බර් 12වෙනිදා මෙම දේවස්ථානයට පැමිණෙනවා.

ඇස්ටෙක්වරු ඔවුන්ට උපකාර කරන සාන්තුවරුන් වෙනුවෙන් දුර ඈත තිබෙන කඳුවල විවිධාකාර උත්සව රාශියක් පවත්වනවා. ඒ සඳහා ඔවුන් දවස් ගණන් සමහරවිට සති ගණන් වෙන් කරනවා. ඔවුන් අතීතයේ පැවැත්වූ චාරිත්‍ර, කතෝලික ආගමේ චාරිත්‍ර සමඟ එකතු කර පැවැත්වූ බව එක් පොතක සඳහන් වුණා. ඊට අමතරව ඇස්ටෙක්වරු භූතයන්ව සම්බන්ධ කරගෙන විවිධ වත්පිළිවෙත් සිදු කළා. ඔවුන් අසනීප වූ විට කට්ටඩියෙක් ළඟට ගොස් විවිධ චාරිත්‍ර සිදු කරන අතර ඔහු ඔවුන් වෙනුවෙන් සතුන්ව පූජා කළා. ඇස්ටෙක්වරුන් බොහෝදෙනෙකුට ලියන්න සහ කියවන්න බැහැ. ඔවුන්ගේ භාෂාව, සාම්ප්‍රදායික සිරිත් විරිත් හා දුප්පත්කම නිසා බොහෝදෙනෙක් ඔවුන්ව කොන් කළා.

උත්සාහය නිසා ලැබූ ප්‍රතිඵල

වසර ගණනාවක් පුරා මෙක්සිකෝවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැකි සෑම කෙනෙකුටම දෙවිගේ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ උද්‍යෝගයෙන් ප්‍රකාශ කරනවා. (මතෙව් 24:14) මෙක්සිකෝවේ තිබෙන සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය වර්ෂ 2000 සිට විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා. නහුවාට්ල් භාෂාව කතා කරන සියලුදෙනාට ඔවුන්ගේම භාෂාවෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා එම භාෂාවෙන්ම රැස්වීම් පැවැත්වීමට සැලසුම් කිරීම එම ව්‍යාපෘතියට අයත් වුණා. ඒ වන විට නහුවාට්ල් භාෂාව කතා කළ අය සහභාගි වුණේ ස්පාඤ්ඤ භාෂාවෙන් පවත්වන රැස්වීම්වලටයි. නහුවාට්ල් භාෂාවෙන් සාක්ෂිකරුවන්ගේ පොත් පත් පරිවර්තනය කිරීමට පරිවර්තන කණ්ඩායමක්වද සූදානම් කළා. එම භාෂාව කතා කරන අයට කියවන්න හා ලියන්න ඉගැන්වීමටද වෑයමක් දැරුවා. එම ව්‍යාපෘතිය නිසා ලැබුණු ප්‍රතිඵල ගැන දැනගැනීමට දැන් අපි අද්දැකීම් කිහිපයක් බලමු.

ආදිවාසී කාන්තාවක් මුල් වතාවට නහුවාට්ල් භාෂාවෙන් බයිබලය මත පදනම් කතාවකට සවන් දීමෙන් පසු මෙසේ පැවසුවා. “අපිට ස්පාඤ්ඤ භාෂාව හරියට තේරෙන්නේ නැති නිසා අපි අවුරුදු 10ක් රැස්වීම්වලට සහභාගි වුණත් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. දැන්නම් අපිට හරිම සතුටුයි.” අවුරුදු 60ක් වයසැති ක්වාන්ගේ අද්දැකීම බලන්න. ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ ඔහු වසර අටක් පුරා බයිබලය අධ්‍යයනය කළත් ස්පාඤ්ඤ භාෂාවෙන් පැවැත්වූ රැස්වීම්වලට සහභාගි වුණත් ඔවුන් ඉගෙනගත් දේ ඔවුන්ට තේරුණේ නැහැ. පසුව ඔහු නහුවාට්ල් භාෂාවෙන් බයිබලය ඉගෙනගන්න පටන්ගෙන වසරක් ඇතුළත බව්තීස්ම වුණා.

ඉහත අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ බොහෝදෙනෙකුට මුලින්ම ස්පාඤ්ඤ භාෂාවෙන් බයිබලය ගැන දැනගැනීමට ලැබුණත් ඉගෙනගත් දේවල් ගැන ඔවුන්ට හරි අවබෝධයක් ලැබුණේ නැති බවයි. කෙසේවෙතත් රැස්වීම්, එක්රැස්වීම් හා පොත් පත් තම භාෂාවෙන්ම තිබෙන විට බයිබලය ගැන ඉගෙනගන්න පහසු වන අතර ඉගෙනගත් දේවල් ජීවිතයට අදාළ කරගන්න ඔවුන්ට හැකියි.

