Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

ත්‍රිත්වය බයිබලයට එකඟද?

ත්‍රිත්වය බයිබලයට එකඟද?

▪ ත්‍රිත්වය නමැති ඉගැන්වීම විවිධ ආකාරවලින් විස්තර කළත් ඉන් අදහස් වන්නේ මෙයයි. “පියා, පුත්‍රයා සහ ශුද්ධාත්මය යන තුන්දෙනාම සදාකාලිකයි. සර්වබලධාරියි. තුන්දෙනාම එක සමානයි. ඒ තුන්දෙනාම එක් කෙනෙක්.” එම ඉගැන්වීම බයිබලයට එකඟද?

ත්‍රිත්වය නමැති ඉගැන්වීම ඔප්පු කිරීමට බොහෝ අය මතෙව් 28:19 යොදාගන්නවා. එහි මෙසේ සඳහන් වෙනවා. “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න.” * පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය ගැන එම පදයේ සඳහන් වී තිබුණත් පියා, පුත්‍රයා හා ශුද්ධාත්මය එක් කෙනෙක් කියා එහි සඳහන් වන්නේ නැහැ. එසේනම් යේසුස් තම අනුගාමිකයන්ට එසේ පැවසුවේ ඇයි කියා අපි බලමු.

ඊශ්‍රායෙල් සෙනඟට දෙවි ලබා දුන් නීති අතර මෙවැනි නීතියක්ද ඇතුළත් වුණා. “මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.” (ද්විතීය කතාව 5:7) දෙවි ඔහුගේ සෙනඟට ආඥා කළේ දෙවිවරුන් කීදෙනෙකුට නමස්කාර කරන්න කියාද? ද්විතීය කතාව 6:4හි සඳහන් මේ දෙයින් ඊට පිළිතුර දැනගත හැකියි. “එම්බා, ඊශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේය.” එහි එක් කෙනෙක් ගැන මිස තුන්දෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට එම ආඥාව දුන්නේ ඔවුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් වී පැමිණි අවස්ථාවේදියි. ඊජිප්තුවරුන් ඔසිරිස්, අයිසිස් සහ හෝරස් යන ත්‍රිත්ව දෙවිවරුන් (පහත රූපයේ දැක්වෙනවා) ඇතුළු දෙවිවරුන් විශාල සංඛ්‍යාවකට නමස්කාර කළා. එක දෙවි කෙනෙකුට පමණක් නමස්කාර කරන්න කියා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පැවසුවේ ඒ නිසයි. යුදෙව් ගුරුවරයෙක් වූ ජේ. එච්. හර්ට්ස් මෙසේ පැවසුවා. ‘එකම දෙවි කෙනෙකුට පමණක් නමස්කාර කරන්න කියා ආඥා කිරීම බොහෝ දෙවිවරුන්ට නමස්කාර කළ අය සමඟ යුද්ධ ප්‍රකාශ කළා හා සමාන දෙයක්. ක්‍රිස්තියානි ආගමට විරුද්ධ ඉගැන්වීමක් වන ත්‍රිත්වය නමැති ඉගැන්වීම ෂෙමා ලෙස හැඳින්වූ යාච්ඤාවේ ඇතුළත් වී නැහැ. ඊට හේතුව එම ඉගැන්වීම එකම දෙවිට නමස්කාර කිරීමට විරුද්ධ දෙයක් වීමයි.’ *

යේසුස් යුදෙව් ජාතිකයෙකු වූ නිසා ඔහුද නමස්කාර කළ යුතු වුණේ එකම දෙවිටයි. යක්ෂයා යේසුස්ව වරදට පොලඹවාගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “සාතන් අහක්ව යව. මක්නිසාද—නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.” (මතෙව් 4:10; ද්විතීය කතාව 6:13) එම සිදුවීමෙන් අපට කරුණු දෙකක් ඉගෙනගත හැකියි. (1) සාතන්ට අවශ්‍ය වුණේ යේසුස් දෙවිට කළ නමස්කාරය තමාට ලබාගැනීමටයි. යේසුස් සියලු බලැති දෙවි නම් සාතන් ඉල්ලා සිටියේ දෙවි තමන්ට නමස්කාර කළ යුතු බවයි. එසේ ඉල්ලීමේ තේරුමක් තිබෙනවාද? (2) අප නමස්කාර කළ යුත්තේ එක දෙවි කෙනෙකුට පමණක් වීමයි. යේසුස් පැවසුවේ දෙවිට “පමණක්” නමස්කාර කරන්න කියා මිස දෙවිටත් තමන්ටත් නමස්කාර කරන්න කියා නොවෙයි. යේසුස් එසේ පැවසුවේ ඔහු ත්‍රිත්වයක කොටසක් නොවන නිසයි.

එසේනම් මතෙව් 28:19හි සඳහන් දෙයින් අදහස් වන්නේ කුමක්ද? දෙවි ගැන නිවැරදි දැනුම ලබාගෙන ඔහුට සේවය කිරීමට කැමති අයට බව්තීස්ම විය හැකියි. විශ්වය පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය සහ දෙවි අරමුණු කර ඇති දේවල් ඉටු කිරීමට යේසුස් කරන කාර්යය ඔවුන් හොඳින් තේරුම්ගෙන එය පිළිගත යුතුයි. (ගීතාවලිය 83:18; මතෙව් 28:18) දෙවිගේ බලයේ ක්‍රියාකාරීත්වයද ඔවුන් පිළිගත යුතුයි.—උත්පත්ති 1:2; ගලාති 5:22, 23; 2 පේතෘස් 1:21.

ත්‍රිත්වය නමැති ඉගැන්වීම නිසා බොහෝදෙනෙකුට දෙවි ගැන නිවැරදි තොරතුරු දැනගැනීමට හැකි වී නැහැ. නමුත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දෙවි ගැන සත්‍යය පැවසූ අතර “එකම සැබෑ දෙවි වන” යෙහෝවාට පමණක් නමස්කාර කරන්න කියා පැවසුවා.—යොහන් 17:3.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෙම ලිපියේ උපුටා දක්වා ඇති බයිබල් පද රැගෙන තිබෙන්නේ ලංකා බයිබල් සමාගම 1995දී සංශෝධනය කළ පැරණි අනුවාදයෙනුයි.

^ 5 ඡේ. ෂෙමා ලෙස හැඳින්වූ යාච්ඤාව පදනම් වී තිබුණේ ද්විතීය කතාව 6:4 මතයි. යුදෙව්වන් නමස්කාරය සඳහා රැස් වන විට එම යාච්ඤාව කළා.

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Musée du Louvre, Paris