බාධක ජය ගැනීම

නහුවාට්ල් භාෂාව කතා කරන අය දෙවි ගැන ඉගෙනගනිද්දී ඔවුන්ට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා. උදාහරණයකට ආගමික උත්සවවලට සහභාගි වන ලෙස ජනයා ඔවුන්ට බල කළා. සැන් ඔගස්ටින් ඔආපන්වල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීමට අවසර ලැබුණේ නැහැ. ඊට හේතුව සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන අය ආගමික උත්සව සඳහා මුදලින් ආධාර නොකරයි කියා ජනයා බිය වීමයි. ෆ්ලොරෙන්සියො සහ තවත් කිහිපදෙනෙක් ශුභාරංචිය ප්‍රකාශ කරමින් සිටින අවස්ථාවකදී ඔවුන්ගෙන් තුන්දෙනෙකුව අත්අඩංගුවට ගත්තා. විනාඩි 20ක් ඇතුළත පිරිසක් එතැනට රැස් වී අත්අඩංගුවට ගත් අයට කරන දේ ගැන සාකච්ඡා කළා.

ෆ්ලොරෙන්සියො ඒ ගැන මෙසේ පවසනවා. “එයාලට ඕන වුණේ අපිව ඒ වෙලාවෙම මරලා දාන්නයි. සමහර අය කිව්වේ අපිව බැඳලා ගඟට විසි කරන්න කියලයි. එදා රෑ අපි හිටියේ හිර ගෙදර. පහුවදා අපිව බේරගන්න සහෝදරයෝ තුන්දෙනෙක් ආවා. එක් කෙනෙක් නීතිඥයෙක්. හැබැයි එයාලවත් හිරේ දැම්මා. අන්තිමට අපිට ඒ නගරයෙන් පිට වෙන්න කියලා කොන්දේසියක් දාලා අපිව නිදහස් කළා.” එවැනි බාධක තිබුණත් වසරකට පසුව ඒ ප්‍රදේශයේ සභාවක් පිහිටෙව්වා. සාක්ෂිකරුවන් 17දෙනෙක් සහ බයිබලය ගැන ඉගෙනගන්න කැමති තවත් 50දෙනෙක් පමණ රැස්වීම්වලට සහභාගි වෙනවා.

කොආපාලා ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වන ඇල්බර්ටෝට ඒ ප්‍රදේශයේ පැවැත්වෙන ආගමික උත්සවයකට ආරාධනාවක් ලැබුණා. ඔහු එය ප්‍රතික්ෂේප කළ නිසා ඔහුව සිරගත කළා. පසුව ප්‍රදේශයේ අය එකතු වී රැස්වීමක් පැවැත්වුවා. ඊට සහභාගි වූ සමහරුන් යෝජනා කළේ ඇල්බර්ටෝව එල්ලා මරණ ලෙසයි. ඉන් ඔවුන් බලාපොරොත්තු වුණේ ඒ ආගමට එකතු වෙන්න කැමැත්තෙන් සිටින සහ ගමේ චාරිත්‍රවලට හවුල් නොවීමට අදහස් කරගෙන සිටින අයව බියගැන්වීමටයි. ඔහුව නිදහස් කරන්න පැමිණි සාක්ෂිකරුවන්වද ඔවුන් අත්අඩංගුවට ගත්තා. සතියක් පුරා එම උත්සවය පවත්වා අවසන් වූ පසු ඒ සියලුදෙනාවම නිදහස් කළා. දිගින් දිගටම එවැනි බාධක පැමිණි නිසා රජයේ උසස් නිලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු කර, තම කාර්යයන් නිදහසේ කරගෙන යෑමට ඉඩ සලසා දෙන නියෝගයක් ඔවුන්ගෙන් ලබාගත්තා. ඉන්පසු පීඩා නතර වුණා. වැදගත්ම දේ වන්නේ සාක්ෂිකරුවන්ට පීඩා කිරීමට මූලික වී කටයුතු කළ තැනැත්තාද බයිබලය ඉගෙනගෙන බව්තීස්ම වීමයි. එම ප්‍රදේශයේ දැන් සාක්ෂිකරුවන්ගේ සභාවක්ද තිබෙනවා.

අස්වැන්න නෙළන්න කාලය ඇවිත්

නහුවාට්ල් භාෂාව කතා කරන අයව හුඟදෙනෙක් කොන් කළා. ඒ නිසා ඔවුන් එම භාෂාව කතා කිරීමට එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒ වගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ භාෂාව කතා කරන ආකාරයත් වෙනස්. නමුත් ඒ තත්වයන් මැද සාක්ෂිකරුවන් නහුවාට්ල් භාෂාව ඉගෙනගන්න ලොකු වෙහෙසක් දරනවා. ඔවුන් එසේ කරන්නේ එම භාෂාවෙන්ම ශුභාරංචිය ප්‍රකාශ කරන්නයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන සේවිකාවක් වන සෝනියා එම භාෂාව ඉගෙනගැනීමට පෙලඹුණු හේතුව මෙසේ විස්තර කරනවා. “අපේ ගෙදර ඉඳලා පැය දෙකක් විතර දුරකින් නහුවාට්ල් භාෂාව කතා කරන 6,000ක් විතර ඉන්න ගමක් තියෙනවා. එයාලා කම්කරුවෝ. ඒගොල්ලන් ඉන්නේ පැල්පත්වල. මිනිස්සු එයාලව ගණන් ගන්නේ නැහැ. හැබැයි කලින් නම් එයාලා හොඳින් ජීවත් වුණා. අපි ස්පාඤ්ඤ භාෂාවෙන් අවුරුදු 20කට කලින් ඉඳලා එයාලට ශුභාරංචිය ප්‍රකාශ කරනවා. නමුත් එයාලට අපි කියන දේ සම්පූර්ණයෙන් තේරුම්ගන්න බැරි වුණ නිසා ශුභාරංචියට ඒ තරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. පස්සේ මම නහුවාට්ල් භාෂාවේ වචන දෙක තුනක් ඉගෙනගෙන කතා කරද්දී ගොඩක් අය ඇහුම්කන් දෙන්න පටන්ගත්තා. එතැන ඉන්න කාන්තාවකට කියවන්න සහ ලියන්න උගන්වන්න මම පොරොන්දු වුණා. එයා මට නහුවාට්ල් භාෂාව ඉගැන්නුවා. මේ පැල්පත්වල ඉන්න අය දැන් මාව හොඳට දන්නවා.” දැන් එම ප්‍රදේශයේ නහුවාට්ල් භාෂාව කතා කරන සභාවක් තිබෙනවා.

මරිසෙලාද පූර්ණකාලීනව දෙවිට සේවය කරන කෙනෙක්. ඇයත් නහුවාට්ල් භාෂාව ඉගෙනගන්න දැඩි වෑයමක් දරනවා. අවුරුදු 70ක් පමණ වයසැති ෆීලික්ස් නමැති පුද්ගලයාට ඇය ස්පාඤ්ඤ භාෂාවෙන් බයිබලය ගැන ඉගැන්නුවා. ඇය නහුවාට්ල් භාෂාව ඉගෙනගැනීමට පටන්ගත් පසු ඒ භාෂාවෙන් ෆීලික්ස්ට කරුණු පහදා දෙන්න පටන්ගත්තා. ෆීලික්ස්ට එය මොන තරම් ප්‍රයෝජනවත් වුණාද කියා ඔහු ඇසූ මේ ප්‍රශ්නයෙන් පැහැදිලියි. “මම නහුවාට්ල් භාෂාවෙන් යාච්ඤා කරද්දී යෙහෝවා දෙවි ඇහුම්කන් දෙයිද?” දෙවිට ඕනෑම භාෂාවක් තේරුම්ගන්න පුළුවන් කියා දැනගත් විට ඔහුට මහත් සතුටක් දැනුණා. රැස්වීම්වලට සහභාගි වීමට ෆීලික්ස්ට පැය එකහමාරක් විතර පයින් යන්න සිද්ධ වුණත් ඔහු දිගටම රැස්වීම්වලට සහභාගි වෙනවා. දැන් ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මරිසෙලාට ඒ ගැන හැඟුණු ආකාරය ඇය මෙසේ විස්තර කරනවා. “සියලු මිනිසුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන දේවදූතයා එක්ක එකතු වෙලා මේ කාර්යය කරන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා.”—එළිදරව් 14:6, 7.

“අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්” කියා යේසුස් පැවසූ ලෙස නහුවාට්ල් භාෂාව කතා කරන අයටද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට සුදුසුම කාලය වන්නේ දැනුයි. (යොහන් 4:35) ඔවුන් ඇතුළු ලෝකයේ සිටින සියලුම ජාතීන්ට තමා ගැන ඉගෙනගන්න දෙවි අවස්ථාවක් ලබා දෙන බව ස්ථිරයි. අපි ඒ වෙනුවෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කරමු.—යෙසායා 2:2, 3.

[පාදසටහන]

^ 3 ඡේ. හෝපි, ෂොෂොනේ සහ කොමන්චෙ යන ගෝත්‍ර තවමත් නහුවාට්ල් භාෂාව කතා කරනවා. ඇවකාඩෝ (අලිගැට පේර), චොකලට්, කයෝටි (වෘකයෙක්) සහ ටොමෑටෝ (තක්කාලි) යන වචන නහුවාට්ල් භාෂාවේ වචනයි. එම වචන ඉංග්‍රීසි භාෂාවෙන්ද එලෙසම භාවිත කරනවා.

[13වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මෙක්සිකෝ නගරය

ඇස්ටෙක් ජනගහනය

1,50,000

1,000ට අඩු